සම්බුදු තෙමඟුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය අද

wesak

සම්බුදු තෙමඟුල සිහි කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

බුදු වී ලොව වැඩ සලසන්නැයි නමස්කාර පෙරදැරිව කළ දේවාරාධනය පිළිගත් බෝසතුන් කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව යන පංච මහා විලෝකනයන් විමසීමෙන් පසු අද වැනි වෙසක් පුරපසළොස්වක පෝහෝ දිනක දඹදිව ලුම්බිණි සල් උයනේදී උපත ලැබූහ.

සත් පියුම් මතින් සත් පියවරක් පෙරට ගිය සිදුහත් කුමරුන් තමා තුන්ලෝකාග්‍ර වන බවට එහිදී සීහ නාද පැවැත්වූහ.

ඉක්බිති සතර පෙරනිමිති දැක ගිහි ගෙයින් නික්ම ගිය සිදුහත් බෝසතානන් වහන්සේ බුද්ධ ගයාවේ ඇසතුමහා රුක් සෙවණේ භාවනාවට සම වැදුණේ සියලු සත්ත්වයන් සසර දුකින් මුදවා ගැනීමේ අදහස පෙරදැරිවයි.

එහිදී උන්වහන්සේ සියලු කෙලෙස් නසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් අද වැනි උතුම් වෙසක් පුන් පොහෝ දිනයක සම්බුද්ධත්වයට පත් වූහ.

සියලු සංස්කාර ධර්මයන් නැසෙනසුලු බැවින් අප්‍රමාදව කුසල් දහම්හි යෙදෙන්නැයි, සිය අවසන් බුද්ධ වචනය දේශනා කළ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයණේදී අනුපදිශේෂ පරිනිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පා වදාළහ.

එමෙන්ම වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකා වාසීන්ට ශාසනික සංස්කෘතික හා සාමාජීය වශයෙන් වැදගත් සිදුවීම් රැසකට මුල් වූ දිනයක් වන අතර බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදු වන්නේ ද අද වැනි දිනකයි.

එහිදී උන්වහන්සේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළ අතර අනතුරුව සුමන සමන් දෙව් රජුන්ගේ ආරාධනයෙන් සමනල කඳු මුදුණේ සිරිපා සලකුණු තැබුවේ ද අද වැනි උතුම් දිනක ය.

මෙරට ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වන විජය රජු ඇතුළු සත් සීයක් පිරිස සිරිලකට පැමිණෙන්නේ ද වෙසක් පුන් පොහෝ දිනයක බව වංශ කතාවල සඳහන් වේ.

ලොව පුරා පවතින ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් නිවෙස් තුළම රැඳී සිටිමින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සිදුව තිබේ.

බෞද්ධ වත්පිළිවෙත්වලට මූලිකත්වය ලබාදෙමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මෙවර වෙසක් උත්සවය සැමරීමට  පියවර ගන්නා ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසරේ මෙන්ම මෙවර ද ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් සාමූහික පිංකම්වල නියැලීමට ඇති අවස්ථාව සෞඛ්‍ය අංශ නිර්දේශ මත තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති බවය.

එහෙත් උතුම් තෙමඟුල සිහිකිරීමට තම තමන්ගේ නිවෙස්වල රැඳී සිටිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගේ යෙදීමට එය බාධාවක් නොකරගත යුතු බව ජනාධිපතිවරයා පවසයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්‍යයන්ගේ ජීවිතවල ආරක්ෂාවත් යහ පැවැත්මත් උදෙසා කැපවීම මෙම වසංගතය හමුවේ අපගේ සමාජ යුතුකම මෙන්ම බෞද්ධයාගේ උතුම් ගති ලක්ෂණ ලොවට ආදර්ශයෙන් පෙන්වාදීමට මෙය අවස්ථාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ බෞද්ධ දර්ශනයේ එන ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගැනීමටත් බුදුන්වහන්සේ වඩාත් අගය කොට සැලකු ප්‍රතිපත්ති පූජාවන්ට නැඹුරුවීමටත් මෙම කාලය වඩාත් යෝග්‍ය බවය.

මේ අතර වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබේ.

සොබාදහමට හිතැතිව ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් බුදු තෙමඟුල සැමරීම බුදු දහමේ සැබෑ අරුථ පසක් කරවන්නට හේතු වන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය සර්වකාලීන දහමක් බව මුළු මහත් ලෝකවාසීන්ම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සිටින මේ මොහොතේ සනාථ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ වෙසක් දින පණිවුඩයේ සඳහන්ය.

Related posts