පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද මගින් මේ දිනවල දේශපාලන ලෝකයත් සමාජයත් කැළඹීමකට ලක් කර තිබේ. මෙම සංවාද මාධ්‍යයට නිරාවරණය වූයේ කෙසේද යන්න වෙනම කාරණයකි. පසුගියදා රන්ජන් රාමනායක මහතාගේ නිවස සෝදිසියකදී මෙම සංවාද ඇතුළත් සංයුක්ත තැටි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවක් කියවේ. එසේ නම් පොලීසිය භාරයේ තිබුණු සංයුක්ත තැටි ජනමාධ්‍ය වෙත අධික වේගයෙන් ලැබුණේ කෙසේද යන්නද තවත් ප්‍රශ්නයකි. විශේෂයෙන් රන්ජන් රාමනායක පිළිබඳව යම් විමර්ශනයක් සඳහා අවශ්‍ය වන මෙම සංවාද ජනමාධ්‍යයට නිකුත් වූයේ කෙසේද යන්න අපරාධ විමර්ශනයේදී පැන නගින තවත් බරපතළ ප්‍රශ්නයකි. මේ සියලු හඩ පට ප්‍රමාණය අතිවිශාල සංඛ්‍යාවක් වුවද මෙම හඩ පට මගින් එළිදරව් වන්නේම දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හා ඔහු සිදු කරන ලද භාරත ලක්ෂ්මන්ගේ ඝාතනය සම්බන්ධ විමර්ශන සම්බන්ධ හඩ පට වීමද විශේෂත්වයකි. ඒ සම්බන්ධයෙන් අතිවිශාල කාර්යභාරයක් අපරාධකාර දුමින්ද සිල්වාගේ සහෝදරයාට අයත් හිරු මාධ්‍ය ජාලයෙන් සිදු කරයි.

හිරු මාධ්‍ය ජාලයෙන් පැයෙන් පැයට මෙම හඩ පට නිකුත් කරමින් අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධව මහඉහළින් කතා කරනු පෙනේ. හිරු නාලිකාවල ඇත්ත වුවමනාව කුමක්දැයි සියලු දෙනා දනී. ඔවුන්ට අවශ්‍ය වන්නේ දුමින්ද සිල්වා එනම් හිරු මාධ්‍ය ජාලයේ අයිතිකරුගේ සහෝදරයාට මරණීය දණ්ඩනය නියම වූයේ දේශපාලන පළීගැනීමක ප්‍රතිඵලයක් ලෙස බව සමාජයට පෙන්වා ඔහුට ජනාධිපති සමාව ලබා ගැනීමට පාර කපා ගැනීමටයි. මේ මෙහෙයුම පටන් ගත්තේ අදක ඊයෙක නොවේ.

දින 52 කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ ආණ්ඩුව ලබා ගත් සැණින් මාගල්කන්දේ සුදන්ත හිමියන් ප්‍රකාශ කලේ දුමින්ද සිල්වාට අකටයුත්තක් සිදු වුනු බවත් ඔහුට ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කල යුතු බවත්ය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ සැණින් දුමින්ද සිල්වා නිදහස් කරගැනීමේ මෙහෙයුම යළි පන ගැන්විනි. සුපිරි මාධ්‍ය බලයක් සහිත ඔහුගේ අයියාගේ හිරු මාධ්‍ය ජාලය සම්පූර්ණ මාධ්‍ය මෙහෙයුම ආරම්භ කරන ලදී. මෙම මාධ්‍ය ජාලය සිය මුලු බර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් යොදවන ලද බව නොරහසක්.

රටේ නම ගිය සිංහල සංවිධාන ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා වෙනුවෙන් ඉදිරිපත් විය. ගලගොඩඅත්තේ ඥානසාර හිමි, මාගල්කන්දේ සුදන්ත හිමි යන සිංහල බෞද්ධයාගේ මහා ආරක්ෂකයන් ලෙස පෙන්වන භික්ෂූන් දෙපළ ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡා තබමින් ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීය.ඉන් පසු විවිධ කණ්ඩායම් මගින් දුමින්ද සිල්වාගේ දඩුවම දේශපාලන පළිගැනීමක් ලෙස අර්ථ දැක්වීමට කටයුතු කරන ලදී. එහි කූට ප්‍රාප්තිය ලෙස රන්ජන් රාමනායකගේ හඩ පට නාටකය දැන් කරළියට පැමිණ ඇත.

මෙහිදී හිරු මාධ්‍ය ජාලයේ මාධ්‍ය ආයතන සියල්ලත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුනුත් හුවා දැක්වීමට උත්සහ කරන්නේ මෙම විමර්ශන භාරව කටයුතු කල ශෘනි අබේසේකර මහතා හා රන්ජන් රාමනායක අතරත් එමෙන්ම මෙම දුමින්ද සිල්වා වරදකරු කරන ලද මහාධිකරණයේ වඑක් විනිසුරුවරයෙකු වන පද්මණී එන් රණවන මැතිණිය සමග සිදු කරන ලද දුරකතන සංවාදයි. ඔවුන්ට ශානිවද දඩයම් කිරීමට අවශ්‍යය. එම නිසා ආණ්ඩු පක්ෂය මෙහිදී එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු ඩැහැ ගැනීමට උත්සහ කරයි. නමුත් කාගෙත් සැකයට භාජනය වන්නේ මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක මැතිනිය සම වන සංවාදයයි. ඒ කෙසේ වෙතත් එහි කිසි කලෙක තමන් උසස්වීම් සඳහා තීන්දුව ලබා දෙන බවක් නොකියවේ.

