පරිසර හිතකාමි කර්මාන්ත නැතහොත් “හරිත” කර්මාන්ත යනු පරිසරයට අවම හානියක් වන පරිදි ක්‍රියාත්මක වන සහ පාරිසරික තිරසරත්වය ප්‍රවර්ධනය කරන ව්‍යාපාර වේ. වර්තමාන ගෝලීය අභියෝග හමුවේ විශේෂයෙන්ම දේශගුණික විපර්යාස සහ ස්වාභාවික සම්පත් ක්ෂය වීම පිළිබඳ ගැටලු වැඩි වශයෙන් මතුවීමත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙවින් වැදගත්ය. සාම්ප්‍රදායික කර්මාන්තවලින් සිදුවන කාබන් විමෝචනය, අපජලය බැහැර කිරීම සහ අනෙකුත් හානිකර අපද්‍රව්‍ය පරිසර පද්ධතිවලට හානි කරයි. නමුත් හරිත කර්මාන්ත තුළදී පුනර්ජනනීය බලශක්ති භාවිතය සහ අපද්‍රව්‍ය අවම කිරීමේ ක්‍රමවේදයන් යොදා ගැනීම, බලශක්ති කාර්යක්ෂමතාව, මෙම හානිය සැලකිය යුතු ලෙස අවම කරයි. සූර්ය බලශක්ති සමාගම්, තිරසර ඇඟලුම් නිෂ්පාදකයින් මෙලෙස ක්‍රියාකරනු ලබන්නන් වේ.
මෙවැනි කර්මාන්ත ස්වාභාවික සම්පත් සංරක්ෂණය සඳහා නිතැතින්ම දායක වේ. පරිසර හිතකාමි කර්මාන්තයන්ගේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ප්‍රතිචක්‍රිකරණය සහ අවම සම්පත් භාවිතය කෙරෙහි අවධානය යොමු කිරීමයි. එවැනි කර්මාන්ත සිය නිෂ්පාදන ක්‍රියාවලීන්හිදී අවම අමුද්‍රව්‍ය සහ බලශක්තියක් භාවිත කරන අතර, ක්ෂය වන පොසිල ඉන්ධන මත යැපීම අඩු කරයි. මෙහි ප්‍රතිඵලය වන්නේ අනාගත පරම්පරාවන් සඳහා සම්පත් සුරැකීමයි.
තවද පරිසර හිතකාමි කර්මාන්ත නව රැකියා අවස්ථාද නිර්මාණය කරයි. හරිත තාක්ෂණයන් සහ සේවා සඳහා වන ඉල්ලුම ගෝලීයව වර්ධනය වෙමින් පවතී. මෙහිදී පුනර්ජනනීය බලශක්ති ස්ථාපනය, තිරසර ඉදිකිරීම්, පරිසර හිතකාමි ප්‍රවාහනය සහ පාරිසරික උපදේශන වැනි ක්ෂේත්රවල රැකියා අවස්ථා බිහිවේ. මෙය, පාරිසරික තිරසාරත්වය සමඟ සමපාත වන ශක්තිමත් සහ නව්‍ය ආර්ථිකයක් ගොඩනැඟීමට උපකාරී වේ. පරිසර හිතකාමි කර්මාන්ත ආරම්භ කිරීම වර්තමානය සඳහා වන වැදගත්ම ආයෝජනයකි.
පරිසර හිතකාමි කර්මාන්ත යනු හුදෙක් පාරිසරික අභිලාෂයන්ට සීමා වූ ක්ෂේත්රයක් නොවේ. පරිසර හිතකාමි කර්මාන්ත අද වන විට ලෝකයේ රටවල් රාශියක ආර්ථික වර්ධනයේ සහ තිරසරභාවයේ ප්‍රධානතම ගාමක බලවේගයක් බවට පත්ව ඇත. බොහෝ රටවල් ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ පරිසරය හිතකාමි ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.
නිදසුන් ලෙස ගත් විට ජර්මනිය මඟින් න්‍යෂ්ටික සහ පොසිල ඉන්ධනවලින් මිදී සූර්ය සහ සුළං ශක්තිය වෙත යොමුවීම සඳහා අවශ්‍ය ආයෝජන සිදු කර ඇත. තවද චීනය කාර්මීකරණයට සමගාමීව පාරිසරික අභියෝග සඳහා වැඩි වශයෙන් මුහුණ දෙන අතර ලෝකයේ විශාලතම සහ විදුලියෙන් ක්‍රියාත්මක වන වාහන නිෂ්පාදකයා බවට පත්ව තිබේ. මෙය එරට නගරවල වායු දූෂණය අවම කිරීම සඳහා විසඳුම් සපයන අතර මෙමඟින් ගෝලීය වෙෙළඳපොළට බලපෑම් එල්ල කිරීමටද හැකි වී තිබේ. එමෙන්ම අයිස්ලන්තය වැනි රටවල් විදුලි අවශ්‍යතා සඳහා 100%ක් භූතාප සහ ජල විදුලිය මත රඳා පවතින අතර එමඟින් තිරසර බල ශක්ති ආර්ථිකයක් පවත්වාගෙන යයි. මීට අමතරව Apple වැනි ලෝක ප්‍රසිද්ධ සමාගම්ද ගෝලීය මෙහෙයුම් සඳහා වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්තිය භාවිත කරයි. මේ අයුරින් ලෝකයේ රටවල් රැසක් ආර්ථික වර්ධනය සහ පාරිසරික තිරසරභාවය සඳහා සාධනීය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
ඉන්දීවරී පෙරේරා
dinamina






