බුලත්සිංහල ජනතාවට බීමට මඩ වතුර

වසරේ වැඩිම කාලයක් වර්ෂාවෙන් හා ගංවතුරින් බැටකන, බුලත්සිංහලට ජනතාවට වැස්සක් වැස්ස ගමන් බොර වතුර බොන්නට සිදුව ඇතැයි“ බුලත්සිංහල නාගරික සංවර්ධන පදනමේ ජල පාරිභෝගිකයෝ චෝදනා කරති. ලංකාවේ හොදම ජලය කළු ගග ජල ව්‍යාපෘතිය මගින් අගනුවරටත්, දකුණු පළාතටත් රැගෙන යයි. බුලත්සිංහල පිරිසිදු වතුර ටික පිට පලාත්වලට රැගෙන යන අතරතුර බුලත්සිංහල ජනතාවට මඩ වතුර බොන්නට සිදුව ඇතැයි‘, බුලත්සිංහල ජනතාව කියති.

බුලත්සිංහල නගරය, බුලත්සිංහල බටහිර , ගලහේන, කරල් දැක්ම, බුලත්සිංහල දකුණ, මොරවක වත්ත, දඹල, ගමගෙ වත්ත, පාරු තල්විල, හා පරගොඩ ඇතුළු ග්‍රාම සේවා වසම් අටක ගම්මාන රැසක ජල පාරිභෝගිකයින් 1548 දෙනෙකු මගින් බුලත්සිංහල ප්‍රදේශයේ පුද්ගලයින් හත් දහසක්, අට දහසක් පමණ දෙනාට පානිය ජලය සපයන්නේ බුලත්සිංහල නාගරික සංවර්ධන පදනම මගින් පාලනය වන ප්‍රජා ජල ව්‍යාපෘතිය මගිණි.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ රුපියල් එක්නෝටි අසු හතර දහසක මුදලක් සහ ප්‍රජා දායකත්වය ලබාදි 1999 වසරේදි ආරම්භ කර 2000 වර්ෂයේදි පාරිභොගිකයින් 800 දෙනෙකුට ජල පහසුකම් ලබාදි ඇරඹි ජල ව්‍යාපෘතියේ වර්තමාන පාරිභෝකයින් ගණන 1548 දෙනෙකි. බුලත්සිංහල, නාගහදොළ, පාණි ඇල්ලේ සිට කිලෝමිටර එකොලහමාරක් දුර ගෙන එන ජලය බුලත්සිංහල නගරයේ ඇති පිරිපහදු මධ්‍යස්ථානයෙන් පිරි පහදු කොට නළ මගින් බෙදා හැරිම සිදු කෙරෙයි.

බුලත්සිංහල නගරයේ හෝටල, ආපනශාලා ඇතුළු ව්‍යාපාරික ආයතන 103 කටත් රෝහල, පොලිසිය,ප්‍රාදේශිය සභාව, සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, පාසල් විහාරස්ථාන ඇතුළු රජයේ හා පෞද්ගලික ආයතන සියල්ලට පානිය ජලය සපයන්නේ බුලත්සිංහල නාගරික සංවර්ධන පදනමේ ප්‍රජා ජල ව්‍යාපෘතියෙනි.

බුලත්සිංහල ප්‍රාදේශිය සභා මන්ත්‍රි – ඩබ්ලිව්. ඒ. දීපාල් මහතා.

බුලත්සිංහල තියෙන හොදම වතුර ටික කළු ගග ජල ව්‍යාපෘතිය මගින් කළුතර, බේරුවල. මොරටුව, පානදුරට සහ රටේ අනෙත් පලාත්වලට ගෙන යනවා. අවුරුදු ගණනාවකට පෙර හදපු ප්‍රජා ජල ව්‍යාපෘතියෙන් බුලත්සිංහල ජනතාවට මඩ වතුර බොන්න සිදුවෙලා තියෙනවා. අවුරුදු විස්සකට විතර පෙර දාල තියෙන යකඩ බට දිරල, මළකඩ හැදිල.ඒ විතරක් නෙමෙයි මේ ප්‍රජා ජල ව්‍යපෘතියට ජලය සපයන ජල මුලාශ්‍රයේ ජල පෝෂක ප්‍රදේශ විවිධ කටයුතුවලට එළි පෙහෙළි කරල වර්ෂාවට ජල මුලාශ්‍රයම බොර වෙනවා.

