අපි කරන්නේ, කාලෙන් කාලෙට එකතුවෙලා කෑගහන එක

අපි 2020 වර්ෂය අරගෙන බැලුවොත් අනෙකුත් අවුරුදු එක්ක සංසන්ඳනය කරාම අපිට පේනවා ළමා අපයෝජන සිද්ධීන්ගේ පැහැදිලි වැඩිවීමක්.

සියලු රටවල් පෙරළගෙන අපේ රට මේ අංශයෙන් ඉස්සරහට ඇවිත් තිබෙනවා. අපි මේ දවස්වල කියනවා වන සම්පත රැකගනිමු, ඊළඟට අපි කියනවා දේශීය කර්මාන්තය නඟා සිටවමු කියලා.

මේ වගේ අපි කාලෙන් කාලෙට එක එක දේවල් ගැන කතා කරනවා, ඒ වෙනුවෙන් පෙනී සිටිනවා, මට තියෙන ප්‍රශ්නය තමයි අපි මේ වගේ ලොකු වටිනාකමක් දෙනවද කාන්තා ප්‍රශ්න වලට ඔවුන්ගේ ගැටලුවලට ඊළඟට ළමයින්ගේ ප්‍රශ්නවලට.

නැහැ. අපිට සමාජයක් විදිහට හරිම අඩු අවධානයක් තමයි මේ සම්බන්ධයෙන් තියෙන්නේ. අපි මෙහෙම හිතමු, අපි දන්නවා ලංකාවේ මේ වෙනකොට විශාල ප්‍රශ්නයක් තමයි ළමා අපයෝජනයන්, නමුත් කවුද මේ ගැන බරපතළ විදිහට සංවාදයක් කරන්නේ?

ඒ වෙනුවට අපි කරන්නේ, කාලෙන් කාලෙට යම් යම් සිද්ධීන්වලදි කණ්ඩායම් විදිහට එකතුවෙලා කෑගහන එක, උද්ඝෝෂණය කරන එක, ටික කාලෙකින් ඒ හැඬ වියැකී යනවා. ආයි සිද්ධියක් ආවාම ආයිත් මතුවෙලා කෑගහනවා.

ඔබට මතකනම් පහුගිය කාලේ අර කුඩා දරුවෙක් අපයෝජනය කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වුණා, අපි ඒ වෙලාවේ ලොකු හඬක් ඒ වෙනුවෙන් නැඟුවා, ඒක බොහොම හොඳ දෙයක් වගේම ඒ වෙලාවේ කළ යුතු දෙයක්, නමුත් ප්‍රශ්නය තමයි ඊට පස්සේ ඒ සිද්ධියට මොකදවුණේ කියලා අපි සොයා බැලුවද කියන දේ. ඇත්තටම මොකද වුණේ ?

ඒ සිද්ධියට කෙනෙක් අත් අඩංගුවට ගත්තා කිව්වා, ඊට පස්සේ කොරෝනා රැල්ල එක්ක ඒකට වුණ දෙයක් නැහැ. ස්ත්‍රීන්, ළමයින් වෙනුවෙන් එන එවැනි ප්‍රශ්න කොහොමද අනෙකුත් ප්‍රශ්න අතර අමතක වෙන්නේ?

ඊළඟට කාන්තාවකට හෝ ළමයෙකුට වෙන අතවරයක් වුණාම ශාරීරික හිංසනය තමයි ගණනය වෙන්නේ, එතකොට මානසික හිංසනයක් ඒ සිද්ධියේදී ඒ කාන්තාවට හෝ දරුවාට වෙන්නේ නැද්ද? අපි ඇයි ඒක ගැන තක්සේරුවකට නොයන්නේ.

මට හිතෙන්නේ මෙවැනි සිද්ධියකදී ශාරීරික හිංසනයට වඩා මානසික හිංසනය ප්‍රබලයි. ඒක නිසා ළමයෙක් හෝ කාන්තාවක් ජීවිත කාලේම අබාධිතයෙක් වෙන්න පුලුවන්.

ඒ සිත් තැවුලෙන් ඔහු හෝ ඇය මුලු ජීවිත කාලෙම ගෙවාදමන්න පුලුවන්. ඊට පස්සේ මෙවැනි මානසික පීඩනයකින් ඉන්න දරුවෙක් සමාජයට ආවට පස්සේ සමාජයට මොකද්ද වෙන්න පුලුවන් බලපෑම? ඇයි අපි ඒ ගැන හිතන්නේ නැත්තේ.

අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති වෙන්න තරඟ කරනකොට මොකද්ද කිව්වේ? ඔහු කිව්වේ එක නීතියක් එක රටක් කියලා. ඊළඟට විනය ගරුක රටක් හදනවා කියලා කිව්වා.

මෙහෙම කිව්ව නිසා මම පුද්ගලිකව විශ්වාස කළා මේ පුද්ගලයා ජනාධිපති වුණාම ළමා අපයෝජන සිද්ධි අඩුවෙයි, ඔහු මේවට විරුද්ධව යෝධ පියවරක් ඉස්සරහට තියයි කියලා.

අඩුම තරමින් මිනිස්සු ඔහුගේ විනයගරුක රටට බයවෙලා හරි මේ දේවල්වලට යොමුවෙන එක අඩුවෙයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ. ඒ වෙනුවට මහපාරේ දෙනෝදාහක් බලාගෙන ඉදිද්දි මිනිස්සු මරණ තැනකට රට ගියා. ඒක තමයි අන්තිමට උනේ.

අපේ අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරනකොට අපි දන්නවා ලිංගික අධ්‍යාපනය වගේ විෂයක් දරුවන්ට උගන්වන්න යනකොට පන්සල්වල ස්වාමිවහන්සේලා තමයි ඒකට විරුද්ධ වෙන්නේ, ඒ ඇයි? අපි දන්නවා පසුගිය දවස්වල දරුවන් අපයෝජනය කළ සිදුවීම් රැසක් පන්සල් වලින් වාර්තා වුණා, පල්ලිවලත් ඒ වගේ දේවල් තියෙනවා. ඒවා වෙන්නේ කොහොමද එහෙම?

එනිසා මම හිතන්නේ අපි සමාජයක් විදිහට හැවෝම මේ ගැන නැවත නැවතත් සිතා බලන්න ඕනෑ. කාන්තාවෝ ගැන දරුවන් ගැන මීට වඩා හිතන ඔවුන්ට තමන් සුරක්ෂිතයි කියලා දැනෙන සමාජයක් අපි හදාගන්න ඉක්මනින්ම මැදිහත් වෙන්න අවශ්‍යයි කියලා මට හිතෙනවා.

සටහන : කේ. සංජීව

www.aithiya.lk/child-abuse-in-sri-lanka

Related posts