පූගොඩ කෙල්ලන් ගේ “වශීකාරක” බටු මාළුව හා පුහුල් හොද්ද 

pugodakello
කිසියම් නිවසකින් ආහාර අනුභව කරන තරුණයෙකුගේ සිත ඒ නිවසේ සිටින තරුණියක කෙරෙහි වශී කරගත හැකි වම්බටු ව්‍යංජනයක් සහ පුහුල් හොද්දක් පිළිබඳව මීට දශක කිහිපයකට පෙර මට අසන්නට ලැබිණ.
ඒ හැත්තෑව දශකයේ මැද භාගයේ සිට පූගොඩ පෙහෙකම්හල වසා දමනතුරු එහි සේවය කර නැසී ගිය යක්කල, පොල්හේනේ කේ.ඒ.නෝබට් පෙරේරා මහතාගෙනි. නිවසට පැමිණෙන ‘කොල්ලන්’ වසඟ කරගැනීමට පූගොඩ ‘කෙල්ලන්’ විසින් උයාදෙනු ලබන බටු මාලුවේ සහ පුහුල් හොද්දේ කතාව පිටස්තර ප්‍රදේශවලද පැතිර ගිය බැවින් එම වශීකාරක ආහාරයේ සුලමුල සෙවීමට මම යුහුසුළු වීමි.

එතෙක් අතිශය පිටිසර සහ නොදියුණු ප්‍රදේශයක්ව පැවති දොම්පේ ආසනයේ පූගොඩ, මුල්වරට ආලෝකමත් වූයේ 1975 එවක රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුව සිටි ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායකයන් විසින් අරඹන ලද පූගොඩ පෙහෙකම්හල නිසා ය. එවක එය දොම්පේ ආසනය ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණයන් දහස් ගණනකට රැකියා උල්පතක් විය.

ඒ අනුව එලෙස රැකියා හිමි කරගැනීමට සමත් වූ පූගොඩ පෙහෙකම්හලේ සිට කිලෝමීටර් තිහක් පමණ දුර සිටි පැමිණි තරුණයෝ තම රැකියාවේ පහසුව සඳහා පූගොඩට සමීප කපුගොඩ, ගිරිදර, උඩකණම්පැල්ල, තරාල, ඕවිටිගම, සෙනසුන්ගොඩ, මාළිඳ,මන්ඩාවල ඇතුළු ප්‍රදේශවල බෝඩින්කරුවන් ලෙස නතර වූහ.

පූගොඩ වශීකාරක බටු මාලුවේ සහ පුහුල් හොද්දේ කතාවට මුල පිරෙනුයේ එතැන් සිට ය. ඉන්පසුව 1977 බලයට පත් රජයේ පේෂකර්ම අමාත්‍ය පදවිය කටාන ආසනය නියෝජනය කළ විජයපාල මෙන්ඩිස්ටත් නියෝජ්‍ය අමාත්‍ය පදවිය බිබිලේ ආසනය නියෝජනය කළ ධර්මදාස බණ්ඩාටත් හිමිවීම තුළ එම ප්‍රදේශ නියෝජනය කළ තවත් තරුණයන් සැලකිය යුතු පිරිසක් පෙහෙකම්හලේ රැකියා ලැබ පූගොඩට සංක්‍රමණය වූහ. ඒ සෑම තරුණයෙකුම පාහේ පූගොඩට තදාසන්න ඉහත සඳහන් ප්‍රදේශවල වූ නිවාසවල නතර වූ අතර, එම සම්පූර්ණ බෝඩින්කරුවන් පිරිස දහස් ගණනක් වන්නට ඇත.

මෙලෙස තම නිවෙස්වල පිට පළාත්වල තරුණයන් බෝඩින් කරගත් පූගොඩ අවට වැසියන්ගේ ආර්ථිකය ද මඳක් ඉහළ නැංවුණු බව රහසක් නොවේ.

මෙසේ පිට පළාත්වල සිට පූගොඩ පෙහෙකම්හලේ රැකියාවට පැමිණ ඒ අවට නිවෙස්වල නතර වී සිටි තරුණයෙකු දෙදෙනෙකු එම නිවාසවල තරුණියක දෙදෙනෙකු විවාහ කරගැනුණු අතර මුලින් එය එතරම් ආන්දෝලනාත්මක පුවතක් නොවීය. නමුත් එක්දහස් නවසිය අසූව දශකයේ මුල බාගයේ සිට එලෙස පිට පළාත්වලින් පැමිණ පූගොඩ නිවාසවල නතර වූ තරුණයන් එම නිවාසවල තරුණියන් විවාහ කරගෙන එම නිවෙස්වලම ‘බින්න බැහීමේ’ රැල්ලක් පැතිර ගිය අතර, පසුකාලීනව එලෙස පූගොඩ අවට බෝඩින් නිවාස හිමි තරුණියන් විවාහ කරගන්නා පිට පළාත්වල තරුණයන්ගේ සංඛ්‍යාව සිය ගණනින් ඉහළ නැංවිණි.

