මිථ්‍යාව ප්‍රවර්ධනය උන්ගේය; එන්නත ගැන දැනුවත් වීම අපේය

Corona vaccine

මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 පැතිරීම වේගවත් වී තිබේ. දිනකට හමුවන රෝගීන් සංඛ්‍යාව 750 ඉක්මවයි. මරණ සංඛ්‍යාව ද හතක්, අටක් දක්වා වැඩි වන දවස් තිබේ.

මේ අතර, කෝවිඩ්-19 නිවාරණ එන්නත සමස්ත ජනගහනයටම ලබාදීමට ශ්‍රී ලංකාව සැලසුම් කරමින් සිටියි. ඒ සඳහා රු. බිලියන දහයක් වැය වන බව පැවසේ.

සමස්ත ජනගහනයටම එන්නත ලබාදුන් ලොව ප්‍රථම රට බවට පත්වීමට ශ්‍රී ලංකාව උත්සාහ කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසීය.

ධම්මික පැණිය, එළියන්ත වයිට් මුට්ටි ආදිය ප්‍රවර්ධනය කරමින් සිටි ශ්‍රී ලංකාව එවැනි ඉලක්කයක් අනුව කටයුතු කිරීම නරක නැත.

කෙසේ වෙතත්, රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රවර්ධනය කරන ලද මිථ්‍යාව හා විද්‍යා විරෝධය නිසා එන්නත සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආකල්ප සුබවාදී නැත.

මා දන්නා එක් හෙද නිලධාරිනියක එන්නත ප්‍රතික්ෂේප කර ඇත. ඇය ඇදුම රෝග තත්වයෙන් ද පෙළෙන අයෙකි. දරුවන් දෙදෙනෙකුගේ මව වන ඇගේ පියා ද පිළිකා රෝගියෙකි.

සෞඛ්‍ය සේවකයන් අතර ද යම් පිරිසක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත ප්‍රතික්ෂේප කළහ. සියලුදෙනා ආරක්ෂිත වනතෙක් කිසිවකු ආරක්ෂිත නැත. සෞඛ්‍ය සේවකයන් අතරවත් එම අවබෝධය නැත.

මෙම එන්නත ලබාගත් සෞඛ්‍ය සේවකයන් අතරින් සැලකියයුතු පිරිසකට කෝවිඩ්-19 රෝග ලක්ෂණ පහළ විය. එනම්, අධික ඇඟපතේ වේදනාව, හිසරදය, උණ, වමනය ආදියයි. මේ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශ්න හා පිළිතුරු ලේඛනයක මෙම පැහැදිලි කිරීම දක්නට ලැබිණි.

“ඕනෑම ඖෂධයක් හෝ එන්නතක් මෙන්, කෝවිඩ්-19 එන්නත් ද උණ, හිසරදය, මහන්සිය, මස්පිඬුවල වේදනා සහ/ හෝ එන්නත ලබාදුන් ස්ථානයේ සම රත්පැහැ ගැනීම වැනි අතුරු ආබාධ ඇතිකළ හැකිය.  බොහෝ අතුරු ආබාධ දින කීපයකින් ඉබේම නැති වී යයි. දරුණු හෝ දිගුකල් පවත්නා අතුරු ආබාධ ඇතිවන්නේ කලාතුරකිනි.

අහිතකර ප්‍රතිඵල හඳුනාගැනීම සඳහා එන්නත්වල ආරක්ෂාව සම්බන්ධයෙන් අඛණ්ඩවම නිරීක්ෂණ සිදුවේ.   එබැවින්, කිසියම් අතුරු ආබාධයක් හෝ අයහපත් දෙයක් සිදුවුවහොත් අදාළ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දීම සෑම එන්නත්ලාභියකුගේම වගකීමකි.”

මේ වනවිට අන්ත ජාති හා ආගම්වාදීන් ද විද්‍යා විරෝධීන් ද එන්නත්කරණයට එරෙහි මිථ්‍යාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටින බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලාශ්‍ර ඇසුරින් සමාජයේ පැතිරී තිබෙන එවැනි මිථ්‍යාවන් පිළිබඳ සොයාබැලීම මෙම ලිපියේ අරමුණයි.

එන්නත් විසින් කරනු ලබන්නේ ආගන්තුක දේහයක් ශරීරයට ඇතුළත් කිරීමයි. එයට ප්‍රතිදේහ ජනකයැයි (antigen) කියනු ලැබේ. කෝවිඩ්-19 එන්නතේදී එය එම රෝගය බෝකරන වයිරසයට බොහෝදුරට සමානය.

ඇතුළත් කරන ලද ප්‍රතිදේහ ජනකය සිරුර විසින් තර්ජනයක් ලෙස සලකන නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් එයට එරෙහිව ප්‍රතිදේහ (antibody) නිපදවනු ලැබේ. ප්‍රතිදේහ යනු  ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා ස්වාභාවිකව නිපදවනු ලබන ප්‍රෝටීනයි.

