නිශාන්ත රුවන් යනු ව්‍යවසායකයන්ට අතහිත දෙන තවත් වටිනා ව්‍යවසායකයෙකි. ඔහු නිර්මාණය කරන්නේ ස්වයං රැකියාවල නියුතු සහ කුඩා පරිමාණයේ නිෂ්පාදන සඳහා අවශ්‍ය වන විවිධ වර්ගයේ යන්ත්රෝපකරණයි. මහර, කඩවත සිය ව්‍යාපාරික කටයුතු කරන නිශාන්ත මහතාගේ ව්‍යාපාරය පිළිබඳ කළ සාකච්ඡාව ඇසුරින් සැකසූ ලිපියකි.
රසකැවිලි නිෂ්පාදන යන්ත්‍රෝපකරණ නිපදවීමට නිශාන්ත මහතා ප්රමුඛත්වයක් දරන්නේය. ටොෆි, සීනිබෝල සහ බිස්කට්, තල, දොදොල්, මස්කට් හදන මැෂින් ඒ අතර ප්‍රධාන තැනක් ගනියි. පිටි තුනී කරන, නූඩ්ල්ස් නිපදවන සහ පපඩම් නිෂ්පාදනය කළ හැකි යන්ත්‍ර ආදිය ද ඔහුගේ යන්ත්‍ර අතර වේ.ධාන්‍ය වර්ගවල ඇට වෙන්කිරීම උදාහරණයක් ලෙස රටකජු පොතු අරින යන්ත්‍ර, ඇට වර්ග, පොතු වර්ග, කොළ වර්ග, ධාන්‍ය වර්ග වැනි අමුද්‍රව්‍ය කැපීම, කෙටීම, ඇඹරීම සහ කුඩු කිරීමට අවශ්‍ය යන්ත්‍ර ඔහු නිපදවා තිබේ. බීජ වර්ග සිටුවන යන්ත්‍රයක් ද වේ. මේ ආකාරයට ඔහු යන්ත්‍ර සූත්‍ර 60 – 70 අතර ප්‍රමාණයක් නිර්මාණය කර තිබේ. අවශ්‍යතාව පැහැදිලි කළ පසුව ඒ සඳහා යන්ත්‍ර නිෂ්පාදනය කිරීමට ඔහු තුළ හසල දැනුමක් තිබේ. මේ සෑම නිර්මාණයක්ම නිශාන්ත විසින්ම නිර්මාණය කරන ලද ඒවා වීම විශේෂත්වයයි.යන්ත්‍ර නිපැයුම සැලසුම් කිරීමේදී යම් අඩුපාඩු ඇති වුවත් ඔහු නැවතත් ඒවාට වඩාත්ම සුදුසුම ආකාරයට යන්ත්‍රය නිපදවා අවසන් කිරීමට වගබලා ගනියි.
බයිට් නිෂ්පාදනයේදී එකවර කිලෝග්‍රෑම් 800 – 1000 අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි මිශ්‍රණය අනන, බදින ළිප් සහ තෙල් ඉවත් කරන යන්ත්‍ර වශයෙන් යන්ත්‍ර ගණනාවක් නිශාන්ත මහතා නිෂ්පාදනය කර තිබේ.යන්ත්‍ර නිපදවීමේදී මෝටරය, බෙල්ට් සහ රේසර් හැරුණු විට අනෙකුත් අමුද්‍රව්‍ය සියල්ලම මෙරටදී නිෂ්පාදනය කරන ඒවා යොදා ගනියි.මෙවැනි නිෂ්පාදන සඳහා රට තුළ නිත්‍ය වෙළෙඳපොළක් නොමැතිකම ලොකුම අභියෝගය බව නිශාන්ත මහතා පැවසීය. එවැනි පොදු වෙළෙඳපොළක් තිබුණේ නම් ගැනුම්කරුවන් සහ යන්ත්‍ර නිපැයුම්කරුවන්ට හමුවීමට හැකි පුළුල් අවකාශයක් ඇතිවේ. ගැනුම්කරුවන්ට මැෂින් නිපදවන්නන් මෙන්ම නව නිපැයුම් හඳුනා ගැනීමට මෙවැනි වෙළෙඳපොළක් අත්‍යවශ්‍යය. විකිණුම්කරුවන්ගේ නව නිර්මාණ සඳහා හොඳ ප්රදර්ශනාගාරයක් ද ඉන් ගොඩනැඟේ. මෙවැනි වෙළෙඳපොළක් රජය මැදිහත්වීමෙන් ඇතිකළ යුතු යැයි නිශාන්ත රුවන් මහතා පැවසීය.