ඊට පස්සෙ අපට බොර වතුර බොන්න සිදුවෙනවා. මෙතන ජලය පිරි පහදුව නිසි ප්‍රමිතියෙන් සිදුවෙනව නම් වර්ෂාවෙන් පස්සෙ බොර වතුර එන්නෙ නැහැ. මේ නිසා රුපියල් කෝටි අටක මුදලක් ගමට ජලය ලබා ගැනිම සදහා රජයෙන් අනුමතවෙලා තියෙනවා. එම මුදල වැය කර කළු ගග යෝජනා ක්‍රමය බුලත්සිංහල නගරය දක්වා දිර්ග කල යුතුයි. මොකද මේ තියෙන ජල ව්‍යාපෘතියට තව මුදල් දැම්මත් එයින් දිමට හැකි ජල පාරිභෝගික ප්‍රමාණය වැඩිවෙන්නෙ නැහැ. මොකද දැනටත් ඉන්න පාරිභෝගික පිරිසටත් ජල මුලාශ්‍රයේ තිබෙන ජලය ප්‍රමාණවත්නෑ.

විශ්‍රාමික ග්‍රාම නිළධාරි සුමනදාස උඩුකල මහතා.

මේ ප්‍රජා ජල ව්‍යාපෘතියේ ආරම්භක සාමාජිකයෙකු ලෙස මේ පිළිබද දිගු කාලයක සිට එහි කටයුතු වලට මුහුණ දෙමින් සිටිනවා. ආරම්භකලේ පුද්ගලයින් 800 කට පමණ ජලය දෙන්නයි. නමුත් මේ වන විට ඒ ප්‍රමාණය දෙගුණ වෙලා තියෙනවා. කොහොමටත් මේ ජල ව්‍යාපෘතිය මේ ප්‍රදේශයට ප්‍රමාණවත් නෑ.

අනෙක මේ සිදුකරන ජල පිරිපහදුව විද්‍යාත්මක තත්වයෙන් සිදුවෙනවනම් වැහි වෙලාවලදි බොර වතුර පාරිභෝගිකයින්ට එන්න බෑ. මේ ෆිල්ටර නියමානු කළ යුතුය, මේ ජලයේ පි.එච් අගය වැනි තත්වයන් ප්‍රමිතියෙන් තියෙනවද..මේ ගැන ගැටළු තියෙනවා.විශාල ජනතාවකට ලබාදෙන මේ ජලය පිළිබද මිට වඩා ලොකු වගකිමක් තිබිය යුතුයි.

මේක මොන ආකාරයට ප්‍රතිසංස්කරණය කලත් ජල මුලාශ්‍රය කොහෙත්ම ප්‍රමාණවත් නෑ. ඇල්ල අවට විවිධ ආකාරයට එළිපෙහෙළි කරල, දොළ රක්ෂිතය විනාශකරල වර්ෂාවට ඇල්ල මඩ වගුරක් වෙනවා. කොහොමටත් අපේක්ෂිත පාරිභෝගිනයින් සදහා මෙහි ජලය ප්‍රමාණවත් නැහැ. එම නිසා දැනට අනුමත වෙලා තියෙන රුපියල් කෝටි අටක මුදල යොදල කළු ගග ව්‍යාපෘතිය බුලත්සිංහල දක්වා දීර්ග කල යුතුයි. එවිට විශාල පිරිසකට ජලය දෙන්න පුළුවණි.

