කල්පිටිය, කන්දකුලිය, ඉච්චන්කාඩුව කලපුවේ වැලි සමඟ ඇති මඩ අවුස්සමින්, දෑත්වල නිය පතුරු ගැලවෙන තුරු මඩවලට යටින් සැඟවී සිටින මට්ටි සොයා එය සොච්චම් මුදලකට අලෙවි කරමින් සිය දරු පවුල් ජීවත් කරවන කාන්තාවන් පිරිසක් පිළිබඳ පුවතක් එම ප්‍රදේශයෙන් වාර්තා විය. මෙම කාන්තාවන් වැඩි පිරිසක් පවුලේ ප්‍රධාන ආදායම් සොයන්නා බවට පත්ව ඇත්තේ තම දරුවන් හෝ දරුවන්ගේ දරුවන් හෝ අසරණ වූ මව්පියන් හෝ අසනීප වූ සැමියන් ජීවත් කරන්නට වෙහෙසෙන පිරිසක් බවට පත්වීමෙනි. මෙම කාන්තාවෝ සිය කඩාවැටුණු පවුලේ ආර්ථීකය ගොඩදමන්නට වෙහෙසෙති. කන්දකුලිය, ඉච්චන්කාඩුව කලපුවේ මෙලෙස දෛනිකව මට්ටි සොයා මඩ පීරන කාන්තාවන් 50කට ආසන්න පිරිසක් වෙති. ඒ අතරින් කාන්තාවන් කිහිපදෙනෙක් මෙසේ අදහස් දැක්වූහ.
ඉනෝකා සන්ධ්‍යා කුමාරි මහත්මිය,
මම දන්න කාලයෙ ඉඳලා තමයි මේ මට්ටි අල්ලන්න කලපුවට එන්නේ. මගේ මහත්තයා නැහැ. දරුවන්ගේ දරුවෝ හයදෙනෙක් බලන්නේ මම. ලැබෙන මුදල මදි. දවසට එක වේලක් තමා අපි කන්නේ. මොනා කරන්නද වෙන මොනවත් කරන්න දෙයක් නැහැ.
මංගලිකා කුමුදුනී ප්‍රනාන්දු මහත්මිය,
අපිට කන්දකුලියෙ වෙන කරන්න රස්සාවක් නැහැ. ඒ නිසා තියෙන එකම දෙය මේ කලපුවේ බැහැලා මට්ටි අල්ලන එක. අපි හිතකින් කරන්නේ නැහැ. පවුල් පිටින් සමහරු අල්ලනවා දරුවොත් එක්ක. ඒ තරම් අසරණ පිරිසක් අපි. මේ අපේ ඉරණම කියලා හිතාගෙන කලපුවට බහිනවා.
මේරි පිලමිනා (65) මහත්මිය,
මට කරන්න කිසිම දෙයක් නැහැ. වෙන රස්සාවක් කරන්නත් බැහැ. මාව බලාගන්න කිසිම කෙනෙකුත් නැහැ. හිටපු පුතාත් අවුරුදු තුනේදි අසනීප වෙලා නැතිවුණා. මහත්තයත් නැහැ. කලපුවේ මඩ අස්සේ අත දාගෙන මට්ටි හොයද්දි වීදුරු කටු සහ වෙන දේවල්වලට අතපය කැපිලා පුදුම වේදනාවක් දෙන්නේ.
එස්.ඒ. ගුණවතී මහත්මිය,
මම ඇදුම ලෙඩෙක්. කලපුවේ බැහැලා මේ විදිහට මට්ටි අල්ලපුවාම මට ඇදුම වැඩි වෙනවා. එකපාරක් මැරෙන්න ගිහින් යාන්තමට බේරුණා. දොස්තර මහත්වරු කිව්වා කලපුවේ ආයෙ බහින්න එපා කියලා. ඒ උනාට කවුද අපිට කන්න දෙන්නේ. මේ මට්ටි අල්ලලා ඒකෙන් ලැබෙන කීයක් හරි අරන් ගිහින් බෙහෙත් ටික ගන්නවා.
මෙවැනි මිනිසුන් වෙනුවෙන් යම් මෙහෙවරක් කරන්නට හැකි පිරිස්, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් හෝ ජීවත් වීමට මඟක් සකසා දෙන්නේ නම් එය මහඟු පිනකි.
පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