පොල් මුඩ්ඩ යනු සාමාන්‍යයෙන් අපතේ යන දෙයක් ලෙස නොසලකා එයින් අගය එකතු කළ නිෂ්පාදන රාශියක් නිර්මාණය කළ හැකිය. මේවා පරිසර හිතකාමි වීමට අමතරව නව රැකියා අවස්ථා ද උත්පාදනය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පාදනයක් කර ලංකාවේ ආර්ථිකයටත් විදේශ විනිමය රැගෙන ආ කාන්තාවක් පිළිබඳවයි මේ කතාව. ඇය නමින් නදීෂා මධුවන්ති ය. ඇයගේ කර්මාන්තශාලාව පිහිටා ඇත්තේ එප්පාවල නගරයෙන් කිලෝමීටර් 7ක් පමණ ඇතුළට වෙන්නට ඇති නල්ලමුදාව නම් ගමේ ය.
“පොල් මුඩ්ඩ කියන නිෂ්පාදනය රබර් ස්පොන්ච් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්, පරිසර හිතකාමි නව්‍යකරණය කරන ලද නිෂ්පාදනයක්. වර්තමාන සමාජයේ කාර්යබහුල ගෘහණින්ට පාවිච්චි කරන්න පහසු අයුරින් තමයි මෙය නිෂ්පාදනය කරලා තිබෙන්නේ.”
සාමාන්‍යයෙන් පොල් ගෙඩියක ස්වාභාවිකවම පිහිටලා තිබෙන පොල් මුඩ්ඩ නිවෙස්වල ගෘහණියන් වළං, පිඟන් මැදීම වැනි මුළුතැන්ගෙයි වැඩ සඳහා ප්‍රයෝජනයට ගනිති. නමුත් එම පොල් මුඩ්ඩ එක් වතාවක් හෝ දෙවතාවක් මැදීමෙන් පසුව ධවනු එය ඉවත දමති. නමුත් නදීෂා මධුවන්ති මහත්මිය අතින් නිමවෙන පොල් මුඩ්ඩ යන නිෂ්පාදනය සති දෙක තුනක් පාවිච්චි කිරීම සඳහා රෙකමදාරු කළ හැකිය. මෙවැනි නිෂ්පාදනයක් බිහිවීමේ පදනම ගැන නදීෂා මධුවන්ති මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය.
“මගේ මහත්තයා සුමේධ ලියනාරච්චි. ඔහු මානව සම්පත් කළමනාකරුවෙක්. අපි මුලින්ම කළේ මෑන්පවර් සමාගමක්. කොළඹ තමයි ඒ රැකියා කටයුතු කළේ. නමුත් කොවිඩ්වලින් පස්සේ එය ඉදිරියට කරගෙන යන්න බැරි තත්ත්වයක් උදාවුණා. ඒ අතරේ මගේ මහත්තයාට ආව අදහසක් අනුව තමයි, මුලින්ම කොහු ලණු නිෂ්පාදනය කළේ. ඒ දිනවල කොළඹින් ඉඩමක් අරන් අපේ කර්මාන්තය පවත්වාගෙන යන්න තමයි අදහස තිබුණේ. නමුත් ඉඩම්වල වටිනාකම අපේ තක්සේරුවට වඩා වැඩියි. එතරම් මූල්‍යමය හැකියාවක් අපට තිබුණේ නැහැ. මගේ මහත්තයාගේ ගම එප්පාවල. ඒ නිසා අපි එප්පාවලට ඇවිත් මෙහෙන් ඉඩමක් අරන් අපේ කොහු ලණු කර්මාන්තය පටන් ගත්තා. මේ පැතිවල ඉඩම් ගණන් අඩුයි, සේවක ගැටලුවක් නැහැ. ඒ වගේම කොහු ලබා ගන්නත් පහසුයි.
