අයහපත් කාලගුණය 16කට මරු කැඳවයි

wasiapada

දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ 16 ක් සිදුවී තවත් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

රත්නපුර, පුත්තලම, කෑගල්ල, ගම්පහ, කොළඹ, පුත්තලම සහ කළුතර දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වී ඇත.

නායයාම්, නිවෙස් මතට පස් කඳු කඩා වැටීම් සහ ජලයේ ගිලීම හේතුවෙම් මෙම මරණ සිදුව ඇත.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක පවුල් 67,564කට අයත් 2,70,912 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල ප්‍රදේශයේ ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් විපතට පත්ව සිටි තවත් කුඩා ළමුන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 27 දෙනෙකු  නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනීමෙන් පසු කඩිනමින් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, පවතින ගං වතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්ට අයත් ගං වතුර අවදානම සහිත ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 33ක් ආපදාවට පත් මහජනතාව ඉන් මුදා ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය අනෙකුත් සහන සැලසීමේ  කටයුතු වල තවදුරටත් නිරතව සිටියි.

තවද, ගං වතුරෙන් විපතට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත කඩිනමින් යොමු කිරීමට තවත් අතිරේක සහන කණ්ඩායම් සූදානම්ව තබා ඇත.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකිය.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Related posts