වීරයන් නැති කාලයක වීරයන් දෙදෙනෙක්

තමා සමග කතාකළ අයගේ සංවාද පටිගත කිරීම ගැන රන්ජන් රාමනායක දක්වන ක්‍ෂමාලාප කිසිසේත් පිළිගත හැකි ඒවා නොවේ. ඔහු කියන්නේ ආරක්‍ෂාව සඳහා ඒවා පටිගත කළ බවයි. එහෙත්, තමන්ගේ යහළු යෙහෙළියන් සමග කරන ලද අතිශය පෞද්ගලික ස්වභාවයේ සංවාද පවා පටිගත කළේ කුමන ආරක්‍ෂක හේතුවක් නිසාදැයි ඇසුවහොත් ඔහුගේ විත්තිවාචකය බල රහිත වෙයි.
කොහොම වුණත්, ඔහුගේ මේ සදාචාර විරෝධී සංවාද පටිගත කිරීම නිසා මේ වන විට රජයේ, අධිකරණයේ නිලධාරීන් කිහිප දෙනකුටම සිදුවී ඇත්තේ මහත් අබග්ගයකි. ඉන් සමහර නිලධාරීන්ට නම් ඒ ඉරණම අත්වීම ගැන අලූතෙන් අනුකම්පාවක් උපදින්නේ නැත. මන්ද යත්, ඔවුන්ගේ සාමාන්‍ය භාවිතාව තුළම ඒ සංවාදවලින් කියැවෙන කිලිටි ස්වභාවය තිබෙන නිසාය. එහෙත්, පද්මිණී රණවක, ශානි අබේසේකර වැනි අය කෙරෙහි එම සංවාද බලපා තිබෙන අන්දම අතිශය ඛේදජනකය. අධිකරණය තුළ, පොලිසිය තුළ ඔවුන් කළ වැදගත් කාර්යභාරය අවතක්සේරු කිරීමට මේ හරහා සමහරුන්ට අවස්ථාව ලැබී තිබේ.
සියල්ලටමත් වඩා බිහිසුණු කාරණය නම්, මේ සංවාද හරහා දුමින්ද සිල්වා මිනීමැරුම් නඩු තීන්දුව වැරදි ලෙස දුන් නඩු තීන්දුවක් හැටියට පෙන්වා, හිරබාරයේ සිටින දුමින්ද සිල්වා නිදහස් කර ගැනීමට දරන වෑයමයි. මහාධිකරණ නඩු තීන්දුව දුන්නේ පද්මිණී රණවක විනිසුරුවරිය පමණක් නොවේ. තවත් විනිසුරුවරයකු ඇගේ තීන්දුව සමග එකඟ වී ය. ඊටත් වඩා ඒ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංචපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් තහවුරු කරන ලද අතර, මහාධිකරණයේදී වරදකරුවකු වූ එක් විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කරන ලද බවද මතක තබා ගත යුතුය. අනෙක් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකොට ඇති බව පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ දඬුවම ස්ථිර කරන ලදි.
දුමින්ද සිල්වාට පළමුව වෙඩි වැදුණු බැවින් ඔහු භාරත ලක්‍ෂ්මන් ඝාතනයට වගකිව යුතු නැතැයි කියන තර්කය මහාධිකරණ නඩු විභාගය කාලයේදීත්, ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනය කාලයේදීත්, දුමින්ද සිල්වාට හිතවත් මාධ්‍යවලින් ඉස්මත්තට ගෙනා පදනම් විරහිත තර්කයකි. නීති විරෝධී රැුස්වීමක සාමාජිකයන් හැටියට සිටිමින් කරන අපරාධවලට රැුස්වීමෙහි සාමාජිකයන්ව සිටි සියලූම දෙනා වගකිව යුතුය කියන සිද්ධාන්තය නොදන්නා සමහරුන් දුමින්ද සිල්වාට සාධාරණ සැකයක වාසිය ලැබිය යුතුයැයි කියති. ලියති. මහාධිකරණ නඩු තීන්දුවේදී ඔහු වැරදිකරුවකු වන්නේ කෙසේදැයි නිවැරදිව විග‍්‍රහ කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදීද මේ තර්කයම පැනනැගුණු විට, පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඒ ගැන දීර්ඝ වශයෙන් සලකා බලා, ඉන්දියාව ඇතුළු වෙනත් රටවලද නඩු තීන්දුවල අන්තර්ගතයන් සලකා බලා මහාධිකරණ නඩු තීන්දුව තහවුරු කර ඇති බව පැහැදිලි විය යුතුය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඒකමතිකය.
