උයනවා කියන්නේ ජීවිතදුක සුළඟට මුහුකරලා රස කතාවක් ගොතනවා වගේ වැඩක්..!

food the cook of castamar
අපේ අම්මා කියන්නේ දුක් ගඟක තාම පාවුණ ගෑනියෙක්. මම හිතන්නේ අපේ ගමේ ඉන්න දුක්ඛිතම ගැහැනිය එයා වෙන්න ඇති..!. හැබැයි කවදාවත් අඬනවා දැකලා නෑ.
බොහෝම කලාතුරකින් ඇය කළේ හුස්ම ගැනීම නතර කිරීමට වීරිය ගැනීම විතරයි. ඒ වෙලාවට අපි වටවෙලා ඇයගේ පපුව අතගානවා. සමහර වෙලාවට කපුරු පෙත්තක් මේස හැන්දක තියලා පහන් දැල්ලකට අල්ලලා සුවඳ දියර වුනාම පපුවේ ගල්වනවා. එතකොට ඇය හිනාවෙනවා. හැබැයි එහෙම අවස්ථා අල්පයයි.
මේ දුක නිසාමදෝ ඇය උදේ රැයින් පටන් අරං නින්දට යනකම් කළේ උයනපිහින එක. බනක් දානයක් මඟුලක් කොහේද ගිහිං කෑම හදන එක. අපේ ගමේ එහෙමට රසට කෑම හදන්න පුලුවන් මනුස්සයෙක් තවමත් නෑ කියලා මගේ යාලුවෝ නිතරම කියනවා. වැලිතලප දොදොල්වල ඉඳලා ආස්මී වෙනකම් ඕනෑම රසක් හදන්න එයා දන්නවා.
කළුවට කළුවේ උයන කක්කුටු හොද්දේ ඉඳලා පොලොස් මාළුවේ ඉඳලා අබ දාලා තෙම්පරාදුවෙන් ගමම සුවඳ ගස්සන කොස් මාළුවේ ඉඳලා ඕනී මාළුවක් දිව පිනායන්න හදන්න ඇහැක්. කොස් දෙල් උනත් ඇය තැම්බුවේ ඇගේම ක්‍රමයකට. පිට්ටුවගේ රසට. හැඩයට. ඉදලෝලු හත්තේ ඉඳලා ලේන හතු වෙනකම් ඕනී හත්තක් මස් පරාද කරන රහාට හැදුවා. ඒ සෝස් බෝස් මොකවත් නැතුව. මට දැන් හිතෙන්නේ ඇය කුස්සිය අස්සේ ඉඳලා රහාට කෑම හදලා තමන්ගේ ජීවිත දුක දාහය සහන් සිසිලසකින් තුනී කරගත්තා කියලා.
ඇත්තටම රහා කෑමක් කියලා කියන්නේ රහා කතාවක්. කෑම රහා වෙන්නේ ලුණු ගම්මිරිස් වගේ දේවල් අතට අහුවෙන පරිමාව අනුව. ඒකට වෙන්නැති අත්ගුණය කියලා ගමේ හාදයෝ කීවේ.
මටත් කවදාවත් හැන්දකින් ලුණු ගම්මිරිස් ඉසලන්න හිතෙන්නේ නෑ. එහෙම කෑම හැදුවත් නියම මාත්‍රාවට මුහුවෙන්නෙ නෑ. රස එන්නේ නෑ. ඒ නිසාම තමයි එක එක්කෙනාගේ කෑම රස ඉසියුම් විදිහට වෙනස් වෙන්නේ. ඒ මනුස්සයාගේ රිද්මය එක්ක කෑම රස සංයෝජනය වෙනස් වෙනවා. රසේ ඉසියුම් මාත්‍රාවන් අහුවෙන්නේ ඒම..