දුමින්ද සිල්වාගේ නඩුව රටේ බරපතල ලෙස ආන්දෝලනයකට ලක් වුනු නඩුවක් බැවින් නීතිපතිවරයා ඒ සඳහා ත්‍රිප්දුගල විනිසුරු මණ්ඩලයක් පත්කරන ලෙස ගරු අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව මේ සම්බන්ධයෙන් නඩුව විභාග කිරීම සඳහා ශිරාන් ගුණරත්න, ලෙනින් මොරායස්, හා පද්මිණී එන්. රණවක යන විනිසුරුවරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ලක් පත් කෙරුණි. මෙහි සභාපති විනිසුරු වූයේ ශිරාණ් ගුණරත්න මැතිතුමායි. නඩු තීන්දුවේදී ඔහු සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කල යුතු බව ඔහුගේ මතය බව දැක්වුවද පද්මිණී එන්. රණවක හා ලෙනින් මොරායස් යන විනිසුරුවරුන්ගේ මතය වූයේ දුමින්ද සිල්වා හා තවත් කිහිපදෙනෙක් වැරදිකරුවන් වන බවයි. ඒ අනුව දුමින්දට මරණීය දණ්ඩනය හිමිවිය.

මේ පද්මිණී එන්. රණවක මැතිනිය සමග වන දුරකතන සංවාදය මේ වන විට සෑම විටම ප්‍රචාරය කරමින් මින් අධීකරණයට බලපෑමක් වූ බවත් ඒ අනුව දුමින්ද සිල්වා දේශපාලන පළිගැනීමකට ලක් වූ බවත් එම නිසා අවසාන අර්ථයෙන් දුමින්ද සිල්වා නිදහස් කල යුතු බවටත් සමාජ මතයක් මේ වන විට ගොඩ නමින් සිටියි. නමුත් ඔවුන් ඉතා ඕනෑකමින් අමතක කරන කාරණාව නම් මේ පද්මිණී එන්. රණවක හා ලෙනින් මොරායස් යන විනිසුරුතුමන්ලා විසින් දුමින්ද සිල්වාට එරෙහිව ලබා දුන් මහාධීකරණ නඩු තීන්දුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු මණ්ඩලයක් විසින් ඒකමතිකව අනුමත කල බවයි.

මෙම මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වාගේ පාර්ශවයෙන් අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය. එකී අභියාචනය විභාග වන අවස්ථාවේ දුමින්ද සිල්වා වෙනුවෙන් නීතිඥවරුන් කරුණු දක්වන විට ඒවා හිරු මාධ්‍ය ජාලයේ නාලිකාවල ප්‍රධාන පුවත්ය. පැයෙන් පැයද උණුසුම් පුවත් ලෙසද එකී නීතිඥයන් ඉදිරිපත් කල කරුණු වාර්තා කරන ලදී. අවසානයේ රජයේ නීතිඥවරුන්ගේද දුමින්ද සිල්වා හා අනෙකුත් චූදිත අභියාචකයන්ගේ නීතිඥවරුන්ගේද කරුණු විමසූ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මණ්ඩලය තීරණය කලේ පද්මිණී එන්.රණවක හා ලෙනින් මොරායස් යන විනිසුරුවරුන්ගේ නඩු තීරණයේ බොහෝ කරුණු නිවැරදි බවත් විශේෂයෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට ලබා දුන් දඩුවම නිවැරදි බවත්ය. එනම් දුමින්ද සිල්වාට ලබා දුන් මරණීය දණ්ඩනය ස්ථිර කිරීම මෙම පංච පුද්ල විනිසුරු මණ්ඩලය මගින් සිදු කරන ලදී.

මෙම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයේ සාමාජිකයන් වූයේ එවක ගරු අගවිනිසුරු ප්‍රියසත් ඩෙප් මැතිතුමා, හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගරු බුවනෙක අලුවිහාරේ මැතිතුමා, ගරු ප්‍රියන්ත ජයවර්ධන මැතිතුමා, පසුව අවිනිසුරුධූරයටද පත් ගරු එච්.එන්.ජේ පෙරේරා මැතිතුමා, ගරු විජිත් කේ. මළල්ගොඩ මැතිතුමා යන විනිශචයකාරවරුන්ය. සුවිශේෂි කරුණ නම් දුමින්ද සිල්වා වැරදිකරු කරමින් ත්‍රිපුද්ගල මහාධීකරණයේදී තුනට දෙකක් ලෙස බෙදුණු තීරණයක් ලැබුණද මෙහිදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ල විනිශ්ච්‍ය මණ්ඩලය දුමින්ද සිල්වාගේ දඩුවම තහවුරු කරමින් ලබා දුන්නේ ඒකමතික තීරණයක් බවයි. දැන් හිරු මාධ්‍ය ජාලයත්, ආණ්ඩුවේ දේශපාලඥයනුත්, අති උතුම් ආර්ය මහා සංඝරත්නයත් මේ උත්සහ කරන්නේ ගරු ශ්‍රේෂ්ඨාධීකරණය මගින්ද තහවුරු වූ දණ්ඩනයක් භුක්ති විඳින දුමින්ද සිල්වා නම් මිනීමරුවාට නිදහස ලබා ගෙන යුක්තිය ආපසු හැරවීමේ කාර්යය සිදු කිරීමටය. යුක්තිය ගරු කරන සියලු දෙනා එයට එරෙහිව නැගී සිටිය යුතු නොවේද?

-නීතිඥ දුලාන් දසනායක-

උපුටා ගැනීම -www.aithiya.lk

Similar Posts