මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ යන දෙපළ සිවිල් ක්‍රියාකාරීන් දෙපළක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ද්විත්ව පුරවැසි සහතිකය අභියෝගයට ලක් කරමින් පවරා තිබූ රිට් පෙත්සමට අදාළ නඩුවේ තීන්දුව මේ වන විට නිකුත් කර ඇත. මෙම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරන බවට අභියාචනාධිකරණය මීට පෙර තීන්දු කලද එකී තීන්දුවට බලපෑ හේතු ඇතුළත් විස්තරාත්මක හේතු ඇතුළත් තීන්දු ප්‍රකාශය පසුව නිකුත් කරන බවට ප්‍රකාශ කර තිබුණි.ඒ අනුව එකී විස්තරාත්මක තීන්දුව ඊයේ දිනයේදී අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කර තිබුණි.

එහිදී අභියාචනාධිකරණය පෙන්වා දී ඇත්තේ මෙම රිට් පෙත්සම සත්‍ය ලෙසම මහජනයාගේ සුබ සිද්ධිය අරඹයා ඉදිරිපත් වූ නඩුකරයක් නොවන බවත් වෙනත් අරමුණු වෙනුවෙන් ඉදිරිපත් කරන ලද්දක් බවයි. පාර්ශවකරුවකුට රිට් ආඥාවක් අයිතියක් ලෙස අයැද සිටිය නොහැකි බවත්, රිට් ආඥාවකින් ලැබෙන්නේ අභිමතානුසාරී සහනයක් මෙන්ම සාධාරණ සහනයක් බවත් අධිකරණය පෙන්වා දෙයි. එවන් සහනයක් ලබා දීමේදී ඉල්ලා සිටින පාර්ශවයේ අරමුණ ඉතා වැදගත් බවත් අභියාචනාධිකරණය පෙන්වා දෙයි.

එමෙන්ම මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නම් නොකිරීම බරපතළ වැරැද්දක් බවත් මෙම පෙත්සමේ අයැද ඇති සහනයන් සඳහා අධිකරණය ඉඩ ලබා දුනහොත් ඉන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බරපතළ අගතියක් සිදු වන බවත් අභියාචනාධිකරණය පෙන්වා දෙයි.

මෙම රිට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අධීකරණය කටයුතු කර ඇත්තේ මෙම හේතූන් දෙක නිසා බව තීනුදුවේ දැක්වේ. අදාළ ද්විත්ව පුරවැසි සහතිකය පිළිබඳ පෙත්සම්කරුවන් අභියෝගයට ලක් කල කරුණුද අභියාචනාධීකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත් මෙම රිට් පෙත්සම මගින් අභියෝගයට ලක් වූයේ ගොඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි සහතිකය බවත් එහිදී ඒ මහතා එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීම තවදුරටත් විවාදයට ලක් වී ඇත. ගීතා කුමාරසිංහ නඩුවේදී පැහැදිලි ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කලේ අදාළ මන්ත්‍රී ධූරයට පත්වන අවස්ථාව වන විට එකී රාජ්‍යයෙන් නිකුත් කරන පුරවැසිභාවය අත්හැරීමේ ලියවිල්ල ලැබී තිබිය යුතු බවයි.

 

දුලාන් දසනායක

 

 

 

 

Similar Posts