අරගලය හා සමාජ මාධ්‍ය

මාධ්‍ය වේදී තරිඳුට පහරදී ඔහු අත් අඩංගුවට ගැනීමේ සිද්දිය නිමිත්තක් කරගෙන සමාජ මාධ්‍යවල දේසපාලන වාර්තාකරණය හා ඒ ආශ්‍රයෙන් ගොඩ නැගී තිබෙන විශේෂ දේසපාලන සංස්කෘතිය ගැන කෙටි විමර්ශනයක් කිරීම මෙම සටහෙනේ අභිලාෂය වේ.සමාජ මාධ්‍ය ලංකාවේ මහජනයා අතර ජනප්‍රිය තත්වයකට පත්වන්නට පෙර මුද්‍රිත ජනමාද්‍ය හා විද්‍යුත් ජනමාද්‍ය ලෙස ක්‍රියා කළ පුවත් පත්ද,ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකාද ජනතාවට තොරතුරු ලබා දෙන ප්‍රධාන මාර්ගය ලෙස ක්‍රියා කළේය.එහෙත් දැන් ඒ තත්වය විශාල ප්‍රමාණයකට වෙනස් වී ඇති අතර සමාජ මාධ්‍ය ජනතාවට තොරතුරු ලබා දෙන ප්‍රධාන මාර්ගය බවට පත්වී තිබේ.

මුද්‍රිත මාධ්‍යවලට තිබෙන පිලිගැනීම බොහෝදුරට බිද වැටී තිබෙන අතර පුවත් පත් මිලදී නොගෙන සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පත් කියවීමේ හැකියාව පුවත් පත් පාඨකයින්ට ලැබී තිබෙන්නේය.

පුවත් පත්වල, ගුවන් විදුලි හා රූපවජිනී නාලිකාවල පල වන දේවල ප්‍රමිති තත්වය සමාජ මාධ්‍ය වල පලවන දේවල වඩා වඩා කිසියම් ප්‍රමානයකට උසස් තත්වයක තිබුනා සේම එම තත්වය ඒවාට විස්වාසනීය භාවයක්ද ලබා දීමට හේතුවූ තිබුනි.ඊට හේතුවූයේ පලකරන දේවල සත්‍යතාව ඇතුළු වෙනත් සලකා බැලිය යුතු දේවල් කිසියම් ප්‍රමාණයකට හෝ සලකා බලන ක්‍රමයක් එම ක්‍රමයට ඇතුළත්ව තිබුනු නිසාය.සමාජ මාධ්‍යවල දේවල් පලකිරීමට පෙර ඒවායේ සත්‍යතාව හා සලකා බැලිය යුතු වෙනත් දේවල් ගැන සලකා බලන ක්‍රමයක් තවමත් පිලිගත හැකි ප්‍රමාණයකට ලංකාවේ සමාජ මාධ්‍ය වල ක්‍රියාත්මක වන්නේම නැති තරම්‍ ය.ඒ නිසා පොදුවේ ගත් විට විට ලංකාවේ දේශපාලන සමාජ මාධ්‍ය වල ප්‍රමිති තත්වය උසස් හෝ විස්වාසනීය තත්වයක නොපවතී.

එහෙත් සමාජ මාධ්‍ය කරලියට එන්නට පෙර ලිපියක් ,අදහසක් හෝ නිර්මාණයක් පලකරවා ගැනීමට එම ජනමාධ්‍ය ආතනවල බලධාරීන්ගේ අනුමැතිය නැතිවම බැරි කොන්දේසියක් වී තිබුණි.අනුමැතිය නොලැබුනු හැම දෙයක්ම කුණු කූඩයට ගියේය.එහෙත් සමාජ මාධ්‍ය වලදී එවැනි පාලනයක් නැතිව ඔනෑම පුද්ගලයෙකුට තමන්ගේ අදහසක් හෝ නිර්මානයක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරීමේ හැකියාව ලැබී තිබෙන්නේ යයි කිව හැකිය.එහි හොඳ පැත්තක් සේම නරක පැත්තක්ද තිබෙන්නේය..ලංකාවේ සාම්ප්‍රදායික වාර්තාකරණයකදී සත්‍යගරුක බව, අපක්ෂපාත කම හා සාධාරණ භාවය වැනි කොන්දේසි සැලකිල්ලට ගැනීමේදී බරපතල සීමාසහිත කම් තිබියදීත් ඒවා ලාවට හෝ සැලකිල්ලට ගැනීමක් සිදු වී යැයි කිව හැකිය.

