පච වපුරා ‘සමාජවාදය’ නෙළාගත නොහැකි ය

socialism

මෙරට ආර්ථිකය අද තිබෙන්නේ ඉතාමත් භයානක අර්බුදයක බවට විවාදයක් නැත. දැන් තිබෙන්නේ අර්බුදයෙන් ගොඩ එන මං සොයාගෙන ඒ අනුව කටයුතු කිරීමට ය. ඒ සඳහා සත්‍යය සොයාගත යුතු ය. එලෙස සත්‍යය සෙවීමට ප්‍රධාන බාධකයක් වී තිබෙන්නේ අර්බුදය තුළ තම දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැගීමට කැස කවන උදවිය විවිධාකාර අසත්‍ය තොරතුරු සහ විකෘති කිරීම් සමාජගත කරමින් සිටීම ය.

දැන් ඇතිව තිබෙන අර්බුදය බරපතළ ය. එයට අතීතයේ ගත් වැරදි දේශපාලන ආර්ථික ක්‍රියාමාර්ග හේතු වූ බවට ද සැකයක් නැත. නමුත් ඒ නිසා අතීතයේ සියලු දේ වැරදියි කියමින් බැන වැදීමෙන් පලක් නැත. අවශ්‍ය වන්නේ සිදු වූ සහ නොවූ දේ ගැන තුලනාත්මක විග්‍රහයකි. ඒ වෙනුවට පදනම් විරහිත අසත්‍ය විවේචන කිරීමෙන් ප්‍රශ්න හඳුනාගත හැකි වන්නේ නැත. විසඳුමක් ලැබෙනේ ද නැත.

මෙලෙස පදනම් විරහිත එක් විවේචනයක් නම් මේ සියල්ල 1977 ආරම්භ කළ විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල බව යි. වාමාංශික ලෙස පෙනී සිටින කණ්ඩායම් එය කියන්නේ 77 ට පෙර සමාජවාදී ලෙස හඳුන්වමින් ක්‍රියාත්මක රාජ්‍ය ධනවාදය කෙරෙහි ප්‍රේමයක් ඔවුන් තළල ඇති හෙයින් බව පැහැදිලි ය. 77 දී ආර්ථිකය විවෘත කිරීමට පහර ගහන්නේ යළි සංවෘත සහ සමාජවාදී ලෙස පෙන්වන ක්‍රමයක් ප්‍රවර්ධනය උදෙසා ය. කෙසේ වෙතත්, ඒ සඳහා ඉදිරිපත් කරන කරුණු අසත්‍ය ය. ඒ විවේචන මහ පොළොවේ ඇත්ත සිදුවීම් මගින් ප්‍රතික්ෂේප වෙයි.

එම ප්‍රවාද ගැන සම්පුර්ණ විග්‍රහයක් මෙබඳු කෙටි ලිපියකින් කළ නොහැකි ය. මෙහි අරමුණ වන්නේ එම විවේචන යථාර්ථයෙන් කෙතරම් දුරස්ථ ද යන්න පිලිබඳ කෙටි සරල කරුණු දැක්වීමකි.

මොවුන් කියන්නේ 1977 න් පසු මේ රටේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වූ බව යි. එහි ප්‍රධාන ලක්ෂණ ලෙස ඔවුන් කියන්නේ රජය අවම කිරීම, එනම් රජය ආර්ථික සංවර්ධනයට ආයෝජන නොකිරීම, සහනාධාර කපාහැරීම, දිළිඳු ජනයා ගැන නොතැකීම ආදිය යි. එමෙන් ම දේශීය කර්මාන්ත සහ කෘෂිකර්මය සංවර්ධනය නොකරන බව ද කියති.

මෙම තර්කවල දිගුවක් ලෙස මොවුන් හැමදාම කීවේ නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය අහෝසි කරන්නට මෙම පාලකයන් ක්‍රියා කරන බව යි.

මේ කතන්දර ගැන දිගු අධ්‍යනයක් කළ හැකි වුවත්, මේවා අසත්‍ය බව තේරුම් ගැනීමට කවුරුත් දන්නා කරුණු ප්‍රමාණවත් ය.

මහවැලි ව්‍යාපාරය යනු මේ රටේ කෘෂිකර්මයේ මෙන්ම කර්මාන්ත ඇතුළු සමස්ත සංවර්ධනය සඳහා ම කළ දැවැන්ත ආයෝජනයකි. අදත් අපගේ කර්මාහ්තවල තරගකාරීත්වය පවත්වාගෙන යා හැකිව තිබෙන්නේ මහවැලියෙන් ලැබෙන ලාභ ජල විදුලියෙනි. එය රාජ්‍ය ආයෝජනයකි.

මෙරට කර්මාන්ත වේගයෙන් සංවර්ධනය වුයේ නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීමෙනි. දැන් එය ආර්ථිකයේ පිට කොන්ද බවට පත්ව ඇත. කටුනායක පටන්ගත් මෙම කරමාන්ත කලාප බියගම, කොග්ගල , සීතාවක වශයෙන් පසුව ව්‍යාප්ත කෙරිණි මේ සියල්ලට යටිතල පහසුකම් සැපයීම රාජ්‍ය ආයෝජනයකි. එමෙන් ම එම ආර්ථිකයට අවශ්‍ය ලෙස ගුවන් තොටුපළ වරාය ආදී අනෙක් පහසුකම් ද සංවර්ධනය කළේ රාජ්‍ය ආයෝජන මගිනි.