යම් නඩුවක දුන් තීන්දුවක් ගැන අතෘප්තිමත් නම් කළ යුත්තේ ඉහළ අධිකරණයට අභියාචනා කිරීමය. එහෙත් මෙ නඩුව සම්බන්ධයෙන් දැන් එවැන්නක් කළ නොහැකිය. ඒ නිසා වරදකරුවන්ගේ පාර්ශ්වයේ අරමුණ වන්නේ නඩු තීන්දුව වැරදි බවට සමාජ මතයක් ඇති කොට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා වෙතින් ජනාධිපති සමාවක් ලබා ගැනීමය. ඒ සඳහා අධිකරණය, විනිසුරන්, සීඅයිඞී නිලධාරීන් ඇතුළු සියල්ලන්ගේ හා ආයතනවල ගෞරවය හා විශ්වාසවන්තභාවය විනාශ කිරීම අදාළ පාර්ශ්වයන් දැන් යහමින් කරගෙන යයි. බැලූ බැල්මට ආණ්ඩුවද ඒ සඳහා අනුමැතිය හා දහිරිය දෙමින් සිටින බව පෙනෙයි. එහෙත් කෙටියෙන් කිව යුත්තේ ජනාධිපති සමාව ආයුධයක් කොටගෙන මෙවැනි නඩු තීන්දුවකට පටහැනි දෙයක් කිරීම යනු, රටේ නීතියේ ආධිපත්‍යය දරුණු ලෙස කෙළෙසීමක් වන බවයි.
රන්ජන් රාමනායකගේ පටිගත කිරීම්වලට පින්සිද්ද වන්නට විවිධ පුද්ගලයන් හා ආයතන මේ ආකාරයට අනතුරේ වැටෙද්දී, ඒ ඉරණම ඇතිකිරීම සම්බන්ධයෙන් රාමනායකට වැරදි පැටවීම කළ යුතුමය. ඒ ගැන විවාදයක් නැත.
එහෙත්, පසුගියදා ඔහු පාර්ලිමේන්තුව තුළදී කළ කතාව, පෙර කී පටිගත කිරීමේ සදාචාර ප‍්‍රශ්නයෙන් ආවරණය කර දැමිය යුතු නැත. පසුගිය අවුරුදු පහකට ආසන්න කාලය තුළ තනි පුද්ගලයකු හැටියට විවිධ ගර්හාවන්ට හා කෙනෙහිලිකම්වලට ලක්වෙමින් රන්ජන් රාමනායක, හොරුන්, දුෂිතයන් හා අපරාදකරුවන් නීතිය හමුවට ගෙනඒමට ඔහු කළ දායකත්වය මේ පාර්ලිමේන්තු කතාවේදී ඔහු නැවතත් ඉස්මත්තට ගත්තේය. ඒ කාලයේ ඔහු තනියෙන් කළේ, යහපාලන ආණ්ඩුව, ආණ්ඩුවක් හැටියට කළ යුතු වැඩකි. රන්ජන්ගේම වචනවලින් කිවහොත්, හොරු අල්ලන්නට ආ ආණ්ඩුව හොරුන් විසින් අල්ලන ලද විට, ඒ කාර්යභාරය තනියෙන් කරගහන්නට සිදුවුණේ රන්ජන් වැනි තනි පුද්ගලයන්ටය. රන්ජන් තමාගේ ශෛලියෙන් ඒ බර ඇදගෙන ගියේය. කෙටියෙන් කිවහොත් රාජපක්‍ෂ අපරාද රාජ්‍යයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරවා ගන්නට ඔහු හැම අතින්ම වෑයම් කෙළේය. අදත් ඔහු රාජපක්‍ෂ පාලනයේ දැඩි විවේචකයෙකි. තනිවම ඊට අභියෝග කරයි. එජාපයේ නායකයා, විපක්‍ෂ නායකයා ඇතුළු නායක ස්තරය රාජපක්‍ෂවරුන් විවේචනය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී ඔවුන් සමග ඞීල් දැමීම පිළිවෙත කරගෙන සිටින මොහොතක රන්ජන් තනිවම විවේචනයේ යෙදෙයි. තමා අත්අඩංගුවට ගෙන, දැඩි ලෙස පීඩා කරද්දීත් ඔහු සැලෙන්නේ නැත. ඒවාට බයේ සටන අතහැරියේ නම් එදා පාර්ලිමේන්තුවේදී දැකිය හැකි වන්නේ නිහඬව සිනාවෙමින් සිටින රන්ජන් කෙනෙකි. රන්ජන් කියන විදිය වැරදි බව බොහෝ විට පැහැදිලිය. එහෙත් ඔහු කියන්නේ විපක්‍ෂයක් කිව යුතු දේවල්ය. ඔහු කරන්නේ විපක්‍ෂයක් කළ යුතු සටන්ය. ඊනියා මහත්මා ගති ඇති නායක, විපක්‍ෂ නායකවරුන් නිදා සිටිද්දී රන්ජන් පීඩා විඳිමින් තවමත් සිය වගකීම ඉටුකරයි.