“අපිට 2023 නොවැම්බර් මාසේ වෙද්දි කර්මාන්තශාලාව හදාගන්න පුළුවන් වුණා. එයට අවුරුදු 3ක කාලයක් ගියා. ඉන් පසුව පුද්ගලික සමාගමක් ලෙස සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ හැකි වුණා. ලණු ෆැක්ටරියේ වැඩ පටන් ගත්තා. කොහු කිලෝ ග්‍රෑම් 1ක් වගේ අඹරන කොට ග්‍රෑම් 250 ක්, 300 ක් පමණ ප්‍රමාණයේ කොහු අපතේ යනවා. ඒ කියන්නේ, මැෂිම යටට වැටෙනවා. අපි ඒවා ගොඩ ගහලා තියනවා. අපිට ෂීට් මැෂින් එකකුත් තිබුණා. ඒකෙන් වැඩක් ගන්න ඕන කියලා සහ මේ අපතේ යන කොහුවලින් යම් දෙයක් කරන්න ඕන කියලා හිතලා තමයි පොල් මුඩ්ඩ කියන නිෂ්පාදනය හැදුවේ. මේ නිෂ්පාදනය හදන්න පටන් ගිනිද්දි මේ තරම් ඉල්ලුමක් තියේවි කියලා හිතුවේ නැහැ. මුහුණු පොතේ අලුත් නිෂ්පාදනය ගැන සඳහන් කළා. ඉන් පස්සේ බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබුණා. මිලියනයකට අධික පිරිසක් නරඹලා තිබුණා.
එප්පාවල අවට ප්‍රදේශවල පොල් ලෙලි සපයන අයගෙන් තමයි පොල් ලෙලි ගන්නේ. ඒ වගේම අපේ ලොරියේ ගිහින් පොල් ලෙලි එකතු කරගෙන එනවා. අපේ ප්‍රධානම නිෂ්පාදනය කොහු ලණු. නමුත් එයට වඩා පොල් මුඩ්ඩ කියන නිෂ්පාදනයට දැන් ඉල්ලුමක් තිබෙනවා. ඒ අනුව ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පොල් මුඩ්ඩ නිෂ්පාදනයට ඇණවුම් ඇවිත් තිබෙනවා. ඊට අමතරව කැනඩාව, එංගලන්තය, ඉතාලිය වගේ රටවල්වලටත් ඇණවුම් යවලා තිබෙනවා.”
“අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපි තමයි කොහුවලින් වැඩ කරන කර්මාන්තශාලාවක් පිහිටුවලා තිබෙන්නේ. මාසයකට කිලෝ 7000ක් වගේ ලණු අලෙවියක් තිබෙනවා. දැනට ප්‍රදේශයේ 15 දෙනෙකුට පමණ රැකියා අවස්ථා ලබා දීලා තිබෙනවා. තම නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳවත් නදීෂා මධුවන්ති මහත්මිය මෙසේ සඳහන් කළාය.
“මැෂින් එකෙන් පොල් ලෙලි කපලා කොහු ගන්නවා. කොහුවලින් කොහු ලණු හදනවා. ලණුවලින් ඉතුරු වෙන කොහුවලින් තමයි පොල් මුඩ්ඩ හදන්නේ.
පොල් මුඩ්ඩ කියලම මේ නිෂ්පාදනයට නම දාන්න හේතු වුණෙත්, පොල් මුඩ්ඩෙන් වෙන කාර්යය මේකෙනුත් වෙනවා. නවීන සමාජයේ කාන්තාවන්ට පාවිච්චි කරන්න පහසු විදිහට හදපු මගේම නිෂ්පාදනයක්.
අපිට මේ කර්මාන්තය ආරම්භ කරලා පවත්වාගෙන යන්න කිසිම ආයතනයකින් හෝ සංවිධානයකින් උදවු උපකාරයක් ලැබුණේ නැහැ. අපනයන බලපත්‍රයක් අපිට තවම නැහැ. ඒ නිසා අපි අපනයනය කරන්නේ, වෙනත් අපනයන කර්මාන්ත සමඟ එකතු වෙලා. රජයේ මැදිහත්වීමකින්වත් අපට අපනයන බලපත්‍රයක් ලැබුණේ නම්, අපේ නිෂ්පාදන ඍජුවම අපට අපනයනය කරන්න පුළුවන්. කර්මාන්ත කටයුතු තවත් වර්ධනය කර ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රදේශයේ තවත් රැකියා අවස්ථා ඇති කර ගන්නත් පුළුවන්.” යනුවෙන් නදීෂා මධුවන්ති මහත්මිය පැවසුවාය.