ඉතා අඩු මුදලකට චීනය සහ ඉන්දියාවෙන් ගෙන්වනු ලබන ආදේශක යන්ත්‍ර හේතුවෙන් සිය නිෂ්පාදනවලට වෙළෙඳපොළ අඩු බව නිශාන්ත පැවසීය. එහෙත් එම ආනයනික යන්ත්‍ර තමන් නිෂ්පාදනය කළ යන්ත්‍ර මෙන් කල්පැවැත්ම සහ ආරක්ෂිත බවින් ඉතාම අඩු මට්ටමක පවතියි.රටේ සුදු යකඩ සහ පිත්තල වැනි අමුද්‍රව්‍යවල හිඟය සහ ආනයනය කිරීමේදී විශාල බද්දක් එක්වීම හේතුවෙන් නිශාන්ත වැනි ව්‍යවසායකයන් නිපදවන මෙවැනි අත්‍යවශ්‍ය යන්ත්‍රවල මිල සාපේක්ෂව දෙගුණයක් වන බැවින් ඉහළ මිලක් වීම ඒවා අලෙවියට ඇති තවත් අභියෝගයකි.
“අපි වැනි කුඩා පරිමාණ නිපැයුම්කරුවන්ගේ යන්ත්‍රවලට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන මහා පරිමාණ ප්රදර්ශනවලදී ඉඩක් ලැබෙන්නේ නැහැ. මම මේ නිර්මාණ තනිවම සොයාගත්තා වගේම තනිව නිෂ්පාදනය කළා. ඒත් මාව අගයමින් සම්මාන සහතික කිසිදු රජයකින් ලබාදී නැහැ. සමහරවිට ඒ නිලධාරීන් අපිව හඳුනන්නේ නැතිව ඇති.” මේ ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයෙන් නිශාන්ත මහතාගේ ව්‍යාපාරය පුළුල් කිරීමට එය බොහෝදුරට බලපා තිබේ. නිෂ්පාදනය කරන්නේ යන්ත්‍රයක් නිසා අඩු පුහුණුව සහ දැනුම නොමැති ශ්‍රමය භාවිත කිරීමට ඔහු මැළිවන අතර හැකිතාක් යන්ත්‍ර තනිව නිපදවීමේ අභියෝගයකට මුහුණ දී සිටියි.“මගේ නිෂ්පාදන අම්පාර, කල්මුණේ වගේ දුරබැහැරට රැගෙන යනවා. ඒවායේ දෝෂ ඇතිවුණොත්, අලුත්වැඩියාව සඳහා ගැනුම්කරුවන්ට බොහෝ දුරක් එන්නට සිදුෙවනවා. මේ නිසා නිෂ්පාදනය ගුණාත්මක බවින් උපරිමයට ලබාදීම මගේ අරමුණයි. ඒ වගේම මෝටරය, බෙල්ට් සහ රේසර් යන කොටස් හැරුණම පූර්ණකාලීන වගකීම් සහතිකයක් සෑම යන්ත්‍රයකටම ලබාදෙනවා.”
නිශාන්ත රුවන් ඔහුගේ යන්ත්‍ර නිෂ්පාදන ව්‍යාපාරය ආරම්භ කළේ 2012 වසරේදීය. ඔහු අ.පො.ස. (සා.පෙළ) විභාගය අවසන් කර ඔහුගේ වැඩිමහල් සොයුරියගේ සැමියාගේ මෙවැනි යන්ත්‍ර නිපදවන වැඩබිමක වසර හයකට වැඩි කාලයක් සේවය කළේය. එහිදී යන්ත්‍ර නිර්මාණය, යන්ත්‍ර නිෂ්පාදනය, අමුද්‍රව්‍ය පිළිබඳ මනා දැනුමක් ලැබීය. පසුව ඔහු දකුණු කොරියාවේ වසර හතකට වැඩි කාලයක් රැකියාවල නිරත විය. එහිදී උපයාගත් මුදල් යොදවා 2012 වසරේදී පමණ ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කළේය. මේ වන විට ඔහු ගැනුම්කරුගේ අවශ්‍යතාවට අනුව යන්ත්‍ර නිපදවීමේ හසළ දැනුමකින් යුත් රටට අවශ්‍යම ව්‍යවසායකයකු වී හමාරයි. වර්තමානයේදී ඔහු සමාජ මාධ්‍ය සහ ගැනුම්කරුවන් මඟින් සිය නිෂ්පාදන ප්‍රවර්ධන කරනු ලබන්නේය. ඔහුගේ නිෂ්පාදන සියල්ලගේම එකතුවක් සහිත ප්රදර්ශනාගාරයක් ගොඩනැඟීම නිශාන්ත මහතාගේ මීළඟ ඉලක්කයයි.
ඉරෝෂා දීපානි