පිළියන්දල පොදු වෙළෙඳ පොළ වැසෙයි – රටම ලොක්ඩවුන් සූදානමක

lockdown

රට පූර්ණ වශයෙන් වසා දැමීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සාකච්ඡාවක්  අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වී තිබේ.

ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්චාව සඳහා අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප්‍රධානින් සියලු දෙනා කැඳවා තිබිණි.

එහිදී තීරණය කර ඇත්තේ ඉතා ඉක්මනින් පූර්ණ වශයෙන් හෝ 75% ක ප්‍රමාණයකින් රට වසා දැමීමට සිදු වුවහොත් ඒ සදහා සූදානම් විය යුතු බවය.

එවන් තත්ත්වයකදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

කෙසේ නමුත් ඇඳිරි නීතිය පැනවීමක් කිසිසේත්ම සිදු නොවනු ඇති අතර ලොක්ඩවුන් කිරීමක් පමණක් සිදුවනු ඇති බවත් එහිදී අවධාරණය කර ඇත.

කොරෝනා ආසාදිතයන් පිරිසක් හඳුනා ගෙන තිබෙන බැවින් පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර ඇත.

පොදු වෙළෙඳ පොලේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ආසාදිතයින් 101 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් එම තීරණය ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.

මේ නිසා පවත්නා තත්ත්වය හමුවේ පිළියන්දල පොදු වෙළෙඳ සංකීර්ණය  නැවත දැනුම් දෙනතුරු වසාදැමීමට පොලීසිය සහ සෞඛ්‍ය බලධාරින් එක්ව කටයුතු කර තිබේ.

Related posts