ඒ අනුව මට මෙම අපූරු පුවත පිළිබඳව මුල්ම හෝඩුවාව දුන් පෙරේරා මහතා කීයේ එම සෑම තරුණයෙකුම බෝඩිමේදී රස විඳින බටු මාලුවක් සහ පුහුල් හොද්දක් ගැන කී අතර උපන්තේකට එවැනි රසවත් ව්‍යංජන දෙකක රස බලා නැතැයි ද ඔවුන් නිතර උදම් අනන්නට වූ බවය. එම තරුණයන්ගේ විවාහ සහ එම ව්‍යංජන දෙක අතර කතාවට මුල එය විය.”අන්න අහවලාත් බටු මාළුව කාලා”පිට පළාතකින් පැමිණ පූගොඩ අවට නතර වූ තරුණයකු එම නිවසේ තරුණියක විවාහ කර ගත් පුවත පෙහෙකම් හළේ සේවකයන් අතරේ සන්නිවේදනය වූයේ එලෙසිනි.

පූගොඩ අයත් දොම්පේ ප්‍රදේශය දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවලට සාපේක්ෂව ගුප්ත විශ්වාස බහුල ලෙස පැතිර පවතින ප්‍රදේශයකි. බලි, තොවිල්, ශාන්තිකර්ම ආදී යාතුකර්ම නිතර සිදුකෙරෙන එම ප්‍රදේශයේ ආරූඪයෙන් හෝ මළවුන් ගෙන්වා ශාස්ත්‍ර කියන ස්ථාන සේම අංජනම් නිමිති බලන ස්ථානද සැලකිය යුතු ගණනක් තිබේ. එමෙන්ම වම්බටු කෙසේ වෙතත් පුහුල් යනු ඇස්වහ, කහවහ ඇතුළු වස්දොස් නිවාරණය සඳහා යොදාගන්නා ගුප්ත බලයක් ඇතැයි විශ්වාස කෙරෙන බෝග වර්ගයකි. මෙම වශීකාරක ව්‍යංජන දෙකේ කතාව අප රටේ බොහෝ ප්‍රදේශවල පැතිර යන්නට එය ද හේතු වන්නට ඇත.

“මගේ ගම මාතලේ, මට පූගොඩ පෙහෙකම්හලේ රස්සාව ලැබුණේ 1979 අවුරුද්දේ. එතකොට මගේ වයස අවුරුදු විසි හතරයි. මම පූගොඩ ඇවිත් ඉස්සරවෙලාම නතර වුණේ ගිරිදර. ඒ කාලෙ මම පඩි සල්ලි එකතු කරලා කැසට් ප්ලේයර් එකක් ගත්තා. ඒකෙන් මොහිදීන් බෙග්, සුජාතා අත්තනායක, ජෝතිපාල වගේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සින්දු අහන්න තමයි මුලදීම ඒ බෝඩිමේ ගෑනු ළමයා මගේ කාමරේට ආවේ ඒත් ඉතින් ඊට පස්සේ…………….. කොහොම හරි එයාගේ දෙමව්පියොත් අපේ මේ සම්බන්ධෙ ඒ විදිහට තියෙන්න ඉඩ දෙන්න බෑ කියලා අපි දෙන්නට බඳින්න කිව්වා. ඒ හින්දා අපිත් 1981 අවුරුද්දේ බැන්දා.”

මෙම බටු මාලුවේ සහ පුහුල් හොද්දේ කතාවට වඩා යථාර්ථයට සමීප වෙනත් හේතුවක් ඉදිරිපත් කළ ගිරිදර ආර්.එම්.පී.රත්නායක මහතා සිනාසෙමින් කීය. මේ වනවිට සිව් දරු පියෙකු වන ඔහු මුණුපුරු මිණිපිරියන් හත්දෙනෙක්ගේ මුත්තණුවෙකි.

“මම දන්න විදිහට ඔය බටු මාලුවයි, පුහුල් හොද්දයි හොඳටම හදන්න දන්නේ පූගොඩ තරාල සෙනසුන්ගොඩ පැත්තේ. ඉස්සර ඒ පල්ලියේ මංගල්ලෙට ගියාම මාත් ඔය බටු මාලුවයි, පුහුල් හොද්දයි කාලා තියෙනවා. ඇත්තෙන්ම කියනවා නම් ඒ මිනිස්සු ඒවා හදන විදිහට බත් කන්න මස්, මාළු, කරවල මුකුත්ම ඕනේ නෑ. ඒ හැම රසයක්ම ඒ ව්‍යංජන දෙකේ තියෙනවා.”

මෙම වශීකාරක ව්‍යංජන දෙක පිළිබඳව වැඩිදුර කරුණු විමසීමේදී මට හමුවූ පූගොඩ, උඩකණම්පැල්ලේ පදිංචි අසූ හැවිරිදි එම්.විලියම් මහතා කීය. එබැවින් මම එම වශීකාරක ව්‍යංජන දෙකේ ‘තිඹිරිගෙය’ විය හැකි පූගොඩ, තරාල බලා පිටත් වීමි.