1977 වන විට මේ රටේ ජලය සහ විදුලිය පහසුකම් තිබුණේ නගරවල පමණකි. විදුලිය බෙදාහැරීම කළේ නගර සභා මගිනි. දැන් ඈත ගම්වල ජනයා තම අයිතියක් ලෙස ජලය සහ විදුලිය ඉල්ලති.

මාර්ග සංවර්ධනය ද එම කාලයේ වේගවත් වීය. මාර්ග කාපට් කරන්නට පටන්ගත්තේ එකල ය.අලුත් මාර්ග ඉදිකරනු ලැබී ය. වම එදා කීවේ මේවා වැඩකට නැති වියදම් බව යි.

මෙලෙස ආර්ථික සංවර්ධනයට අවශ්‍ය බොහෝ පහසුකම් රාජ්‍ය ආයෝජන ලෙස සංවර්ධනය කෙරිණි.

මෙහි දී අවම රජයක් පිලිබඳ අදාහසක් වත් නොතිබූ අතර වාමාංශික කියාගන්නා උදවිය කියන නව ලිබරල්වාදයක් නම් දක්නට ලැබුණේ නැත.

නිදහස් අධ්‍යාපනය විනාශ කරන කතාව ගැන බැලුවහොත් පෙනෙන්නේ මෙම කාලය තුළ අධ්‍යාපනය පුළුල් කිරීමට රජය ක්‍රියා කර ඇති ආකාරය යි. 77 දී මෙරටේ තිබුණේ මණ්ඩප පහකින් යුතු එක් සරසවියකි, පේරාදෙණිය, කොළඹ, විද්‍යෝදය, විද්‍යාලංකාර, කටුබැද්ද පැවතියේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ මණ්ඩප වශයෙනි. යාපනය සහ මාතර සරසවිවලින් පටන්ගෙන දැන් සරසවි 17 ක් තිබෙන්නේ ඊනියා වාමාංශිකයින් කියන පරිදි නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමේ ප්‍රතිඵල ලෙස ද යන්න ප්‍රශ්න කළ යුතු ය. වෛද්‍ය , ඉංජිනේරු ,තාක්ෂණ ආදී නව පීඨ රාශියක් අලුතින් පටන්ගෙන ඇත.

විද්‍යා පීඨ පටන්ගත්තේ නවසිය අසු ගණන්වල දී ය. තාක්ෂණ අධ්‍යාපනය සංවර්ධනය ගැන ද ඇත්තේ එබඳු ම වාර්තාවකි.

දැන් ආර්ථිකය හොම්බෙන් යද්දී ජනාධිපති රනිල් ඉදිරිපත් කොට ඇති අයවැයට ආර්ථික විද්‍යාඥයින්ගේ එක් විවේචනයක් නම් අලුතින් වෛද්‍ය පීඨ ආරම්භ කිරීමට මුදල් වෙන් කිරීම ය.

නිදහස් සෞඛ්‍යය අහෝසි කරනවා කියූ කාලයක කරාපිටිය, ජයවර්ධනපුර රෝහල් ආරම්භ කළා පමණක් නොව පැවති රෝහල් සංවර්ධනය කිරීමට ද කටයුතු කොට ඇත. මෙම කාලය තුල සෞඛ්‍යය පැත්තෙන් ලබාගත් ජයග්‍රහණ අති විශාලය .

සහනාධාර කපනවා කියන රජයක් ජනතාවට නිවාස සැපයීමට ගම් උදාව වෙනුවෙන් විශාල මුදලක් වැය කළ බවත්, ජනසවිය ආරම්භ කළ බවත් අමතක කළ හැකි ද ?

පාසල් දරුවන්ට නොමිලේ පොත් දෙන්න පටන්ගත්තේ ජේ ආර් ය. මතකයේ හැටියට නොමිලේ නිල ඇඳුම් දුන්නේ ප්‍රේමදාස ය. සහනාධාර කපනවා ය කියා වාමාංශික යැයි කියාගන්නා උදවිය කියද්දී ඇත්තට ම ක්‍රියාත්මක වුයේ එබඳු වැඩ සටහන් ය.

මෙබඳු තවත් බොහෝ දේ කිව හැකිය. නමුත් මිථ්‍යාදෘෂ්ටික සමාජවාදීන්ගේ ආර්ථික මිථ්‍යා මත තේරුම් ගැනීමට මෙම කරුණු ප්‍රමාණවත් ය.

එබැවින් අපට අහන්නට වන්නේ මේක මොන නව ලිබරල්වාදයක් ද යනුවෙනි. අද රට අමාරුවේ වැටී තිබෙන්නේ ඊනියා නව ලිබරල්වාදයක් නිසා නොව රටට දරාගත නොහැකි තරමට රාජ්‍ය වියදම් සහ සහනාධාර වැඩි කර ගැනීම නිසා ය. බොරු ‘සමාජවාදී’ වීම නිසා ය.

මෙයට බොරු විවේචන ඉදිරිපත් කිරීමෙන් වන්නේ ආර්ථික විනාශයේ ඇත්ත තේරුම් ගැනීමට නොහැකි වන සේ අවුලක් නිර්මාණය කිරීම යි. එමෙන් ම ආර්ථික ඝාතනයේ ඇත්ත වගකිව යුත්තන් අනියමින් රැකීමක් ද එමගින් සිදුවෙයි.

එබැවින් මෙම ඊනියා වාමාංශික විවේචකයන්ට අවවාද කළ යුතු වන්නේ ‘පච වපුරා සමාජවාදය නෙළාගත නොහැකි’ බව පෙන්වා දෙමිනි.

සී ජේ අමරතුංග

praja

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….