පිටකොටුවේ කැලෑ පොළ..!

kala-pola

කොළඹ පිටකොටුවට නුදුරුව බැස්ටියන් මාවතට යාබදව එක් පසෙකින් දුම්රිය මාර්ගයට ආසන්නව පිහිටි හිස් පෙදෙසක, අවුරුදු කීපයක පටන් අපූරු වෙළඳපොළක් පැවැත්වෙන තැනක් බවට පත්ව තිබෙනවා. එයට කවුරුත් කියන්නේ, කැලෑ පොළ කියලයි.

කැළේ – කොළේ වැවෙන පළතුරු, පලා වර්ග වගේම, තවත් එළවළු – පළතුරු සහ බෝග වර්ග රාශියක් එහි අලෙවියට තිබෙනවා. මේ පොළ වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ මහ රෑටයි. අඩුවට හොඳ බඩුගන්න මෙතනට යන්න සිල්ලර වෙළෙන්ඳන් වගේම, පාරිභෝගික පිරිස්ද පුරුදු වී සිටිනවා.

මැනිං මාකට්ටුවට විකල්පයක්…

දැන් පෑලියගොඩට ගෙන ගොස් ඇති කොළඹ මැනිං වෙළඳපොළ මෙරට එළවළු පළතුරු මිල තීරණය කරන මධ්‍යස්ථානයක් ලෙසින් සැළකෙනවා. මැනිං මාකට් එක මෑතක් වනතෙක් පැවතුණේ, කැළෑ පොළට නුදුරුවයි. රටේ විවිධ පළාත්වලින් ගෙන එන බඩු, පාන්දර එකේ පමණ සිට මැනිං මාකට් එකේ තොග වශයෙන් අලෙවි කෙරෙනවා. කැළෑ පොළට එවැනි මිල තීරණය කිරීමේ බලයක් නැහැ. එහි ක්‍රියාත්මක වන්නේ, වෙනම මිලක්.

රාත්‍රී 07:00 ට පටන් ගන්නවා…

මේ වන විට කැළෑ පොළ ආරම්භ වී වසර හැටක් පමණ වෙනවා. මුල්ම කාලේ ලොකු වට්‌ටිවල තියාගෙන, ගමෙන් ගේන පොඩි පොඩි දේවල් වට්ටි අම්මලා එහි විකුණා ඇති බව පැවසෙනවා. ඒ කාලයේ සිට කැළෑ පොළ, පිටකොටුව අවට තැන් අටක පමණ පවත්වා තිබෙනවා. එයට ස්ථිර ස්ථානයක් හෝ ගොඩනැඟිලි කිසිවක් නැහැ. මැනිං වෙළෙඳපොළට ආසන්නයේ වසර 35 – 40ක පමණ කාලයක සිට කැළෑ පොළ පැවැත්වෙනවා.

එය ඇරඹෙන්නේ, රාත්‍රී 07:00 ටයි. පසුදා උදෑසන 10:00 පමණ වනතුරු මෙතන වෙළඳාම් හා ගනුදෙනු සිදුවෙනවා. මීට වසර 06 කට පමණ ඉහතදී මෙය පැවැත්වූයේ, බැස්ටියන් මාවත ඉදිරිපිට බස් නැවතුම්පළෙහි කෙළවරකයි. පසුගිය කාලයේ නාගරික සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් කොළඹ අලංකරණ කටයුතු කිරීම සිදුවූ අතර, පාවෙන වෙළඳපොළ සඳහා ඒ අවට භූමිය වෙන්කිරීම සිදුවුණා.

මේ නිසා, කැළෑ පොළ බැස්ටියන් මාවතේ සිට ඒ පාර පටන් ගන්නා තැන පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුව සතු හිස් ඉඩමක් වෙත මාරු වුණා. එම ඉඩමට විදුලි ආලෝකයද සපයා ඇති අතර, පොළොවටද කොන්ක්‍රීට් ගඩොල් අල්ලා තිබෙනවා.

කැළෑ ගම්වල එළවළු, පළතුරු…

කැලෑ පොළ නම මෙතැනට හිමි වී තිබෙන්නේ, ගමේ – ගොඩේ, කැළේ – කොළේ හැදෙන අල, පලා කොළ, පළතුරු, කොස්, දෙල්, කොස් ඇට, ගඩා ගෙඩි ආදිය රටේ හැම පැත්තෙන්ම පැමිණෙන හින්දයි.

සොයා ගැනීමට අපහසු වෙරළු, මසං, දං, දේශීය දෙළුම්, නමිනං, ඇඹරැල්ලා, ලොවි, ගඩුගුඩා, නාරං, ජමනාරං, ජම්බෝල, කාමරංගා, දොඩම්, ගමේ අඹ ආදිය කැළෑ පොළෙහි හමුවන පළතුරු වෙනවා.

කොස්, කොස් ඇට සහ පොළොස්වලට මෙහි ඇත්තේ ඉහළ ඉල්ලුමක්. ගමේ තැඹිලි, කුරුම්බා සහ පොල්ද මෙහි අලෙවියට තිබෙනවා. හීන් කොච්චි, තිබ්බටු, සුදු කොච්චි, බඩ ඉරිඟු, කෙසෙල් මුව, කෙසෙල් ආදිය මෙන්ම, රම්පේ සහ කැළෑවෙන් කඩා ගන්නා කරපිංචාද මෙහි බහුලව අලෙවි වෙනවා.