පූගොඩ, තරාල යනු පාරම්පරික කතෝලික බහුතරයකින් යුතු ගම්වරයකි. එහි කිතුණුවන්ගේ ආගමික ඉතිහාසය 1662 වසරේ ජුසේ වාස් පියතුමන්ගේ සීතාවකපුර ගමන තෙක් අතීතයට දිව යන බවක් කියනු ලැබේ. දැනට එහි ඇති ප්‍රධාන පූජනීය ස්ථානය වන පූගොඩ තරාලේ සිරිකුරුස දේවස්ථානය 1903 වසරේ ඉදිකරන ලද්දකි.

නමුදු පුගොඩ තරාලේ වියපත් ගැමි කතුන් කිහිපදෙනෙකුගෙන් එම බටු මාලුවේ සහ පුහුල් හොද්දේ වට්ටෝරුව පිළිබඳව විමසූ විට ඔවුන් පවසා සිටියේ ‘එක එක විදිහට හදන්න පුළුවන්’ ආදී පැහැදිලි එල්ලයක් නොමැති පිළිතුරු ය. එබැවින් මම දක්ෂතම කෝකියෙකු වශයෙන් දිගුකලක් එම ප්‍රදේශයේ කීර්ති නාමයක් දිනාගෙන සිටි අසූ හැවිරිදි උඩකණම්පැල්ලේ ජෝන් පීටර් මහතා හමුවීමි.

“ඉස්සර මේ පළාත්වල මඟුල් ගෙයක්, දානයක්, දේව දානයක්, පල්ලියේ මංගල්‍යය වගේ මිනිස්සු එකතු වෙන ඕනෙම තැනකදී ඔය ව්‍යංජන දෙක වරදින්නෙම නැහැ. ඔය වම්බටු ව්‍යංජනය කීප විදිහකටම හදන්න පුළුවන්. ඒකට එක්කරන කුළුබඩුවල හැටියට ඒකේ පාට වගේම රසයත් වෙනස් කරගන්න පුළුවන්. ඉස්සර මෙහේ මිනිස්සු පිට පළාත්වල මිනිස්සු කෑමකට එනකොට වම්බටු මාලුව දෙවිදිහකට හදලා මේසෙට තියනවා. එතකොට ඒ අයට පුදුමයි ඒ දෙකම වම්බටු කිව්වම. ඒ වම්බටු මාලුවට අබ අඹරලා හදන පුහුල් හොද්ද තමයි හරියටම ගැලපෙන්නේ.” ජෝන් පීටර් මහතා කීය.

ඔහු වැඩිදුරටත් කී අන්දමට අතීතයේ පූගොඩ තරාල ප්‍රදේශයට ආවේණිකව තිබූ එම රසවත් ව්‍යංජන දෙක පාරම්පරික කතෝලික ගැමි සංස්කෘතික උරුමයකි.

“ඉස්සර මේ ගඟ දෙපැත්තේ වැවුණු කොරටු බෝගවලින් වැඩිපුරම දකින්න තිබුණේ වම්බටුයි, පුහුලුයි තමයි. කොටින්ම ඒවාට මිලක් නැහැ. ඕනෙම කෙනෙකුගේ කොටුවකින් අහන්නේ නැතුව වුණත් ඒවා කඩාගත්තට කවුරුවත් දොස් කිව්වේ නැහැ. නමුත් අද වෙනකොට මේ ගම්වල මිනිස්සුත් එළවළු ගන්න කඩපොළට යනවා. මේ ගඟ දෙපැත්තේ තිබුණු වැලි, රොන්මඩ, මැටි මිශ්‍ර පස අද හෝදා පාළුවෙලා ගිහින්. ඒ මදිවට ගඟ දෙපැත්තම බිල්ඩින් හැදෙනවා. ඉතින් ඔය වගේ හේතු හින්දා තමයි අද බටු මාලුව, පුහුල් හොද්ද වගේ පාරම්පරික ආහාර මේ පැතිවලින් නැත්තටම නැතිවෙලා ගිහින් බෝංචි, කැරට්, ලීක්ස්, බීට්රූට්වලට මේ පැතිවල අලුත් පරම්පරාවත් හුරුවෙලා තියෙන්නේ.”

මා හා එලෙස අදහස් දැක්වූ ජෝන් පීටර් මහතා අවසන් වරට කියා සිටියේ ජනතාව අතර පැතිර තිබූ ඒ බටු මාලුවේ සහ පුහුල් හොද්දේ ඇති ඉනා බලය පිළිබඳ කතාව කිසිඳු පදනමකින් තොර කතාවක් බවය.

“මේ පැත්තේ ඔය බටු මාලුවයි පුහුල් හොද්දයි රසට හැදුවට මොකද මේ පළාතේ කිසිම කෙනෙක් ඕවා පිළිගන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේගේ කැමත්තෙන් තොරව ඔය වගේ එක එක දේවල් සිද්ද වෙනවාය කියන කතා පිළිගන්න එපා කියලා අපිට බයිබලයෙන්ම කියලා දීලා තියෙනවා.” ජෝන් පීටර් මහතා කීය.

 තිලක් සේනාසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….