ලංකාවේ සමාජ මාධ්‍ය කෙරෙහි එම කොන්දේසි කවර මට්ටමකින් හෝ බලපා තිබෙන බවක් පෙනෙන්නේ නැත.සාම්ප්‍රදායික ජනමාධ්‍යවල පලවෙන පුවත් විස්වාස කිරීමට හුරු පුරුදු වූ ජනයා ඒ ආකාරයටම සමාජ මාධ්‍ය වල පලවන පුවත් පරීක්ෂාවට ලක්කිරීමකින් තොරව විස්වාස කරන තත්වයකට පත්ව සිටින්නේ යැයි කිව හැකිය.එය යහපත් තත්වයක් ලෙස සැලකිය නොහැකිය.සමාජ මාධ්‍ය කරලියට එන්නට පෙර ප්‍රමානවත් තරම් වේගයකින් සමාජයට තොරතුරු ගලා ඒමක් ද සිදු නොවීය. සමාජ මාධ්‍ය කරලියට ඒමෙන් පසු තොරතුරු ගලා ඒම අධිවේගයෙන් සිදුවන ක්‍රියා දාමයක් බවට පත්වීමෙන් නොනැවතී ඒම ක්‍රියා දාමය හරහා ගලා එන තොරතුරු වලට ඇතුලත් වියාජ තොරතුරු වල පරිමාවද අති විශාල වීම නිසා තොරතුරු අතර තිබෙන සැබෑ තොරතුරු මොනවාද වියාජ තොරතුරු මොනවාද යන්න තොරා බේරාගැනීම දැන් ඉතා දුෂ්කර දෙයක් බවට පත්වී තිබෙන්නේ යැයි කිව හැකිය.

තරිඳු උඩුවරගෙදර සම්ප්‍රදායික මාධ්‍ය වලින් සමාජ මාධ්‍යට මාරුවූ මාධ්‍ය වේදියෙකු සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය.ඔහු ටිකකලක් “රාවය “පුවත් පතේ ද පසුව “අනිද්දා” පුවත් පතේද වැඩ කළේය.අවසානයේ වෙනත් ආයතන වල වැටුපට හෝ ඒ වායින් ලබා ගන්නා ගෙවීම් වලට වැඩ කිරීමේ ක්‍රමය අත් හැර අරගලය පැවති කාලයේදී ම වාගේ තමන්ගේම යූ ටියුබ් නාලිකාවක් ඇති කරගත් බව පෙනේ.ඒ සමග පරන සාම්ප්‍රදායික වාර්තාකරණයෙන් ඉවත්වී සමාජ මාධ්‍යට ගැලපෙන වාර්තාකරණ රාමුවකට මාරුවීමට සිදුවූ බව ද පෙනේ.ඉන්පසු ඔහුට සමාජ මාධ්‍ය සදහා වාර්තා කරන්න සිදුවන්නේ අපක්ෂපාත මාධ්‍යවේදියෙකු ලෙස නොව අරගලයට සම්බන්ධ එම අරගලයේ කොටස් කරුවකු වශයෙනි.

අරගලය මුලුමනින් යූ ටියුබ් කරුවන් ගේ නිර්මාණයක් ලෙස සැලකිය නොහැකිවුවද විදුලිය නැතිකම, ඉන්දන නැතිකම හා ගෑස් නැතිකම වැනි පීඩාකාරි ප්‍රස්න මත විශේෂයෙන් කොළඹ නගරයේ මධ්‍යම පංතික ජනයා අවේග කාරි හා සටන් කාමි තැනකට ගමන් ගනිමින් සිටින අවස්තාවකදී එම විරෝධතා පෙළගැස්ම බලවත් මහජන නැගිටීමක් බවට පත් කිරීමට හේතුවන උද්වේගර සමාජ මානසික වටාපිටාවක් ගොඩනැගීම සිදුවූයේ දැන හෝ නොදැන යූ ටියුබ් කරුවන් අතිනි.

