ක්ෂණික විසඳුම එන්නත නොවන බව වෛද්‍යවරු කියති

corona-Vaccination

සයිනොෆාම් එන්නත සඳහා අනුමැතියක් ලැබුණු බවට ජනාධිපතිවරයා සිය අලුත් මාධ්‍ය ප්‍රකාශකයා හරහා කළ දැනුම්දීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රතික්ෂේප කිරීම සමගම වසංගතය පාලනය සඳහා මේ මොහොතේ කඩිනම් විසඳුම එන්නත් කරණය නොවන බව සෞඛ්‍ය විශේෂඥ පිරිසක් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

“එන්නත දුන්නට පස්සේ මේ රෝගීන්ට ඒ එන්නතේ ප්‍රතිශක්තිය ඇඟේ ඉපදීමට යන කාලය බැලුවහම තවත් මාස තුනක් විතර යනකං සැලකිය යුතු ප්‍රමාණයකට අපි ඉතාමත් වේගයෙන් එන්නත් කළත් සැලකිය යුතු ප්‍රමාණයකට ප්‍රතිශක්තිය නිපදවා ගැනීමට නොහැකි බව අපි දැනුවත් කළා.”

එවැනි තත්වයක් තුළ ඉතාමත් වේගයෙන් රෝගය පාලනය කිරීමේ අවශ්‍යතාවය මැයි 10 සඳුදා ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය සමග පැවැති සාකච්ඡාවේදී යළි යළිත් අවධාරණය කළ බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මැයි 11 අගහරුවාදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළාය.

කෙසේ වෙතත්, වසංගතය පාලනය කිරීම සදහා රජය ගෙන යන එන්නත් කරණ වැඩ පිළිවෙල ප්‍රශංසාවට ලක් කරන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් සඳහන් කළේ දීර්ඝකාලීනව රෝගයෙන් මිදීම සඳහා ඇති විසඳුම එන්නත් කරණය බවයි.

වසංගතය ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ව්‍යාප්ත වීමේ වේගය ඉතා අධික බව ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කර ඇත්තේ, මෙවැනි වසංගත ලෝකය පුරා පාලනය කර ඇත්තේ දැඩි සංචරණ සීමා පැනවීමෙන් පමණක් බවයි.

ඉතාමත් වේගයෙන් රෝගීන් වැඩි වීම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීමක් ඇති විය හැකි බවටත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයට අනතුරු අඟවා තිබේ.

 

Related posts