කල් ඉකුත් වූ ඖෂධ නීතිවිරෝධි ලෙස දින වෙනස් කර බෙදාහැර වැඩ වරද්ද ගනියි

දෙහිවල පොලිස් වසමේ  නැදිමාල , රබර්වත්ත පාර ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවසක් තුළ ඉතා රහසිගතව හා සූක්ෂම ලෙස පවත්වාගන යනු ලැබූ විදෙස් රටවලින් හා මෙරටින්  ලබාගත් ලද කල් ඉකුත්වීමට ආසන්න හා කල් ඉකුත් වූ ඖෂධ  නීතිවිරෝධි ලෙස නිෂ්පාදිත දිනය හා කල්ඉකුත්වන දිනය වෙනස් කර ඒ වෙනුවට නව දින සහිත ස්ටිකර් සකසා අලවා ඖෂධ බෙදාහැරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය ස්ථානයක් දෙහිවල පොලීසිය හා බස්නාහිර පලාත් බුද්ධි ඒකකය සමග ජාතික ඖෂධ නියාමක අධිකාරිය නිලධාරීන් එක්ව  වටලා කල් ඉකුත්වූ ඖෂධ විශාල  තොගයක්  සමග ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
බස්නාහිර පළාත් බුද්ධි ඒකකය වෙත ලද තොරතුරකට අනුව දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එල් දුෂ්මන්ත ලියනගේ මහතාට දැනුම්දීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයාගේ දැනුම්දීම මත ජාතික  ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ  සිදුකල පරීක්ෂාවේදි සුඛෝපභෝගී දෙමහල් නිවසේ කාමර කීපයකම පෙට්ටිවල අසුරා ගබඩාකර තිබු කල්ඉකුත්ව ඇති ඖෂධ වර්ග මෙන්ම පෙති වර්ග තොගයක් සොයා ගැනීමට හැකි වූ බවද ඖෂධ නියාමන අධිකාරිය පැවසීය.
සිදුකළ වැඩිදුර පරික්ෂාවන් වලදී ඇසුරුම් කළ  බෙහෙත් කරල් හා බෙහෙත් පෙති ඉවත්කර තිබූ කාඩිපත් ඇතුලු එම ඇසුරුම්වලින් ඉවත් කරගත්  ඖෂධ විශාල ප්‍රමාණයක් හා දින වෙනස්කර නව ස්ටිකර් මුද්‍රණයට යොදාගත් පරිඝණකය, මුද්‍රණ යන්ත්‍රය  හා මුද්‍රණය කර තිබූ කල් ඉකුත්වීමේ දින හා නිෂ්පාදිත දින සඳහන් ස්ටිකර් තොගයක්ද අත්අඩංගුවට ගත් බවද ඖෂධ නියාමන අධිකාරිය පැවසීය.
අත්අඩංගුවට පත්වූ සැකකරු (51) වැනි වියේ පසුවන නෙළුම් මාවත, අත්තිඩිය ලිපිනයෙහි පදිංචිකරුවෙක් වන බවත් වසර (07) ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ කුලී පදනම මත ලබාගත් මෙම නිවස තුළ  මෙම ජාවාරම සිදු කර ඇති බවත් විදෙස් රටවලින් ආනයනය කරන බෙහෙත් ද්‍රව්‍ය බෙදාහැරීමේ ගබඩා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම වංචනික ක්‍රියාව සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.
ඖෂධ නියාමන අධිකාරියේ නීතිරීතිවලට අනුකූලව  කාඩිපත් වලින් ගලවන ලද කැප්සූල් හා පෙති වර්ග තොග පිටින්  වල දැමීම පිලිස්සීම හෝ නගර සභා කසල රථවලට භාරදීම සිදු කල යුතු අතර එවැනි ආකාරයෙන් කල් ඉකුත් වන ඖෂධ වර්ග පිළිබඳව ඖෂධ නියාමන අධිකාරියට කිසිදු දැනුම් දීමක් සිදු නොකර ඖෂධ නියාමන අධිකාරියේ පනවා ඇති නීති රීති වලට පටහැනිව මෙම වංචනික ක්‍රියාව සිදුකර ඇති බවත් සැකකරුට මීට පෙර ඖෂධ ගබඩා කිරීමේ හා බෙදැහැරීම සදහා අධිකාරියෙන් ලබාගත්  බලපත්‍රයක් සතුව ඇතත් එම බලපත්‍රයද කල් ඉකුත් වී ඇති එකක් බවත් නීතිවිරෝධි අයුරින් ඖෂධ ඇසුරුම් වල ඇසුරුම් දිනය හා කල් ඉකුත්වන දිනය සහිත ලේබල් ගලවා ආයතනයේ පරිඝණක යන්ත්‍ර භාවිතා කර සැකසූ ස්ටිකර් ඇලවීම සිදුකල නොහැකි බවත් නීති විරෝධී ආකාරයෙන් දින වෙනස් කර සැකසූ එවැනි ඖෂධ සැකකරු විසින් ඖෂධ හල් වෙත බෙදාහැර ඇති බවත් අනාවරණය කර ගැනීමට හැකි වූ බව ද  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා සෞඛ්‍ය පරීක්ෂක  වැටලීම් හා නීතිය බල ගැන්වීමේ ඒකකයේ අංශ ප්‍රධානී  අමිත් පෙරේරා මහතා  පැවසීය.
ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය නිමල්  ජයසිරි මහතාගේ උපදෙස් පරිදි සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කල් ඉකුත් වූ සියලුම ඖෂධ තොග ජාතික ඖෂධ නියාමන අධිකාරිය භාරයට ගෙන ඒවා විනාශ කිරීමට කටයුතු කරනු ලබන බවත් කල් ඉකුත් වූ ඖෂධ වර්ග බෙදා හැර ඇති ඖෂධ හල් හා ස්ථාන සොයා වැඩිදුර පරීක්ෂණයක් සිදුකරන බවත් අමිත් පෙරේරා මහතා වැඩිදුරටත්  පැවසීය.
සමීර  අබේසිංහ – බොරලැස්ගමුව

Related posts