නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනයේ අනාගතය තීරණය කරන සන්ධිස්ථානයක් බවට පත් වී තිබේ.

මේ වන විට ඔහු බලයට ගෙන ඒම සඳහා වැඩ කළ සිංහල ජාතිවාදී සංවිධානවල හා වියත් මග වැනි ඊනියා වෘත්තිකවාදී සංවිධානවල කොන්ද කඩන පිදුරු ගහ බවට පත් වී තිබෙන්නේ නැගෙනහිර ජැටියයි.

මෙම බලවේගවල අරමුණු අපැහැදිලිය. කෙසේ වෙතත්, ඒවා කිසිවක් ආනයනය නොකර හැකි සියල්ල අපනයනය කරමින් ධනවත් විය හැකි යයි සිතන ස්වයංපෝෂණවාදයේ සිට ඒකාධිපති, කෘර පාලනයක් හරහා විරුද්ධ බලවේග මර්දනය කරමින් රට සංවර්ධනය කිරීම සඳහා දැඩි පියවරගැනීම දක්වා පුළුල් පරාසයක විහිදේ.

මෙම බලවේග සියල්ලෙහි අවශ්‍යතා අතර මහා පොදු සාධකය ලෙස සැලකිය හැක්කේ සමෘද්ධිමත් රටක ජීවත් වීමේ සිහිනයයි. එම සිහිනය සැබෑ කරගන්නේ කෙසේද යන්න පිළිබඳ විවිධ මතවාද තිබේ.

සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි ආධිපත්‍යයෙන් යුත් ශ්‍රී ලාංකීය රාජ්‍යය ලාංකික බහුතර ජාතිකවාදීන්ගේ මුදුන් මල්කඩයි. ඔවුන්ට අවශ්‍ය ඒ ශ්‍රී ලංකාව ඒ අයුරින් සමෘද්ධිමත් දේශයක් වනු දැකීමටයි. එහිදී ඔවුන්ට දෙමළ ජාතික අරගලය, දකුණු ආසියාතික කලාපීය හා ගෝලීය සංදර්භය වැනි කාරණා පමණක් නොව කාන්තා දේශපාලන නියෝජනය පවා එතරම් අදාළ නැත.

ශ්‍රී ලංකා රාජ්‍යයේ ගමන්මග තුළ 2015 පමණ වන විට නිර්මාණය වන්නේ එක්තරා බෝතල් කරකි. එනම් ඇතුළු වූ පසු පිටවන්නට මාර්ගයක් නැති තත්වයකි. ලංකාව සංවර්ධනය කරන්නට ඒකාධිපතියකු අවශ්‍යය යන ජනප්‍රිය මතය නැවත තටු ලබන්නේ ඒ සමගයි. ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා අවශ්‍ය ප්‍රචණ්ඩ ඉතිහාසයක උරුමයක් සමග ඉදිරියට පැමිණ සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ වැනි දරදඬු පාලකයකු වෙත බලය මාරුකිරීම සඳහා ඉන්දියාව හා ඇමරිකාව පවා සහයෝගය දී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. රනිල්-මෛත්‍රී බලවේගය ආර්ථික ප්‍රතිසංස්කරණවලදී හිරවෙන තත්වයක් නිර්මාණය විය. රාජපක්ෂවාදයේ නැගීමත් සමග ඔවුන් පරාජය වන බව පැහැදිලිවම දකින්නට ලැබිණි. එවැනි අවස්ථාවකදී ඇමරිකාව හා ඉන්දියාව තවදුරටත් ඔවුන් රැකගන්නට උත්සාහ කළේ නැත.

ඒ වෙනුවට කළේ ගෝඨාභය රාජපක්ෂ සමග ඉදිරියට යන ආකාරය පිළිබඳ මූලෝපාය සැලසුම් කරගැනීමයි. ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුව විසඳා දුන් කාලයේ සිටම ඇමරිකාවත්, ඉන්දියාවත් ඒ බල හුවමාරුවට අනුග්‍රහය දක්වන බව දක්නට ලැබිණි.

මූලික වශයෙන් රාජපක්ෂවරුන්ගේ ආර්ථික දැක්ම කිසිකලෙක සිංහල බෞද්ධ ජාතිකවාදයේ උවමනාව සමග මුළුමනින්ම පෑහුණේ නැත. ගෝලීය ධනවාදයේ බටහිර අක්ෂයට ගෝඨාභය රාජපක්ෂ අවශ්‍ය වීමත්, ජනප්‍රිය ජාතිකවාදයට ගෝඨාභය අවශ්‍ය වීමත් යනු එකක්ම ද යන ප්‍රශ්නය දැන් පැහැදිලිවම මතු වී තිබේ.

හිටපු ඇමරිකානු පුරවැසියකු වන, තවමත් දරු පවුල ඇමරිකානු පුරවැසියන් වන ගෝඨාභය රාජපක්ෂ ඇත්තටම නියෝජනය කරන්නේ ලාංකීය ජනප්‍රිය ජාතිකවාදයද? නැතිනම් ඔහු තෝරාගත් මව්බිම විසින් නායකත්වය දෙන ගෝලීය ධනවාදයේ බටහිර අක්ෂයද?

