හිතට ආපු යක්කු ගෙට පැන්න හැටි

yakku

අමනුෂ්‍ය බලපෑම් එල්ලවන තැන් වශයෙන් බොහෝ විට සඳහන් වන්නේ පැරණි නිවාස සහ මන්දිරයන්ය. එහෙත්, අති නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකට තනා, අලුතින් ගෙවැදුණු නිවසකටත් අමනුෂ්‍ය බලපෑමක් එල්ලවී ඇති බව පිළිබඳව මීට කලකට ඉහත
මට අසන්නට ලැබිණි. ඒ මගේ හිතවතෙකු වන දන්කොටුවේ පදිංචි රවීන්ද්‍ර සමරප්පෙරුමගෙනි.

රවීන්ද්‍ර පුත්තලම් දිස්ත්‍රික් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා මුක්ත සංගමයේ අනුශාසකවරයා ය. තොරතුර ලැබී ආසන්නම දිනක නිවසේ හිමිකරුවන්ගේ ද පූර්ණ එකඟත්වය මත මමත් රවීන්ද්‍ර එම නිවස සොයා ගියෙමි.

වෙන්නප්පුව නගරයෙන් මඳක් ඔබ්බෙහි අර්ධ නාගරික පරිසරයක පිහිටි එය බැලූ බැල්මටම සාමාන්‍ය නිවහනකට වඩා මන්දිරයක සිරි ඉසිලීය. ඒ අවට තවත් එවැනිම සුවිසල් නිවෙස් කිහිපයක් දැකිය හැකි වූ මුත් ප්‍රමාණය අනුව ඒවා ගලිවර් ඉදිරියේ හිඳින ලිලිපුට්ටන් මෙන් විය.එම සුවිසල් නිවසේ හිමිකරුවන් වූයේ දීර්ඝ කාලයක් ඉතාලියේ රැකියා කොට මව්බිමට පැමිණ සිටි අඹුසැමි යුවලකි.

ඔවුන් උපයාගත් අතිවිශාල මුදලින් සෑහෙන කොටසක් එම මන්දිරය තැනීම සඳහා යටකොට ඇති වගක් බැලූ බැල්මටම පෙනෙන්නට තිබිණි. එම යුවලට එම දෙමහල්ලන්ගේ භාරයේ අප රටේ සිටි යොවුන් වියේ පසුවන දරු තිදෙනෙකු වූ අතර, අම යුවල තම
දරුවන් ද සමග නිවසේ පදිංචියට විත් ඒ වනවිට මාස කිහිපයක් ඉක්මගොස් තිබිණි.

“අපි ලොකු පාටියක් එහෙම දාලා තමයි ගෙදර පදිංචියට ආවේ. ඒත් පදිංචි වෙලා ටික දවසක් යනකොට අපේ හිත්වලට අමුතුම පාළුවක්, තනිකමක් වගේ දෙයක් දැනෙන්න ගත්තා. මට වගේම දරුවන්ටත් ඒ පාළුව, තනිකම ඒ විදිහටම දැනුණා. ඊටපස්සේ තමයි ලොකු දුව කියන්න පටන්ගත්තේ මේ ගේ ඇතුළේ තවත් කවුරුහරි ඉන්නවා දැනෙනවා කියලා.”

එම භූත සිද්ධිය අප හමුවේ අනාවරණය කරමින් නිවසේ හිමිකාරියකීවාය.

“ඊට පස්සේ මේ ගේ ඇතුලෙන් අමුතුම පාළු ගඳක් දැනෙන්න පටන් ගත්තා” වැඩිදුරටත් විස්තර කළ ඇය කීයේ එවැන්නකි.”

ඊටපස්සේ අපි මේ කතාව අපිට හුඟක් හිතවත් නෑනා කෙනෙකුට කිව්වා. මොකද එයාලා ඔය යක්ෂයෝ එලවන හලාවත පැත්තේ පාස්ටර් කෙනෙක්ව දැනගෙන හිටිය නිසා. පස්සේ ඒ පාස්ටර් එයා බැඳලා ඉන්න සිස්ටරුත් එක්ක ඇවිත් දෙවියන්ට යාඥා කරලා ගේ හැමතැනම සුදු පාට කුඩු වගයක් ඉහලා ගියා. පුදුමේ කියන්නේ එදායින් පස්සේ රෑට ගෙදර අමුතු සද්දත් ඇතිවෙන්න පටන්ගත්තා.

ඊටපස්සේ අපි ගිහින් ඒ පාස්ටර් මුණගැහුණම එයා කිව්වා ඕක යක්ෂයා අරක්ගත්තු ගෙයක්. ඔය ගෙදරින් යක්ෂයා එලවන්න නම් ඔයාලා ඇදහිලිවන්තයන් විදිහට අපේ නිකායට සම්බන්ධ වෙන්න. එහෙම බැරි නම් ඔය ගේ අතහැරලා යන්න කියලා.”ඇය වැඩිදුරටත් කීවාය.

