ශ්‍රී ලංකාව තුළ එන්නත් නිපදවීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්

කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය මඟ හරවා ගෙන ජන ජීවිතය නැවත සාමාන්‍ය තත්වයට පත් කිරීම සදහා ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින පසුබිමක එන්නත්කරණය කිරීම හා ශ්‍රී ලංකාව තුළ එන්නත් නිපදවීම සම්බන්ධව අදාළ වන්නාවු නීතිමය තත්වය පිළිබදව විශේෂ සාකච්ඡාවක් ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමාගේ සහභාගිත්වයෙන්  අධිකරණ අමාත්‍යාංශයේදි පැවැත්විණි

මෙරට ජනතාව එන්නත්කරණය කිරීම හා ශ්‍රී ලංකාව තුළ එන්නත් නිපදවීම සම්බන්ධව අදාළ වන්නාවු නීතිමය තත්වය පිළිබදව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, එහිදී ප්‍රකාශ වුයේ මෙම වසංගතය අවසන් කිරීමට හා මර්දනය කිරීමට හැකි හොදම විසදුම වන්නේ එන්නත්කරණය සාර්ථකව නිම කිරීම බවත්, එන්නත් සඳහා ලෝකයේ විශාල ඉල්ලුමක් පවතින බැවින් දෛනිකව ඒවායේ මිළ ඉහල යන බවත්, දේශීයව ඒවා නිපදවීම තුළින් මෙරටට විශාල මුදලක් ද ඉතිරි කර ගත හැකි බවත් මෙහිදී අදහස් පළ විය.

එන්නත්කරණය කඩිනම් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් අතර, එන්නත් දේශීයව නිෂ්පාදනය කිරීම හරහා අගෝස්තු මාසය වන විට එන්නත් මිලියන 06 ක් හා සැප්තැම්බර් මාසය වන විට එන්නත් මිලියන 07 ක් ලෙස නිපදවීමේ ශක්‍යතාව ඇති බවත් ආනයනය කරනු ලබන එන්නත් ප්‍රමාණය සමග මෙකී ඉලක්ක සපුරා ගතහොත් සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙරට ජනගහණයෙන් සැළකිය යුතු ප්‍රතිශතයකට එන්නත්කරණය කළ හැකි බවත් එය වසංගතය මර්දනය කිරීමට විශාල පිටුබලයක් වන බවත් මෙහිදී සදහන් විය.

අදාළ එන්නත් ශ්‍රී ලංකාවේ නිපදවීමට අවශ්‍ය කටයුතු සලසාදීම සදහා අවශ්‍ය නීතිමය ගිවිසුම් සකස් විය යුතු ආකාරය පිළිබදව නීතිපති දෙපාර්තමේන්තුවේ, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමග මෙහිදී අදහස් හුවමාරු විය.

මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක,  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත යන මහත්වරුන් හා නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නියෝජනය කරමින්  නිලධාරීන් එක් වුහ.

Related posts