කෙසේ වෙතත්, එන්නත්වල අඩංගු වන්නේ, මර්දනය කරන ලද හෝ දුර්වල කරන ලද විෂබීජ ස්වරූපයි. නැතිනම් ඒවායේ ශේෂ පමණි. එසේත් නැතිනම්, විකල්ප රෝගවාහකයි. එමගින් ඔබට සැබෑ රෝගය ඇතිකරන්නේ නැත.  එහෙත්, එමගින් ශරීරය තුළ ප්‍රතිශක්තිය ගොඩනගයි.

ප්‍රතිදේහ උත්තේජනය කිරීම සඳහා එම එන්නත් විසින් විවිධ රෝගවාහකයන් භාවිතා කරනු ලැබේ. උදාහරණයක් ලෙස, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා (Oxford AstraZeneca) එන්නත විසින් රෝගවාහකය ලෙස භාවිතා කරනුයේ චිම්පන්සි ඇඩිනෝවයිරසයයි.

එමගින් ලබාදෙන වයිරසවල ජානමය ද්‍රව්‍ය මගින් මානව සිරුරෙහි කොවිඩ්-19 වයිරසයේ ස්පයික් (spike) ප්‍රෝටීන නිෂ්පාදනය උත්තේජනය කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ දැනට භාවිතා කරනු ලබන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු එකක් නොවේ. එයට හේතුව, එම අනුමැතිය සඳහා අවශ්‍ය අදියර සියල්ල එම එන්නත විසින් සම්පූර්ණ කර නොතිබීමයි.

සම්ප්‍රදායික එන්නත් නිෂ්පාදනය  කිරීමේදී පියවර අනුගමනය කරනු ලබන්නේ එකකට පසුව එකක් වශයෙනි. එහෙත්, කෝවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් එම පියවර අනුගමනය කරනු ලැබුවේ සමාන්තරවයි. පහත දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය එම අදියර හතර පැහැදිලි කරන ආකාරයයි.

පළමු අදියර

මෙහිදී එන්නත ස්වේච්ඡාවෙන් ලබාගන්නා සුළු පිරිසකට ලබාදී එහි සුරක්ෂිතබව තක්සේරු කරනු ලැබේ. එමගින් ප්‍රතිශක්ති ප්‍රතිචාර ලැබේදැයි තහවුරු කරගනු ලැබේ. තවද යෝග්‍ය මාත්‍රාව නිර්ණය කරනු ලැබේ. සාමාන්‍යයෙන්, මෙම අදියරේදී එන්නත පරික්ෂා කරනු ලබන්නේ තරුණ, නිරෝගී වැඩිහිටියන් සමගයි.

දෙවන අදියර

මෙහිදී එන්නත සියගණනක් පුද්ගලයන්ට ලබාදී එහි ප්‍රතිශක්තිමය ප්‍රතිචාර ලබාදීමේ හැකියාව ( ඵලදායීතාව) හා ඇතිවිය හැකි අතුරු ආබාධ (සුරක්ෂිතභාවය) වැඩිදුරටත් තක්සේරු කරනු ලැබේ. මෙම අදියරේ සහභාගිකයන්ගේ ලක්ෂණ (උදා: වයස, ලිංගිකභාවය) මෙම එන්නත ලබාදීමට අදහස් කරන පුද්ගලයන්ගේ ලක්ෂණවලට සමානය. මෙම අදියරේදී සාමාන්‍යයෙන් බහුවිධ අත්හදාබැලීම් තිබේ.

එමගින් විවිධ වයස් කාණ්ඩයන් හා එන්නත් වර්ග සම්බන්ධයෙන් අත්හදාබැලීම් කරනු ලැබේ. මෙම අදියරේදී බොහෝවිට පාලක කණ්ඩායමක් හෙවත් එන්නත ලබා නොගන්නා කණ්ඩායමක් සිටියි. එමගින් සිදුකරනුයේ එන්නත ලබාදුන් කණ්ඩායමේ පුද්ගලයන් තුළ සිදුවන වෙනස්කම් එන්නත නිසා සිදුවන ඒවාද නැතිනම් අහම්බෙන් සිදුවන ඒවාද යන්න පරීක්ෂා කිරීමයි.

තෙවන අදියර

මෙම අදියරේදී, දහස් ගණනක්  ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයන්ට එන්නත ලබාදෙයි. දෙවන අදියරේ අත්හදාබැලීම්වලදී මෙන්ම ඇතැම් ස්වේච්ඡා පුද්ගලයන් සිටිනුයේ පාලක කණ්ඩායමේයි.

