මහ වැස්ස තවදුරටත් – 1,30,672ක් පීඩාවට – බේරා ගැනීම් මෙහෙයුම් සදහා නාවික හමුදා කණ්ඩායම් 13ක්

දින දෙකක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ ඇති වූ ජල ගැලීම්, ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පාසල් සිසුවියක මියගොස් ඇති අතර දිවයිනේ දිස්ත්‍රික්ක පහකට අයත් පවුල් 31,303කට අයත් 1,30,672කට වැඩි  විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටින බස්නාහිර සහ දකුණු පළාත්වල ජනතාවට සහන සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සහන කණ්ඩායම් 13 ක් යෙදවීමට නාවික හමුදාව පියවර ගෙන  ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි..

බස්නාහිර පළාතේ ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල ගම්පහ, රාගම, මහභාගේ, කැළණිය, බුලත්සිංහල සහ පරගොඩ යන ප්‍රදේශ සහ දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තවලම, හිනිදුම, නාගොඩ, ඒප්පල, මාපලගම සහ අතුරලිය යන ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් ක්‍රියාත්මක වෙයි.

නාවික හමුදා සහන කණ්ඩායම් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුරට කොටුවී සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් දියත් කර තිබේ.

ගම්පහ නගරය ඇතුළු අවට නිවාස රැසක් දින 11 ක් තුළ දෙවන වරටත් ගංවතුර ගැලීම නිසා නගරවාසීහු දැඩි අපහසු තාවයට පත්ව සිටිති.

ඇතැම් නිවාස අඩි දෙකේ සිට අඩි පහ දක්වා ප්‍රමාණයට ජලයෙන් යටවී ඇත.

ජල බැස යන මාර්ග අවහිරවීම නිසා සාමාන්‍ය වර්ෂාවකදී පවා ගම්පහ නගරය මෙලෙස යටවීමට හේතුවී ඇති බවට ජනතාව චෝදනා නගති.

ගම්පහ නගර මධ්‍යයේ මාර්ග මෙන්ම නගරයට පිවිසෙන යක්කල මාර්ගය, මිනුවන්ගොඩ මාර්ගය සහ ජාඇල මාර්ගයද ජලයෙන් යටව පැවති අතර නගර මධ්‍යයේ ඇති පොලිස් අධිකාරී කාර්යාල භූමියද ජලයෙන් යටවී අත.

පුත්තලම දිස්ත්‍රික්කයේ ජලාශ හා වැව් සියල්ලම මේ වන විට වාන් දැමීමත්ස මග මෙසේ ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.

බොහෝ ප්‍රදේශ වල නිවාස අඩි තුනකට වැඩි ජල කදක් පැමින ජනතාව මෙසේ පිඩාවට කල්කර තිබු අතර නිවාස වල තිබු විදුලි උපකර හා ගෘහ භාණ්ඩ ආරක්ෂා කර ගැනිමට මහත් වෙහෙසක් ගෙන තිබුනී.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අත්තනගලු ඔය ද්‍රෝණියේ සහ කළු ගං ද්‍රෝණියේ ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබි ඇති බැවින් එම ද්‍රෝණිය තුළ නඩත්තු කරන ලද ගංගා ජල මාපකවල ජල මට්ටම ද ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇළ, කටාන යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වල දැනට පවතින ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

මේ අතර කළු ගං ද්‍රෝණියේ ද නඩත්තු කරන ගංගා ජල මාපාංකවල ජල මට්ටම විශ්ලේෂණය කිරීමේ දී හොරණ අගලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මදුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම්වල පවතින ගංවතුර තත්ත්වය ඉදිරි පැය 24 තුළ ද පවතිනු ඇත.

මේ පිළිබඳව අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මීට අමතරව කැලණි, ගිං, නිල්වලා, මහවැලි යන ගංගාවල ජල මට්ටම් ද මහඔයේ ජල මට්ටම් ද තවදුරටත් ඉහළ ගොස් තිබේ.

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ඩෙංගු උණ රෝගය තදින් පැතිර යාමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ජයසේකර මහතා පවසයි.

විශේෂයෙන් බස්නාහිර බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල ඩෙංගු උණ රෝගය තදින් පැතිර යා හැකි බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

මේ වසරේ ගෙවී ගිය කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7860 දෙනකු වාර්තා වී තිබෙන බව ද කී ඒ මහතා, මැයි මාසයේදී පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු උණ රෝගීන් 859 දෙනකු හමු වූ බව ද  කියයි.

Related posts