නමුත් තමන් පාරම්පරික කතෝලික බැතිමතුන් වූ නිසා අන්‍ය නිකායන්ට සම්බන්ධ වීම ගැන ඥාතීන් දැඩිව විරුද්ධ වූ බව ඇය කීවා ය. කෙසේ හෝ තම ජන්ම ආගම වෙනස් කිරීමට ඇති නොහැකියාව නිසා ඔවුන් බෞද්ධ ක්‍රමය යැයි සඳහන් කළ ගුප්ත පිළියමකට එකඟ වී ඇත්තේ ඒ සඳහා ආගම් මාරුවක් අවශ්‍ය නැති බව පැවසූ බැවිනි.

එහිදී ඇදුරෙකු යැයි පැවසෙන පුද්ගලයෙකු සහ ඔහුගේ සගයන් දෙදෙනෙකු පැමිණ නිවසේ සාලය මැද මල් බුලත් පුටුවක් තබා, රැයක් පහන් වනතුරු යන්ත්‍ රමන්ත්‍ර ජපකොට මැතිරූ තැඹිලි ගෙඩියක් පසුදා අළුයම පවුලේ සාමාජිකයන්ට බීමට දුන් වග නිවස හිමි කාන්තාව කීවාය.එහෙත්,ඔවුන් අනුගමනය කළ එම “බෞද්ධ ක්‍රමය අප තබා බුදු හිමියන් වත් නොදැන සිටි බව සහතික ය.

‘“මේ ගෙදරට මොකක්හරි අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා නම් ඒ තැඹිලි ගෙඩියේ වතුර තිත්ත වෙන්න ඕනේ කියලා ඒ මනුස්සයා කිව්වා. මගේ මහත්තයටයි පවුලේ බාලයා පුතාටයි, හැරුණු කොට මටයි දුවලා දෙන්නටයි ඒ තැඹිලි වතුර තිත්ත බව හොඳටම තේරුණා. එතකොට තමයි ඒ මනුස්සයා කිව්වේ ඒ අමනුෂ්‍ය බලපෑම අපි තුන්දෙනාගේ ඇඟවල්වලට ඇතුළු වෙලා කියලා. ඒකයි අපිට එහෙම දැනෙන්නේ කියලා. කොහොමහරි අපි තුන්දෙනා මේ ගෙදර කාමරයක් ඇතුළට යනකොට අපිට හොඳටම තේරෙනවා ඒකේ ඇතුළේ ඉන්න
කවුරු හරි ජනේලෙකින් පැනලා යනවා කියලා.

දැන් අපි සැරින් සැරේ ලෙඩ වෙනවා.අපිට මේ ගෙදර ඉන්න එක එපාම වෙලා.”ඇය කීවේ අපමණ දුක් මහන්සි වී තමන් විසින් තනාගත් සිහින මැදුර තමන්ට අපායක් වී ඇති බව අනියමින් පවසමිනි.මෙහිදී එම රූප, ශබ්ද ආදී අමනුෂ්‍ය සංඥා සේම තැඹිලි වතුර තිත්ත
වීම ද ව්‍යංගය[Suggestion] නම් මානසික සාධකය මත පදනම් වන බව අපට වැටහිණී.

“මේක අපි ඉතාලි ක්‍රමයට හදවාගත්තු ගෙයක්. ඒත් අපේ රටේ වාස්තු දෝෂ කියන ඒවා නම් අපි බැලුවෙම නැහැ. ඔය අතරේ අපේ යාළුවෙක් වාස්තු දෝෂ බලන්න කියලා කාවද මන්දා මෙහාට එව්වා. ඒ මනුස්සයා කියපු ටික අහලා අපිට මේ ගේ විතරක් නෙමෙයි ජීවිතේම එපා වුණා.”එම නිවෙස් හිමියා කීවේ තමන් ගොඩනගාගත් මැදුර සකල විධ වාස්තු දෝෂ වලින්පිරී ඇති බවත්, ඒවා ඉවත් කිරීමට නම් නිවසෙන්
සැලකිය යුතු කොටසක් කඩා ඉවත් කළ යුතු බවත් වාස්තු පිරික්සන්නා කී බව ය. ඒ අනුව අප රටේ මිථ්‍යා ජාවාරම කොතෙක් ඔඩු දුවා තිබේ දැයි අපට සිතාගත හැකි විය.

අනතුරුව ගෙහිමියන්ගේ පූර්ණ අවසරය මත මමත් රවීන්ද්‍රත් එම නිවසේ ඇතුළත පරීක්ෂා කළෙමු. එහිදී එම අඹුසැමි යුවලගේ කාමර, එක් එක් දරුවාගේ කාමර,රූපවාහිනී කාමරය ආදී නිවසේ කොටස් එකි`නෙකට දුරස්ව හා වෙන්වී ඇති බවක් අපට මනාව නිරීක්ෂණය විය. ඒ අනුව මේ නව නිවහන තුළ ඔවුන්ගේ පවුල හුදෙකලා වී ඇති බව අපට පහසුවෙන් වටහාගත හැකි විණි. ඒ හැරුණුකොට නිවසේ
සුවිසල් ජනෙල් සඳහා පුළුල් වීදුරු භාවිතකොට ඇති අන්දමත් නැගෙනහිර දිශාභිමුඛව සැකසුණු එම වීදුරුතල මගින් තද හිරුඑළිය සේම උණුසුම නිවස තුළට කාන්දු වීමට ඇති හැකියාවත් නිරීක්ෂණය කිරීමට අපට හැකි විය.