හිරුනිකා පේ‍්‍රමචන්ද්‍රද නැවත වරක් පාර්ලිමේන්තුවේදී තමන්ගේ දේශපාලන සක‍්‍රියභාවය පෙන්වූවාය. තමාගේ පියා, තිරශ්චීන ලෙස ඝාතනය කළ අපරාධකාරයන්ට මුළු ආණ්ඩුවකම සහාය හා ආවරණය හිමිවෙද්දී ඇය මෙතෙක් කල් තනිවම ඊට එරෙහි සටනක් ගෙනගියාය. එය හුදු පුද්ගලයන්ට එරෙහි සටනක් නොව රටේ පාතාල ව්‍යුහයට එරෙහිවද එල්ල කළ ප‍්‍රහාරයකි. රන්ජන් හැරුණු විට රාජපක්‍ෂවරුන් සමග හරි හරියට හැප්පුණු අනෙක් දේශපාලන චරිතය ඇයයි.
හඬපට සිදුවීමේදී ඇය මුළුමනින්ම ලක්වුණේ කාන්තාවක හැටියට සමාජයෙන් එල්ලවන ජඩ ප‍්‍රහාරයටය. එවැනි අවස්ථාවක මුළුගැන්වී සිටීම හෝ සියල්ල අතහැර විදේශගත වීම පුරුදු පුහුණු කර ඇති ලංකාවේ කාන්තාවන්ට ආදර්ශයක් දෙමින් ඇය ප‍්‍රතිප‍්‍රහාර ඇරඹුවාය. ඇගේ හඬ හුදෙක් පෞද්ගලික අසාධාරණයකට එහා ගිය සමාජ අසාධාරණයකට එරෙහි හඬක් බවට පත්විය.
රන්ජන් හා හිරුනිකා ගැන මේ සතිය තුළදී වැඩිවන මහජන ප‍්‍රසාදය, අනෙක් පැත්තෙන් එජාපයේ නායක පොරයට වැටී සිටින අසමත් නායකයන්ට බලපාන්නේ ඍණාත්මකවය. මේ දෙදෙනා ඉහළට එසැවෙන්නට එසැවෙන්නට අර කී නායකයෝ තවදුරටත් මහජනතාව ඉදිරියේ නොපෙනී යති.
කවර විවේචන තිබුණත් මේ වීරයන් රැුකගැනීම සමාජයේ යහපත වෙනුවෙන් සටන්කරන්නවුන්ගේ කාරිය විය යුතුය. එය කළ හැක්කේ ඔවුන් නගන හඬ තමන්ගේද හඬ කර ගැනීමෙනි. ඔවුන්ගේ කාර්යභාරය තමන්ගේද එකක් කර ගැනීමෙනි. සමාජය මේ මොහොතේ තිබෙන්නේ වීරයන් අහිමි මොහොතකය. කළ යුත්තේ කුමක්දැයි එකෙලමෙකෙල වෙමින් ඉන්නා ප‍්‍රගතිශීලී ජනතාවට දෘෂ්ටිය සපයන්නට කෙනෙක් නැත. රන්ජන් හා හිරුණිකා එවැනි පරිපුරණ දෘෂ්ටියක් සපයනවාද යන්න කෙසේවෙතත් ඒ පැත්තට ඔවුන් එල්ල කරන ආලෝක ධාරාව නම් ඉතා වැදගත් බව ඔවුන්ට ගෞරව කරමින් කිව යුතුය.

 

කේ ඩබ්ලිව් ජනරන්ජන

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….