ඉතිං මට හිතෙන්නේ  අපිට අපි හදන නෙක කෑම හරහා අපේ ලෝකය තව කෙනෙක් ඉස්සරහට අරගෙන යන්න පුලුවන්. ඒ වගේම ජීවිතේ ඇතුලේ කැරකෙන දුක වේදනාව මහංසිය පුච්චලා දාලා ජීවිතය සතුටු සුළං රැල්ලකින් පුරවන්න පුලුවන්.
ඉතිං මම ඊයේ හැදුවා හරක් තෙල් මන්දේ හීන් නාරන් යුෂෙන් තම්බලා. ගම්මිරිස් ලුණු සෝයා සෝස් කොච්චි සුදුළූණු එක්ක. නොහිතපු රසක් ඒක අස්සේ සංයෝගවෙලා. අද කාලෙකින් පෝරණුවට ගින්දර දාලා ඌරු මස් තක්කාලි සුදුළූණු කෑමක්.
මේවා පොත්වල තියෙන වට්ටෝරු නෙවෙයි හිතට හිතෙන හැටී. අලුත් අලුත් රස එන්නේ එහෙම වෙන්න ඇති.. කොහේහරි තැනක මම දැක්කා උයනවා කියන්නේ භාවනාවකට කියලා. ඒකත් ඇත්ත. මට හිතෙන්නේ ඒක ජීවිතාශාව එක්ක එන පොඩි ආවේශයක්. ක්ෂණික උමතුවක්..
මට නිකපොත පතල් කපන්න ගියාම හමුවුණා වළව්වක නටබුන් අතරේ ජීවිතය හිඳුවාගෙන තනියෙන් බලන් ඉන්න මනුස්සයෙක්. නිකපොත ධනපාල මාමා. මිනිහා දඩමස් උයන්නේ හරි අපූරු ක්‍රමයකට. මස් හොද්ද ලිපේ තියා ළඟින් වාඩිවෙලා කයිය ගහන ගමන් තමයි තුනපහා මිරිස් ළූණු හොද්දට වීසි කරන්නේ. බලන් ඉන්න එකෙක්ට හිතෙන්නේ අද කාලා හමාරයි කියලා.
ඒත් ඉතිං පිඟානට බෙදලා කටට වැටෙනකොට අමුර්තරස. ඒකට තමයි උයන කලාව කියන්නේ. හුදකලාවේ තනිකමේ ලස්සන මිනිහා දඩමස් හොද්දට මුහුකරන්නේ එහෙම.. ඒක ඉතිං රාහා වෙනවා කියන දේ අහන්නත් දෙයක් ද?..
කංචි කැලේ දී හම්බවුණ අන්නන් මිත්‍රයා ගත්තත් එහෙමයි. රතුපාට වෙන්න මීමින්නා පුච්චිලා ගත්තාම ඒක මාලුවක් නොකර කපලා කන්න ඇහැක්. ඒ ගින්දර සංයෝග කරන හැඩේ. දුම් මසට වදින හැඩේ අස්සේ තමයි ඒ රහා උපදින්නේ.. මීමින්නාගේ පීකුද්ද අලුයටට දාලා ලුණු දාලා දෙහි ඉස්ම ටිකක් උඩින් ඉහලා ගත්තාම ඒක නිකං අමුවට කනවා වගේ හැඟීමක්.. ඒත් රස.. ඈතට පේන තොප්පිගල කන්ද වගේ උසයි.
ඉතිං මිනිස්සු උයන කෑම ඒ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ඕසෙට බැඳිලා. දුක වේදනාව කාන්සාව පහකරලා ජීවිතේ සතුටින් පුරවන්න රස කෑමකට පුලුවන් වගේම එහෙම කෑම හැදීම අස්සෙත් ඒ දේවල් තුනී කරන්න ඇහැක්.. ඉතිං ආයෙත් කියන්න වෙන්නේ උයනවා කියන්නේ රහා වැඩක්.. ඒක දුක වේදනාව තුනී කරන ස්වවින්දනයක්….
කේ.සංජීව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….