සුඛෝපභෝගී වාහන අමතර කොටස් ගලවන හොරෙක් මාට්ටූ

ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මහරගම,හෝමාගම, කොට්ටාව හා නුගේගොඩ, මිරිහාන පොලිස් වසමේ  විජේරාම හන්දිය, දෙල්කඳ හන්දිය වැනි නගරයන් ආශ්‍රිතව පිහිටා ඇති මහා පරිමාණ වාහන අමතර කොටස් අලෙවි කිරීමේ වෙළඳසැල් රාත්‍රී කාලයේ දී බිඳුම් කර නවීන පන්නයේ සුඛෝපභෝගී වාහන වල විදුලි පහන් සහ අමතර කොටස් සොරා ගැනීම් හා මහ මග නවතා ඇති වාහන වල විදුලි පහන් ගලවා ගන්නා පුද්ගලයෙක්  තලවතුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර සුඛෝපභෝගී වාහන වල ඉදිරි ප්‍රධාන ලාම්පු කට්ටල් හා පිටුපස ලාම්පු කට්ටල් මෙන්ම අධික වටිනාකම් වලින් යුක්තවූ විවිධ මාදිලියේ අමතර කොටස්, නවීන කාර් රථ වල ඉදිරි ෂෙල් උපකරණ තොගයක් සොයා ගත් බවත් සැකකරු විසින් අමතර කොටස් විකිණීමේ වෙළඳසැල් 20ක් හා වාහන අලුත්වැඩියා කරන ගරාජ තුනකටත් ඇතුළු වී මෙම සොරකම් සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.
මාස එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ වාහන අමතර කොටස් අලෙවි කිරීමේ ස්ථාන රාශියක් බිඳුම් කිරීම් සම්බන්ධයෙන් හා මහ මග නවතා ඇති නවීන පන්නයේ වාහන වල පැති කණ්නාඩි, විදුලි පහන් සොරෙන් ගලවා ගෙන යන බවට ලැබුණු පැමිණිලි මෙන්ම  වාහන අලුත්වැඩියා කරන ගරාජයන් වල  තිබූ වටිනා භාණ්ඩ සොරා ගෙනගොස් ඇති බවට පැමිණිලි රාශියක් ලැබී තිබුනු බැවින් සීසීටීවී කැමරා දර්ශන ද උපයෝගී කරගනිමින් සිදුකළ විමර්ශන වලින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද  පොලීසිය පවසයි.
වයස අවුරුදු (25)ක් වන මෙම සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙක් බවත් පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ විස්සකට (20)කට ආසන්න සුඛෝපභෝගී වාහන වල ඉදිරිපස හා පිටුපස විදුලි පහන් හා වාහන අමතර කොටස් තොගයක් සොයා ගැනීමට හැකි වූ බව ද පොලීසිය පැවසීය.
සැකකරු මීට පෙරද මෙවැනිම සොරකම් සිදුකිරීම හේතුව වරෙන්තු 12ක් ඇති පුද්ගලයෙක් බවත් වාහනවලින් සොරාගන්න විදුලි පහන් හා පැති කණ්නාඩි මෙන්ම ආයතන වලින් සොරාගන්නා විදුලි පහන් සහ වාහන අමතර කොටස් ඉතාම අඩු මුදලට විකුණා එම මුදලින් මත්කුඩු පානය කර ඇති බවද බව ද පොලීසිය විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව ද පොලීසිය පැවසීය.
සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු හා පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන්  අසංක, නුගේගොඩ කොට්ඨාස කලාප 01 බාර පොලිස් අධිකාරී කුමාර  රූපසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජේ.කේ.ජී හේවගේ මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් 69080 ප්‍රමිල, 76917 සෙනෙවිරත්න, 85163 හේරත්, පොලිස් කොස්තාපල් රියදුරු 3715 කුමාර යන  නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Related posts