අන්තවාදීන් කුමක් සිතුවත්, අපගේ තක්සේරුව අනුව නම් ගෝඨාභය කරමින් සිටින්නේ මෙම අන්ත දෙක අතර තුලනයක් සෙවීමයි. ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන ගමන් පථය සැලසුම් කරගැනීමේදී ආණ්ඩුවක් විසින් සලකා බැලිය යුතු සාධක රැසක් තිබේ. ඒ නම්, තමන් බලයට ගෙන ආ සමාජ බලවේගයේ උවමනාවන්, විපක්ෂයේ මූලෝපායන්, ගෝලීය ධනවාදයේ චීන අධිරාජ්‍යවාදය හා බටහිර අක්ෂය අතර තුලනය, කලාපීය බලවතා ලෙස ඉන්දියාව සමග තිබෙන සම්බන්ධය, ලංකාවේ ආර්ථික තත්වය සහ ජාත්‍යන්තර දේශපාලනයේ සෙසු ප්‍රවණතා ආදියයි.

ජනාධිපති ගෝඨාභයගේ දේශපාලන උත්සාහයන් අප තේරුම් ගත යුත්තේ මෙම සංදර්භය තුළයි. ඔහු අසාර්ථක නායකයකු වනු ඇතැයි අපි උපකල්පනය කරමු. එසේ වුවහොත්, සාර්ථක යයි සැලකිය හැක්කේ කුමක්ද යන්න වැදගත්ය. ඒ සාර්ථක වන දෙයින් රටට අනාගතයක් නිර්මාණය වේද?

ජනාධිපති ගෝඨාභයට එරෙහිව අවි අමෝරාගෙන තිබෙන ප්‍රධාන බලවේග දෙකක් තිබේ. එකක් නම් භික්ෂු මූලික අන්ත ජාතිවාදී බලවේගයයි. අනෙක ජවිපෙ හා පෙසප ප්‍රමුඛ වාමාංශික බලවේගයයි. මෙම බලවේගයන්ගේ කැඳවුම්කරු භූමිකාව සිදුකරන සිරසේ උවමනාවන් මේ දෙකටම වඩා වෙනස්ය.

ප්‍රධාන බලවේග දෙක අතරින් යම් නවීන යයි සිතිය හැකි ආර්ථික, දේශපාලනික හා සමාජ දැක්මක් තිබෙන්නේ වාමාංශිකයන්ටය. භික්ෂු මූලික සිංහල බෞද්ධ ජාතිවාදී බලවේගය යනු හරයක් නොමැති හුදු අන්තවාදයක් පමණි. මේ අතරින් වාම බලවේගය ගෝඨාභය රාජපක්ෂ පන්නා දමා රාජ්‍ය බලය ලබාගැනීමට අපේක්ෂා කරන්නේදැයි පැහැදිලිව ප්‍රකාශ කළ යුතුය. ඔවුන්ගේ උවමනාවන් වෙනත් බලවේග ලවා ඉටුකරගත නොහැකිය.

ඒ වෙනුවෙන් ඔවුන් ජනතාව බලමුළුගැන්විය යුතුය. බලය ලබාගත යුතුය. සෙසු බලවේග සියල්ලට අවස්ථාව ලබාදී තිබෙන බැවින් රටේ ජනතාවගේ සහයෝගය දිනාගත හැකිනම් වාමාංශික බලවේගයට ආණ්ඩුකරණයට අතගැසීමට අවස්ථාවක් ලබාදිය යුුතුය. හැබැයි ජවිපෙ 2005දී හා 2015දී කළා මෙන් මගදී මගහැරයන්නට බැරිය. වගකීමෙන් කටයුතු කරන බවට මහජනතාව ඉදිරියේ ගිවිසගත යුතුය.

කෙසේ වෙතත්, වාමාංශික හා ජාතිකවාදී ආර්ථික මූලෝපායන් අතර පැහැදිලි වෙනසක් නැත. එහි අරමුණ වන්නේ ගෝලීය ධනවාදයට එරෙහි ජාතික ආර්ථිකයකි. පවතින සංකීර්ණ තත්වය තුළ එය යොදාගන්නේ කෙසේද යන්න ඔවුන් රටට පැහැදිලි කළ යුතුය.

අනෙක් පැත්තෙන් තිබෙන්නේ ගෝලීය ධනවාදය සමග සෞඛ්‍ය සම්පන්න අන්තර් සම්බන්ධයක් සමග ඉදිරියට යන ශ්‍රී ලංකාවේ රජයේ මෙතෙක් පැවති මූලෝපායයි. වර්තමානයේ ලෝකය තුළ පවතින්නේ ගෝලීය ආර්ථික මූලෝපාය හා ජාතිකවාදය අතර ගැටුමක් ඔස්සේ ඉදිරියට යන ගමනකි. මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කරන්නේ ඒ අනුව කටයුතු කිරීමටයි.

එම ආර්ථික මූලෝපායෙහි රාමුව තුළ ජාතික දේපල, රටේ සම්පත් වැනි සංකල්පවල අර්ථය නැවත විග්‍රහ කරගත යුතුය. ජාතික සම්පත් විකුණනවා වැනි සටන් පාඨ එම කාර්ය රාමුව තුළ ඒ අර්ථයෙන් පවතින්නේ නැත.

අජිත් පැරකුම් ජයසිංහ

Related posts