මඤ්ඤොක්කා, බතල, හිඟුරල, රාජාල, ඉඟුරු, හුළංකීරිය ඇතුළු අල වර්ග රාශියක්ද මෙතැන අලෙවි කරනු දක්නට ලැබෙනවා.

සොයා ගැනීමට අසීරු ඖෂධ වර්ග වන ගොනිකා කොළ, හීන් බෝවිටියා, සුදු හඳුන් කොළ ආදී බොහෝ දේ මෙහි තිබෙනවා.

බෝවිටියා, සාරණ, තම්පලා, වැල් පෙනෙල, හාතවාරිය, නීරමුල්ලිය, කිරි අඟුණ, පොල්පලා, හීන් බෝවිටියා, ඇඹිල්ල, කීකිරිඳිය, මොණර කුඩුම්බිය, ඇඹුල් ඇඹිලිය, රණවරා, තෙඹු වැනි පලා වර්ගත් මිටි බැඳ එහි අලෙවියට තබා තිබෙනවා.

මේවාට අමතරව කැරට්, දෙහි, ලීක්ස්, මිරිස්, පිපිඤ්ඤා, කැකිරි, මෑ, බෝංචි, ගෝවා වැනි එළවළුද මෙහි දී මිලට ගත හැකියි.

පාරිභෝගිකයන් වන්නේ, කුඩා වෙළෙඳුන්…

මෙතැනට එළවළු, පළතුරු මිලදී ගැනීමට බහුලව එන්නේ, කොළඹ අවට කුඩා කඩ පවත්වාගෙන යන වෙළෙන්ඳන්ය. මෙතැනින් එළවළු රැගෙන ගොස්, බත් පාර්සල් කර විකුණන අයත් ඉන්නවා. අච්චාරු තනා, විකුණන පිරිස්ද පැමිණ ඒවාට අවශ්‍ය අමු පළතුරු වර්ග කිලෝ ගණනින් කැළෑ පොළෙන් මිලදී ගන්නවා.

ගොටුකොළ, කතුරු මුරුංගා, මුගුණුවැන්න, සාරණ ඇතුළු පලා වර්ගත් මෙහි බහුලව දැකගත හැකි වෙනවා.

කෑළෑ පොළෙහි අලෙවි ද්‍රව්‍ය අතර නෙළුම්, මානෙල් මල් මිටිද ඇතැම් දිනෙක මෙහි දක්නට ලැබෙනවා.

මෙහි අලෙවි කරන දෑ අතර, බුලත් විටට ඇවැසි බුලත්, දුම්කොළ සහ පුවක්ද තිබෙනවා. විට වෙළෙන්ඳන් පැමිණ විටවලට ඇවැසි අමුද්‍රව්‍ය මෙතතින් මිලට ගන්නවා. පොලීසිය, වරාය, විශ්වවිද්‍යාල ආදී තැන්වල ආපනශාලා සඳහා ආහාර පිසීමටත් මෙතැනින් එළවළු සහ පලා වර්ග මිලදි ගැනෙනවා. ගමේ කෑම සොයා එන අයද මෙහි නිතර දක්නට ලැබෙනවා.

කැළෑ පොළෙහි දිනකට වෙළඳාමේ නිරතවන වෙළෙඳුන් සංඛ්‍යාව 300-400 ත් අතර සංඛ්‍යාවක්. ඔවුන්ට හිසට වහලක් නෑ. වෙළඳාම් කරන්නට කඩ කෑල්ලක්ද නැහැ.

තැනින් තැන බිම වාඩි වී වෙළෙඳාමේ නිරත වන මොවුන්, උදේ කාලයේ අව්වට පිච්චෙනවා. එවිට, සමහරුන් කුඩ ඉහළා ගන්නවා. තවත් සමහරු ඉටි කොළයකින් තාවකාලික වහළක් සවිකර ගන්නවා. වැස්සටද ඔවුන් තෙමෙනවා. දැන් ඔවුන් එයට හුරු වී ඇතුවා සේ යි.

රට වටෙන්ම වෙළඳුන් එන තැනක්…

සොයා ගැනීමට අපහසු ඖෂධ වර්ග මෙන්ම, ගමේ එළවළු, පලා වර්ගත් මෙහි තිබෙනවා. එහි මහා පරිමාණ වෙළෙන්ඳන් දකින්නට නැහැ. අනුරාධපුරය, තඹුත්තේගම, කුරුණෑගල, ගිරිඋල්ල, ආනමඩුව, හලාවත, පානදුර, ගම්පහ, වැලිවේරිය, හොරණ, ඇඹිලිපිටිය ඇතුළු විවිධ පැතිවලින් පැමිණෙන ගොවියන් සහ බඩු එකතු කරන අය 350 ක් පමණ පොළේ වෙළෙඳාම් කරනවා. එයට අමතරව, කොළඹ වෙළෙඳුන් පිරිසක්ද දුර පළාත්වල ගොවියන් එවන එළවළු වැනි දෑ අලෙවි කරනවා දක්නට පුළුවන්.

කුසුම්සිරි විජයවර්ධන
උපුටාගැනීම – ෆේස්බුක්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….