police

පොලිස් දෙපාර්තුමේන්තුවේ උසස්වීම් වලට අනුව  ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පිරිසක් සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පත්කිරීමත් සමග පුරප්පාඩුව ඇති අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති අසුන හිමිකර ගැනීම සදහා ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පස් දෙනෙකු සීතල යුද්ධයක නිරතවි සිටිනා බව අනාවරණය විය.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් දෙවතාවක් තේරීපත්වි මේ වනවිටත් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරනා ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.සංජීව මහනාම මහතා නව සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස වැඩ බාර ගැනීමට නියමිව සිටිනා අතර ඔහුගෙන් පසුව හිස්වන මූලස්ථාන පොලිස් පරික්ෂක අසුනට තමන් වඩාම සුදුසු බව කියමින් ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පස් දෙනා තරගයක නිරතවි සිටිති.

ඒ අනුව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ධූරය සදහා මිහින්තලය පොලිස්ථානයේ මීට පෙර සේවය කළ දැනට පිටපළාත් වල සේවයේ නියුතු ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකු ඒ නමය ප්‍රධාන මාර්ගයේ පිහිටි පොලිස්ථානයක සේවයේ නියුතු ස්ථානාධිපතිවරයෙකු අනුරාධපුර ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ගයේ සේවයේ නියුතු ස්ථානාධිපතිවරයෙකු හා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ සේවයේ නියුතු ප්‍රධාන  පොලිස් පරික්ෂකවරයෙකු මෙලෙස මූලස්ථාන පොලිස් පරික්ෂක තනතුර හිමිකර ගැනීමේ උත්සාහයක නිරත වන බව අනාවරණය විය.

මෙම තනතුර සදහා ඒ නමය ප්‍රධාන මාර්ගයේ පිහිටි පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා හා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ සේවයේ නියුතු ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් වඩාම සුදුසු බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ සේවයේ නිරත සෙසු නිලයන් පවසති.

ඔවුන් පසුගිය වසර කිහිපය පුරාම අනුරාධපුර පොලිස් වසම වෙනුවෙන් විශාල සේවාවක් කළ නිලධාරින් බව ඔවුන් පවසති.අනුරාධපුර මූලස්ථාන පොලිසියට ස්ථානාධිපතිවරයෙකු පත් කිරීමේදි දක්ෂ අවංක කාර්යශුර ප්‍රදේශය පිළිබදව මනා අවබෝධයක් සහිත හා පොලිස් වසමේ ජනතාව සමග සුහදව කටයුතු කළ හැකි පක්ෂග්‍රාහි නොවන නිලධාරියෙකු පත්කළ යුතු බව නිලධාරින් පවසති.

ඉන් කිහිප දෙනෙකුම දේශපාලඥයන්ගේ හා නාහිමිවරුන්ගේ නිර්දේශ ලබා ගනිමින් සිය සුදුසුකම් පෙන්වීමට දැඩි උත්සාහයක නිරතවි සිටිනා බව අනාවරණයවූ අතර ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකු දේශපාලනය හා විහාරස්ථාන වල නිර්දේශ නොමැතිව සිය දක්ෂතාවයෙන් අසුන හිමිකර ගැනීමට වෙහෙසෙමින් සිටිති.

උප පොලිස් පරික්ෂකවරයෙකු ලෙස සේවයට එක්වි ඇති ඊ.එම් සංජීව මහනාම මහතා මිහින්තලය හොරොව්පොතාන අතුරුගිරිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවස්ථා දෙකක ස්ථානාධිපතිවරයා වශයෙන් සේවය කර තිබෙනා අතර ඒ මහතා ඉදිරියේදි සහකාර පොලිස් අධිකාරිවරයෙකු වශයෙන් උසස් වීමට නියමිත බව අනාවරණය විය.

ඊට අමතරව දැනට ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු වශයෙන් කටයුතු කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ දක්ෂතම හා ජේෂ්ඨම පොලිස් නිලධාරියෙකු පැවති සම්මුඛ පරික්ෂණ වලදි අනුරාධපුර පොලිස් කොට්ඨාශයෙන් වැඩිම ලකුණු ලබා ගෙන ඇතත් එම නිලධාරියාට සහකාර පොලිස් අධිකාරි ධූරය අහිමි කිරිම පොලිස් දෙපාර්තුමේන්තුව සහකාර පොලිස් අධිකාරි තනතුරු ලබාදීමේදි සිදුකර තිබෙන පක්ෂග්‍රාහි ක්‍රියාවලිය මැනවින් ඔප්පුකර තිබෙනා බව ඊට විරෝධයපාන උසස් නිලධාරින් පිරිසක් අනාවරණය කළහ.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Similar Posts