එන්නත් නැති වනජීවී නියාමක නිලධාරීන් වැඩ වැරුමකට

wanajiwi

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තමන් අවධානම් රාජකාරියක නිරත වුවත් තමන් වෙත මෙතෙක් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට පියවර නොගැනීම නිසා තමන් බලවත් අපහසුතාවට පත්ව සිටින බවත් වහාම එන්නත් ලබා දීමට පියවර නොගතහොත් ඊට එරෙහිව ලබන (07) දා දීප ව්‍යාප්ත ව සංකේත වැඩ වැරුමක් ක්‍රියාත්මක කරන බවත් සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය වනජීවී හා වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දුන් බව එම සංගමය පවසයි.

එහි ලේකම් ඒ.පී.එස්.විදානගමගේ මහතාගේ අත්සනින් යුතුව යොමු කොට ඇති මෙම ලිපියේ  දැක්වෙන්නේ කොරෝනා මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් ක්‍රියාවලිය ආරම්භ වූ මොහොතේ සිට අවස්ථා 6 ක දීම ලිඛිතව තමන් ට ද කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දෙන ලෙස ඉල්ලා ඇතත් මේ දක්වා ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

වනජීවී හා වන සං‍රක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වනජීවී හා වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලු වෘ ත්තීය සංගම් මේවන විට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙන බවත් තම සාමාජිකයින් සියලු දෙනා ක්ෂේත්‍ර රාජකාරි සිදු කරන බැවින් වහාම  එන්නත් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මෙම ලිපියෙන් ඉල්ලා සිටියි.තම ඉල්ලීම් දෙස සැලකිල්ලක් නොදැක්වීමට විරෝධය පළ කර ලබන ජුලි 07 වනදා සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් ව සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ද එම ලිපියෙන් වැඩි දුරටත් දන්වා සිටියි.

මීට අමතරව ඉකුත් (25)දා රාත්‍රියේ හබරණ ප්‍රදේශයේ දී වනජීවී නිලධාරීන්ට පහර දී තර්ජනය කිරීම සම්බන්ධයෙන් යුධ හමුදා මේජර් ජනරාල්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස  ඉල්ලා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කළ බව ද එම සංගමය පවසයි.

එම ලිපිය මගින් ඔවුන් දන්වා ඇත්තේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත ආරක්ෂා කොට පවත්වාගෙන යන තම සංගමයේ සාමාජිකයන්ට එල්ල කළ මෙම ප්‍රහාරය හා බලපෑම වනජීවී හා වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුවට ම කළ අපහාසයක් බවයි.ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවේ නම් ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව ද එහි වැඩි දුරටත් අවධාරණය කරයි.මෙම ලිපි දෙකම අති ගරු ජනාධිපතිතුමා,අගමැතිතුමා ඇතුළු වගකිවයුතු සියලු දෙනාට යොමු කළ බව ද එම සංගමය පවසයි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Related posts