ඒ කාලයේදී එම උද්වේගකර වාර්ථාකරණයන් නරඹන්නන් හැගීම් බරව හා අවේග ශීලිව ක්‍රියාකරන තැනකට තල්ලු කිරීමට හේතුවූ අතර එම වාර්තාකරණයන් නරඹන්නන්ගේ සංඛියාව අති විශාල වීම නිසාම යූ ටියුබ් කරුවන්ට එම වාර්ථාකරණයන් වෙනුවෙන් අසමාන්‍ය තරමේ ඉහල ආදායමක් උපයාගැනීමේ අවස්තාවද ලැබුණි.ඒ මගින් ලැබෙන ආදායම් ඉහල යන තරමට අදායම් ලැබෙන මට්ටම ආරක්ෂා කරගැනීම සදහා යූ ටියුබ් කරුවන්ට එම වර්තාකරණයන් ගෙන් ලැබුණු ආදයම් වල ප්‍රමාණයන්ද අති විශාල විය.

මෙම යූ ටියුබ් කරුවන් එක විට අරගලයේ නියමුවන් ලෙසද එම අරගලය වාර්ථා කිරීමෙන් ලොකු ආදායම් උපයන්නන් ලෙසද ක්‍රියා කළේය.යූ ටියුබ් කරුවන්ට අරගලය වාර්ථාකිරීමෙන් ලැබුණු ලොකු අදායම් නිසාම අරගලයේ පැවැත්ම බිඳ වැටීමෙන් පසුත් එයට කෘතිම පැවැත්මක් ලබාදීමට හේතුවන ලෙසද,පාරේ කෙරෙන අරගලය හැම දිනකම සිදුවන දෙයක් ලෙස තබාගැනීමට හේතුවන ලෙසද,සිදුවන නොවැදගත් පුංචි දේවලට පවා මහා ලොකු වැදගත් කමක් ලැබෙන ලෙසද කරුණු අතිශයෝක්තියකින් වාර්තාකරන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට සිදු විය.

පාරේ කෙරෙන අරගල සමග ඈඳුණු යූ ටියුබ් වාර්තාකරණය අනන්‍යතා අර්බුදයක වෙලී සිටින පුද්ගලයින්ට සමාජ පිලිගැනීමක් ලබා දෙන වැදගත් මාර්ගයක් ලෙසද ක්‍රියා කළේය.පරණ ලෝකය තුළ පිලිගැනීමක් ලැබීම විශේෂ කුසලතා තිබුණු ඉතාමත් සිමිත පිරිසකට පමණක් හිමි කරගත හැකි වරප්‍රසාදයක් වැනි දෙයක් වී තිබුනි.එහෙත් පාරේ කෙරෙන අරගලයට කැපී පෙනෙන අකාරයට සම්න්ධ වීම මගින් පමණක් වුවත් කෙනෙකුට ඉතා අඩු මහන්සියකින් හා සුවිශේෂ දක්ෂතා නැතිව වුවත් රටේ ප්‍රසිද්ද චරිතයක් බවට පත් විය හැකි තත්වයක් ඇති විය.එම අවස්තාව ප්‍රයෝජනට ගෙන ප්‍රසිද්ද චරිත බවට පත් වී තිබෙන අයගේ ප්‍රමාණය විශාලය.

