අගමැතිගෙන් ඉල්ලීමක්

mahinda

සේවකයින් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලුම කර්මාන්තකරුවන්ගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය හා ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමය මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ දී අගමැතිවරයා එම අදහස් පළ කර තිබේ.‍

බැංකු ණය සහන ලබා ගැනීම, ණයවර ලිපි විවෘත කිරීමේ දී ඇති ගැටලු විසඳා ගැනීම, ඇඟලුම් සේවකයන් සඳහා එන්නත්කරණය, කොවිඩ් මාර්ගෝපදේශවලට අනුව නිමි ඇඳුම් වෙළෙඳසැල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ගැටලු සම්බන්ධයෙන් පැමිණ සිටි නියෝජිතයෝ මෙහිදී අදහස් දැක්වූහ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් දැනට මාස 24කට ආසන්න කාලයක් සිය ව්‍යාපාර කටයුතු අඩපණ වී ඇතැයි පෙන්වා දුන් එම නියෝජිත පිරිස ව්‍යාපාර හා වෙළෙඳාම් පවත්වාගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය ඔස්සේ හදිසි සහන ලබා දෙන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.

ව්‍යාවපාර නඩත්තු කරමින් සේවකයන් තවදුරටත් සේවයේ තබා ගැනීම ද දුෂ්කර වී ඇති නිසා ඔවුන් ඉවත් කිරීමට සිදුවන අවස්ථා හැර වෙන විකල්පයක් නොමැති බව කී එම සංගම්වල නියෝජිතයෝ එසේ සේවකයන් ඉවත්කිරීම ද දුෂ්කර කාර්යයක් වී ඇති බව පෙන්වා දී ඇත.

Related posts