බුලත්සිංහල නාගරික සංවර්ධන පදනමේ නඩත්තු හා සේවා අංශ ප්‍රධානී – නන්දන ජයසිංහ මහතා.

මේ ජල ව්‍යාපෘතියේ නළ වලට වසර විස්සක් විතර වෙනවා. අගල් හය, හතර බට ඇතුලෙ රොන්මඩ බැදිල නිසා මේ වන විට එන ජල ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. යකඩ බඩ දාල තියෙනවා. බොහෝ ඒවයේ ඇතුළත මළ බැදිල තියෙනවා.මේ නිසා නළ පද්දතිය අළුත් කල යුතුයි.ජල මුලාශ්‍රය ප්‍රදේශයේ සිදුවන පරිසර හානි සමග වර්ෂාවට ඇල්ල බොර වෙනවා. ඒ බොර වතුර ගබඩා කරල ටික වෙලාවක් තියා ගන්න පුළුවන් නම් රොන් මඩ ස්ටොක් ටැංකිවල තැන්පත් වෙනවා.

නමුත් අපට ප්‍රමාණවත් තරම් ජලය නැති නිසා ඇල්ලෙන් එන ජලය ගබඩාකර තබාගන්න පෙර පිරි පහදු කරල බෙදා හරින්න සිදුවෙලා තියෙනව. ඒ නිසා වර්ෂා වෙලාවලදි ජලයේ පැහැය වෙනස් වෙනවා. නමුත් අපි නිසි ප්‍රමිතියට පිරි පහදු කරනවා. ක්ලෝරින් කරණය කරනවා. දෛනිකව පරික්ෂා කරනවා. මාසිකව ජලය පරික්ෂා කිරිම් කරනවා. නිසි ප්‍රමිතියෙන් යුතුව ජලය ලබා දෙනවා. නළ පද්දතිය අළුත් කලොත් මේ ගැටළු විදදෙනවා.

බුලත්සිංහල නාගරික සංවර්ධන පදනමේ සභාපති – බුලත්සිංහල ඥාණාලෝක පිරිවනේ අධ්‍යක්ෂක, බුලත්සිංහල ප්‍රාදේශීය සභා සභාපති -යටගම් පිටියේ ඤාණාලෝක හිමි.

මේ ජල ව්‍යාපෘතියට දැං අවුරුද් 20 ක් වෙනවා. නිග්ගහ පානි ඇල්ලෙ ඉදල කිලෝ මිටර් 11 දුර ගෙනල්ල ගබඩා ටැංකිවල දාල පිරිපහදු කරලයි බෙදන්නෙ.පසු ගිය දිනවලත් මේ නළ අළුත් වැඩියා කළා. මෙතන ෆිල්ටර් තියෙනවා. ඒ නිළධාරින් නිසි අධික්ෂණයෙන් යුතුව ඒක කරනවා. මාසිකව ජලය සෞඛ්‍ය අංශලවා පරික්ෂා කරවනවා. ඇල්ල අවට ප්‍රදේශයට බලපත් දිල කැලෑව කැපිම නිසා වර්ෂාවට බොර වෙනවා. නමුත් නිසි ලෙස ෆිල්ට කරලයි දෙන්නෙ.ඒවායෙ කිසි ප්‍රශ්නයක් නෑ.මඩ නෑ. පාට වෙනස්වෙන්නෙ අර බොර වතුර නිසයි. සමහරු දන්නෙ නෑ මේ වතුර එන්නෙ කොහෙමද කියල.

මේ ජල නළ ඇතුලත මළතඩ බැදිල, සමහර ඒව හිල් වෙලා. මේව අළුත් කළ යුතුයි.ගමට ජලය ලබා ගැනිම සදහා අපි මේ වන විට රුපියල් කෝටි අටක මුදලත් අනුමත කරගන තියෙනවා. මම යොජනාකරන්නෙ මේ මුදලින් නළ පද්දතිය අළුත් වැඩියා කල යුතු බවයි.

එස්. පොද්දෙණිය – මිගහතැන්න

Related posts