එසේ ගොඩනැගුන පුද්ගලයින් අතර මිත්‍රත්වයක් ගොඩනැගී තිබෙන බව පෙනෙන්නට තිබෙන අතර ඔවුන්ගේ කෙනෙකු අනතුරු දායක තත්වයකට පත්වූ විට ආරක්ෂාව සදහා සහයෝගයෙන් ක්‍රියාකරන තත්වයක්ද ගොඩ නැගී තිබේ.එහෙත් ඒ සියළු දෙනා අලුතෙන් ප්‍රසිද්දියට පත් පුද්ගලයින් වනවා මිස නව නායකයින් බවට පත්වුයේ නැත.පරණ නායකයින් හොදටම යල්පැනගොස් ඇතත් ඔවුන් ගේ තැන ගැනීමට ප්‍රමාණවත් තරමේ මහජන පිලිගැනිමක් ඇති ප්‍රඥාවන්ත නව නායකයින් බිහිවීමක් සිදුවී නැත.ඒ නිසා පරණ යුගය අවසන් වී ඇත්තේ නව යුගයක් ඇතිවීමෙන් තොරවය.එය දේසපාලන අර්ථයෙන් ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ උභතෝකෝටික සොභාවය හොදින් පෙන්නුම් කරයි.

අරගලය ආශ්‍රයෙන් සමාජ මාධ්‍ය භාෂා විෂයෙහි ඇති කර තිබෙන හානිය අති විශාලය.යහපත් සමාජ විප්‍රර්‍යාසයන් වෙනුවෙන් කරන ලද අරගල වලට නායකත්වය දුන් මහත්මා ගාන්ධි, මාටින් ලූතර් කිං වැනි නායකයින් සමාජ දේසපාලන අරගලවලදී පාවිච්චි කරණ භාෂාව උසස් හා සීලාචාර තත්වයක තබා ගැනීමේ වැදගත් කම හා විශේෂයෙන්ම ප්‍රතිපක්ෂය තුළ පවා වෛරයක් හෝ ක්‍රෝදයක් ඇති කිරීමට හේතු නොවන අකාරයේ සීලාචාර භාෂාවක් පාවිච්චි කිරීමේ වැදගත් කම පෙන්වා දුන්නා පමණක් නොව තමන්ගේ සටන් බිම සීලාචාරත්වයේදී උසස් ප්‍රමිති තත්වයක තබා ගැනීමටද සමත් වූහ.එම විෂයේදී ලංකාවේ සමාජ් මාධ්‍ය පෙන්නුම් කර තිබෙන්නේ සදාචාරමය වශයෙන් උස්ස් තත්වයක් නොව පහත් තත්වයකි.වෛරසහගත අස්සීල භාෂා භාවිතය දේසපාලන වාර්තාකරණයේදි බොහෝ සමාජ මාධ්‍යවල දක්නට තිබෙන සමාන්‍ය ලක්ෂනයකි..

විවේචනයට ලක්කල යුතු නිලතත්වයක් දරන පුද්ගලයෙක් සීලාචාර භාෂාවෙන් බලවත් ලෙස වුවත් විවේචනයට ලක් කල හැකිය.එහෙත් ඒ වෙනුවට බහුල වශයෙන් යොදාගනිමින් තිබෙන්නේ නින්දාසහගත අශ්ලීල භාෂාවකි.වුර්තිය වේදීන් හා ශාස්ත්‍රාලිය උගතුන් පවා දේසපාලන පුවත් සාකච්චා වලදී එම අශ්ලීල භාෂාව මහත් උජාරුවෙන් පාවිච්චි කරන අවස්තා දැකිය හැකිය.

මේ තත්වය තව දුරටත් වර්ධනය වී එම අශ්ලීල භාෂාවෙන් දරුවන් සිය දෙමාපියන්ටද,පාසැල් ළමුන් සිය ගුරුවරුන්ටද,සේවකයින් සිය උසස් නිලදාරින්ටද ,කථා කරන තත්වයක් ඇතිවුවහොත් සමස්ත සමාජ ක්‍රමයම පාලනය කල නොහැකි මහා අවලස්සන තත්වයකට තල්ලු වී යනු නොවැලැක් විය හැකිය.

සමාජ මාධ්‍ය කරුවන් තමන් රඟාපාමින් තිබෙන් භූමිකාව ගැන විවේචනාත්මක ලෙස ආපසු හැරී බැලීමක් කල යුතු නැද්ද?

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….