අනෙක් අයට එන්නත ලබාදෙනු ලැබේ. සාමාන්‍යයෙන් ගත් කල, එන්නතෙහි ඵලදායීතාව හා සුරක්ෂිතබව ගැන තීරණය කිරීම සඳහා ප්‍රමාණවත් දත්ත මෙම අදියරේදී ජනනය කරනු ලැබේ. තුන්වන අදියරේ අත්හදාබැලීම් විවිධ රටවල, විවිධ ස්ථානවල දියත් කරනු ලැබේ.  විවිධාකාරයේ මිනිස් පිරිසක් වෙනුවෙන් භාවිතා කළ හැකි බව තහවුරු කිරීම එහි අරමුණයි.

සිව්වන අදියර

තුන්වන අදියර සම්පූර්ණ කළ පසු, එන්නත, කලාපීය හෝ ජාතික නියාමන අධිකාරින් විසින් සමාලෝචනය කරනු ලැබේ. එය වෙළඳපොළට හඳුන්වාදීම සඳහා සුරක්ෂිතදැයි හා ඵලදායීදැයි එමගින් තීරණය කරනු ලැබේ.

එයට අමතරව, එම එන්නත රටක හෝ කලාපයක එන්නත්කරණ වැඩසටහනක භාවිතා කළ යුත්තේ කෙසේදැයි ප්‍රතිපත්ති කමිටුවක් විසින් තීරණය කරනු ලැබේ. එන්නතක් නිල වශයෙන් පිළිගනු ලැබූ පසු එය පුළුල් ලෙස නිෂ්පාදනය කර   බෙදාහරිනු ලැබේ.

කෙසේ වෙතත්, එන්නත් වෙළඳපොළට පැමිණ භාවිතා කරමින් තිබියදී පවා   දිගින් දිගටම හා දැඩි ලෙස පසුවිපරම් කරනු ලැබේ. එහි කිසියම් අහිතකර ප්‍රතිඵලයක් තිබේනම් හඳුනාගෙන එයට පිළියම් යොදනු ලැබේ. විවිධ ජනගහන සමග එන්නතෙහි ඵලදායිතාව තක්සේරු කරනු ලැබේ. මෙය හැඳින්වෙන්නේ පශ්චාත් අලෙවි පසු විපරම ලෙසයි.

2021 ජනවාරි 20දා වන විට, කෝවිඩ්-19 එන්නත් හයක් විසින් තුන්වන අත්හදාබැලීම් අදියර අවසන් කර ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සඵලතාව වාර්තා කර තිබිණි. ඒ වන විට තුන්වන අදියර සම්පූර්ණ කර තිබෙන කෝවිඩ්-19 එන්නත් වන්නේ, Pfizer-BioNTech, Moderna, Oxford AstraZeneca, Sputnik V, Sinopharm සහ Sinovacය.

Oxford AstraZeneca එන්නත Lancet වෛද්‍ය ප්‍රකාශනය විසින්ද, Pfizer-BioNTech New England Journal of Medicine වෛද්‍ය ප්‍රකාශනය විසින් ද වෛද්‍ය විද්‍යාත්මකව සමාලෝචනය කරන ලදී.

මහජන සෞඛ්‍යය හා සම්බන්ධ හදිසි තත්වයන් තුළදී හදිසි භාවිතාව සඳහා ලැයිස්තුගත කිරීමේ (EUL) ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාවලිය තුළ 2021 ජනවාරි 20 වනවිට Pfizer-BioNTech එන්නත සඳහා හදිසි භාවිතාව සඳහා අවසරය පිරිනමා තිබිණි. Moderna සහ Oxford AstraZeneca එන්නත්වල වාර්තා පරීක්ෂා කරමින් තිබිණි. මේ අතර බොහෝ ජාතික නියාමන ආයතන විසින් මෙම එන්නත් හදිසි භාවිතාව සඳහා අනුමත කරන ලදී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් වසංගත ප්‍රතිකාර හා නිවාරණ එන්නත් ආදිය සාධාරණ අන්දමින් ලොව පුරා රටවලට ලබාගැනීමේ පහසුකම සැපයීමේ COVAX වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%ක එන්නත් ලබාදීමට නියමිතය. එහෙත්, ඒ සඳහා එන්නත්වලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙනතෙක් බලාසිටීමට සිදුවේ.

දුම්හට්ටි, වතුර කල, පැණි ආදිය ප්‍රවර්ධනය කිරීමට රජය හා සෞඛ්‍ය අංශ දැක්වූ උනන්දුව එන්නත ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා නැත්තේ ඇයිද යන්න ප්‍රශ්නයකි. විද්‍යාව පිළිගන්නා පුරවැසියන් ලෙස ඒ පිළිබඳ අධ්‍යයනය කර ඉගෙනීමට අපට හැකිය.

අජිත් පැරකුම් ජයසිංහ – අනිද්දා පුවත්පත

http://praja.lk

Related posts