බුලත් විටක් මාරයා රැගෙන එයි

උදෑසන ආහාරයට පෙර බුලත් විටක් කෑමට ගත් කුලී කම්කරුවෙකු හදිසියේම සිහි මුර්ජාවී ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව ජීවිතක්ෂයට පත්වි ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

අනුරාධපුර කඩ පනහා මුදිතා මාවතේ පිහිටි නිවසක ගෙමිදුලේ ඉන්ටර්ලොක් ගල් අල්ලමින් සිටි තරුණ කම්කරුවෙකු මෙසේ මියගොස් තිබේ.අඹගස්වැව මීවැල්ලාගම නිකවැරටිය ලිපිනයේ පදිංචිව සිටි සේමසිංහ වන්නිනායක මුදියන්සේලාගේ ප්‍රියන්ත වන්නිනායක (40) නැමත්තා අවාසනාවන්ත අන්දමින් මියගොස් තිබේ.

මේ දිනවල රැකියාවන් නොමැති නිසා මියගිය තැනත්තා හා තවත් දෙදෙනෙකු අනුරාධපුර කඩපනහා මුදිතා මාවතේ පිහිටි නිවසේ ගෙමිදුල ඉන්ටර්ලොක් ගල් අල්ලා සැකසීමට එහි පැමිණ ඇති බවත පොලිසිය පවසයි.(29දා) උදෑසන ගල් ඇල්ලීම සිදුකරනා අතරතුර ඔවුන් උදෑසන ආහාර ගැනීමට සැරසෙද්දි මරණකරු බුලත් විටක් සකසාගෙන එය හපමින් සිට ඇති බවත් මත්වුණා කියා වාඩිවූ ඔහු එක්වරම සිහිසුන්වි ඇති බවත් පරික්ෂණ සිදුකරනා පොලිසිය පවසයි.

සිහිමුර්ජාවි සිටි මරුණකරු සෙසු සේවකයන් විසින් වහාම ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් ඔහු පරික්ෂා කළ වෛද්‍යවරුන් කම්කරුවා මරණයට පත්වි ඇති බව තහවුරු කර තිබුණි.

කම්කරුව මියගිය ස්ථානයට අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම් ජයතිලක මහතා පැමිණ ස්ථානිය පරික්ෂණ සිදුකිරිමෙන් පසුව මරණයට හේතුව අනාවරණය කර ගැනීමට පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

මියගිය අය බුලත්විට විෂවීමෙන් මියගියේද එසේත් නැත්නම් වෙනත් රෝගයකින් මියගියේද යන්න පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව තහවුරු කර ගත හැකි බවත් අදාල ස්ථානයේ පිහිටි ආරක්ෂිත කැමරා වල දත්ත වලට අනුව ඔහුට වෙනත් අනතුරක් සිදුව නැති බව පොලිසිය පවසයි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධානා පොලිස් පරික්ෂක ඊ.එම් සංජීව මහනාම මහතාගේ උපදෙස් අනුව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ගුණසේකර මහතාගේ මෙහෙයවිමෙන් මරණය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකෙරේ.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Related posts