සති 2 ක් පළාත් අතර සංචරණය තහනම්

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පළාත් අතර පොදු ප්‍රවාහනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ලබන සැප්තැම්බර් මස 15 දායින් පසු පොදු ස්ථානවලට පැමිණීමේදී කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 2කම ගත් බවට සඳහන් කාඩ් පත ළඟ තබා ගැනීම අනිවාර්ය බවත් එසේ නැති අයට පොදු ස්ථානවලට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් බවත් හෙතෙම කීවේය.

එම කාඩ්පත ළඟ නැති පුද්ගලයන් පරීක්ෂාවට ලක් කරන බව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පැවති කොවිඩ් -19 පැතිරීම වැළක්වීම පිළිබඳ කාර්ය සාධක බළකා රැස්වීමේදී ගත් තීරණ දැනුම් දෙමින් යුද හමුදාපතිවරයා එසේ සඳහන් කළේය.

සෞඛ්‍ය, වරාය, බැංකු, ගුවන්තොටුපොළ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි සහ කෘෂිකර්මාන්ත සේවාවන්හි හා ආයෝජන මණ්ඩලය විසින් අනුමත ඇඟලුම් කම්හල්වල රැකියාවල නිරත පිරිස් හට පළාත් අතර ගමන් කිරීම සඳහා අවසර හිමි වන බව ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ කාර්ය මණ්ඩල සේවයට කැඳවීමේදී අවශ්‍යතාව අනුව අදාළ පළාතෙන් පිට පදිංචි සේවකයන් කැඳවීමේ බලය ආයතන ප්‍රධානීන්ට පැවරෙන බවත් පෞද්ගලික ව්‍යාපාරික ආයතනවල කාර්ය මණ්ඩල සේවයට කැඳවිය යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සේවා ස්ථානයේ ඉඩ ප්‍රමාණය සැලකිල්ලට ගෙන බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

එමෙන්ම අවන්හල්, සාප්පු සංකීර්ණ සහ වෙළෙඳසල් පවත්වාගෙන යෑමේදී දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතු බවද යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

Related posts