පිළියන්දල බරපතළ වන ලකුණු – ආසාදිතයින් තවත් ඉහළට

piliyandala

පිළියන්දල ප්‍රදේශයෙන් තවදුරටත් කොවිඩ් -19 රෝගීන් වාර්තාවීම ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය.

ඇය පෙන්වා දෙන්නේ ජනතාවගේ සංචරණය සීමා නොකළහොත් මෙම තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් බරපතළ විය හැකි බවය.

“විශාල ප්‍රදේශයක් හුදකලා කළොත් පමණයි අපිට අවශ්‍ය පරිදි කලමණාකරණය කරගන්න පුළුවන් වෙන්නේ. පේන්න ඉන්න රෝගීන් ප්‍රමාණයට වඩා නොපෙනෙන රෝගීන් ප්‍රමාණය දෙතුන් ගුණයක් වැඩිවිය හැකියි.” යනුවෙන් ද ඇය පැවසුවාය.

මේ අතර කැස්බෑව හා ඒ අවට ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ට සහ අහඹු ලෙස ආයතන මට්ටමින් තෝරාගත් 500 දෙනෙකු සඳහා PCR පරීක්ෂණ අද සිදුකෙරුණි.

PCR පරීක්ෂණයට පෙනී සිටීම සඳහා පැමිණි පුද්ගලයෙකුට එහිදී රෝගී තත්වයක් උත්සන්න වූ අතර පසුව ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුනි.

මේ අතර පිළියන්දල පොලිස් බලප්‍රදේශයට පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (07) අදහස් පළ කළේය.

එහිදී “අපිට ඊයේ දිනයේදීත් වැඩිපුරම රෝගීන් වාර්තා වුණෙත් කැස්බෑව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින්. මීට ප්‍රථම අපි අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට නිරෝධායන ඇඳිරිනීතිය පනවලා නැවත ඉවත් කරනු ලැබුවා.

මේ සම්බන්ධ මා පත් කළ විශේෂඥ කමිටු වාර්තාව අනුව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දැනට හුදකලා කරලා තියෙන ග්‍රාම නිලධාරී වසම් ටික තමයි ඔවුන් නිර්දේශ කෙරුවේ, හුදකලා කිරීම සඳහා. තවත් ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීමට අවශ්‍ය වුණොත් අපි ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා,” යනුවෙන් පැවසීය.

Related posts