බස්නාහිර, වයඹ සියළු පාසැල් වැසෙයි – මධ්‍යම පාසැල් තීරණය අද

බස්නාහිර හා වයඹ පළාත්වල සියලුම පාසල් හෙට අපේ‍්‍රල් 30 වන දින දක්වා වසා දැමිමට තිරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසන්නේ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

රජයේ පාසල්, පෙර පාසල් මෙන්ම පිරිවෙන්ද හා පෞද්ගලික පාසැල්ද මේ සමග වසා දැමෙයි.

සියඹලාණ්ඩුව සහ ඇතිමලේ නගර අවට පාසල් 06ක්, මොනරාගල නගරය අවට පාසල් 05ක් සහ බුත්තල නගරය අවට පාසල් 04 ඇතුලුව පාසල් 15ක් හෙට සිට සතියක කාලයක් වසා දැමෙන බව දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

මීට අමතරව, මිනුවන්ගොඩ, කලුතර, කොට්ටාව, මහනුවර ඇතුළු ප්‍රදේශ රැසක පාසල්වලින් කොවිඩ් ආසාදිත සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

මේ අතර කොවිඩ් ව්‍යප්තිය හමුවේ ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ පාසල් 12කින් කොවිඩ් ආසාදිත සිසුන් හඳුනා ගැනීමත් සමග එම කලාපයේ පිහිටි පාසල් 81ක් නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ නියෝග කළාය.

කෙසේ වෙතත් පාසල් පද්ධතියේ උද්ගත වෙමින් පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් දිවයිනේ සියලු පාසල් වසා දැමිය යුතු බව වෛද්‍යවරු ඇතුළු පාර්ශ්ව රැසක් පවසති.

පවතින අවදානම් තත්ත්වය සැළකිල්ලට ගනිමින් මධ්‍යම පළාතේ පාසල් විවෘත කරනවා ද නැද්ද සම්බන්ධයෙන් අද (27) දිනයේ දී තීරණයක් ගන්නා බව මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා පවසයි.

Related posts