මෙවන් පසුබිමක ඔවුන් එකි`නෙකාට තම පවුලේ සාමාජිකයන්ගේ සමීපත්වය, උණුසුම අහිමි වීමෙන් ඇතිවන තනිකම, පාළුව වටහාගත නොහැකි එම ගෘහණිය හෝ දියණිවරුන් දෙදෙනාගෙන් කෙනෙකු එය “අමුතුම පාළුවක්’ ලෙස විස්තර කිරීමේ අරුමයක් නැත.ඇගේ එම මානසිකත්වය පවුලේ සෙසු සාමාජිකයන් වෙත ද සන්නිවේදනය වීමෙන් එය එම පවුලේ පොදු මානසික ප්‍රකාශනයක් බවට පත්ව තිබුණි. මෙය හුදෙක් මානසික සාධක මත පැන නැගුණු තත්ත්වයකි.

මෙහිදී කිතුණු ක්‍රමය, බෞද්ධ ක්‍රමය සේම වාස්තු දෝෂ පිරික්සීම ලෙස මෙම පොදු මානසික ප්‍රකාශනයට මිථ්‍යා අර්ථ නිරූපණ ලබාදුන් පුද්ගලයන් විසින් එම පවුලේ මානසිකත්වය මුළුමනින් කඩා බිඳ දමා තිබුණි. එම ගෘහණිය සහ දියණියන් පෙර නොවූ ලෙස රෝගී වීම මානසික බිඳවැටීම නිසා වූ දෙයක් වීමට පුළුවන.එමෙන්ම මෙම සකල විධ දෝෂවලට බලපෑ ප්‍රධානතම හේතුව එම අඹුසැමියන් තම පවුලේ සැබෑ අවශ්‍යතාව ඉක්මවා තමන්ට කිසිසේත් නොගැලපෙන තරම් සුවිසල් ආකාරයට,ශ්‍රී ලංකාවේ නිවර්තන කලාපීය දේශගුණයට කිසිසේත් නොගැලපෙන ගෘහ නිර්මාණයක් අනුව මැදුරක් තනාගෙන ඒ තුළ තමන් විසින්ම හුදකලා වීම බව බැලූ බැල්මටම අපට පසක් විය. “මේ ගෙදරට කිසිම යක්ෂ දෝෂයක් නැහැ.

එහෙම තියනවාකියනවා නම් අපි දෙන්නාගෙන් කවුරුහරි ඕනේ තරම් දවස් ගානක් මේ ගෙදර තනියමඉඳලා පෙන්වන්නම්.”අවසානයේ රවීන්ද්‍රත් මමත් ඔවුන්ට කීවෙමු.“එතකොට අපිට බලපාන මේ තත්ත්වේ නැති කරන්න අපි මොනවද කරන්න ඕනේ?” අපේ එම ප්‍රකාශයෙන් මඳ අස්වැසුම් සහගත බවක් එම ගෘහණිය ඇසුවාය.

‘“මේ ගෙදර බඩු මුට්ටු, දොර රෙදි තියන විදිහ සැරින් සැරේ වෙනස් කරන්න.ඔයාලා ඉන්න කාමරත් සැරින් සැරේ මාරු කරන්න. ඒ වගේම සතියකට දවසක් හරි පවුලේ පස්දෙනාම සාලේ හරි බැල්කනියක හරි මෙට්ට දාගෙන එකට නිදාගන්න. ඒ වගේම මාසෙකට සැරයක් හරි ඔය දන්න කියන කට්ටියක් ගෙන්නාගෙන ගෙදර පැදුරු සාජ්ජයක් දාන්න. තමන්ට හුඟාක් හිතවත් පවුල් ගෙදරට ගෙන්න ගන්න. ඒ අය එක්ක විනෝද ගමන් යන්න. එතකොට ඔය දෝෂ කියලා හිතාගෙන ඉන්න සේරම දූරීභූත වෙලා යයි.” මම කීවෙමි.

මෙහිදී මා කළේ අමුතු ගුරුකමක් නොවේ. සාමූහිකත්වය, සතුට සහ නවතාවය යන සාධක තුන ඔස්සේ මිනිස් මනස තුළ පැලපදියම් වූ ඕනෑම යක්ෂයෙකු, ප්රේතයෙකු, අමනුෂ්‍යකු පලවා හැරිය හැකි බව සනාථ කිරීමක් පමණී.

මිනිසුන් ගේ මනෝ මූලික සංකල්ප වන යකුන් ප්‍රේතයන් දුක,වේදනාව,මානසික පීඩනය ඇති තැන් වලට මිස සතුට සොම්නස රැඳුණු තැනකට බැරිවෙලාවත් නො එති.මළ ගෙවල් වල මිස මඟුල් ගෙවල් වල හොල්මන් නැති වීමට හේතුව එයයි.

තිලක් සේනාසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….