යතුරු පැදි හා ත්‍රීරෝද රථ සොරකම් කල අයෙකු අල්ලයි

කොරෝනා වසංගතය පවතින කාලයේ බොරලැස්ගමුව, තලංගම, බොරැල්ල යන පොලිස්බල ප්‍රදේශවල සහ දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල යතුරු පැදි සහ ත්‍රීරෝද රථ සොරකමේ නියැලෙන පුද්ගලයෙකු සොරකම් කර තිබූ  ස්කූටර් වර්ගයේ යතුරු පැදි දෙකක් හා ත්‍රීරෝද රථයක් සමගින් මාලබේ අරංගල ප්‍රදේශයේ සැඟව සිටියදී  අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
මෙම පුද්ගලයා බොරලැස්ගමුව පොලිස් වසමෙන් සොරාගත් යතුරුපැදියක් ධාවනය කරමින් සිටියදී පිලියන්දල, පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අනතුරකට ලක් වීමත් සමග එය අතහැර පලාගොස් තිබූ බවත් තලංගම පොලිස් වසමේ මාර්ගයක් අසබඩ නවතා තිබූ යතුරු පැදියක් සොරකම් කර එම යතුරු පැදියෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසට ගොස් නැවත පැමිණීමේදී ගොඩකවෙල නගරයේදී  අනතුරකට ලක්වී බරපතළ තුවාල ලබා ගොඩකවෙල රෝහලටත් එම රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලටත් මෙම පුද්ගලයා ඇතුළත් කර තිබියදී රෝහලේන් හොර රහසේ පැනගොස් තාවකාලිකව පදිංචිව සිටින මාලබේ නිවසේ සිට ඇති බවත් මත්කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා බොරැල්ල ප්‍රදේශයට කුලී ත්‍රිරෝද රථයකින් ගොස් නැවත පැමිණීමට වාහනයක් නොමැතිකමින් බොරැල්ල  ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සොරාගෙන නිවසට පැමිණ ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය.
සොරා ගෙන පැමිණි  ත්‍රීරෝද රථය අරංගල,10 කනුව ප්‍රදේශයේ  පිහිටි  ඇළ මාර්ගයක් අසබඩ ලඳු කැලෑවක සඟවා තිබියදී සොයාගත් බවත් පරීක්ෂණ සිදුකල බොරලැස්ගමුව පොලීසියේ නිලධාරීන්  පැවසීය.
සැකකරු (27) වන වියේ පසුවන මාලබේ, අරංගල, රණවිරු මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් තදින්ම හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවෙකු බවත් දැනට තාවකාලිකව පදිංචිව සිටින නිවසේ අනියම් බිරිඳක් සමග වාසය කරන බවත් පොලීසිය පැවසීය.
අතුරුගිරිය ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි හලකින් සොරාගත් ජංගම දුරකථනයක් බොරැල්ල ප්‍රදේශයේ  පුද්ගලයෙකුට විකුණා එයින් ලබාගත් මුදලින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලට ගෙන බොරැල්ල කොටා පාර ප්‍රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක් සොරාගෙන නිවසට පැමිණ ඇති බවත් මූලික විමර්ශනවල දී අනාවරණයවූ බවද පොලීසිය පැවසීය.
සැකකරු හලාවත, ආඬිගම ප්‍රදේශයේ සැඟව සිටින බවට පොලිස් කොස්තාපල් විපුල විමලරත්න මහතාට ලද රහසිගත තොරතුරක් මත හලාවත ප්‍රදේශයට ගොස් පුද්ගලයා පිළිබඳ සිදුකළ සෝදිසයෙදී අනාවරණයවී ඇත්තේ හලාවත ප්‍රදේශයෙන් පැනගොස් මාලබේ ප්‍රදේශයේ කුලී නිවසක සැඟව සිටින බවය ඒ අනුව පරීක්ෂණ ආරම්භකර සැකකරු අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පැවසීය.
සොරකම් කරන ලද යතුරු පැදි අනතුරු වලට ලක්වීමෙන් දැඩි අලාභ හානි සිදුව ඇති බවත් සොරාගත් යතුරුපැදි හා  ත්‍රීරෝද රථයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට ආසන්න බවත් පොලිසිය පවසයි.
සැකකරු 2017 වර්ෂයේ ත්‍රීරෝද රථ සොරකමක් සම්බන්ධයෙන් වරදකරුවී රක්ෂිත බන්ධනාගාර ගත කර සිට වසර තුනහමාරකට පසුව නිදහස්වී පැමිණ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම වරදක් හේතුවෙන් 2021 වසරේදී දින 28 ක් රක්ෂිත බන්ධනාගාර බන්ධනාගාර ගතව සිට පැමිණි පුද්ගලයෙකු බවත් එසේ පැමිණ නැවත නැවත සොරකම් සිදුකර ඇති බවත් පොලිසිය පවසයි. මෙවැනිම ආකාරයේ තවත් සොරකම් සිදුකර ඇත්දැයි පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය පැවසීය.
සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ, නුගේගොඩ කලාප 01 බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කුමාර රූපසිංහ යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත  බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී විජේරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජනිත මධුශංක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 36763සමන් පොලිස් කොස්තාපල් 51857 විපුල, 68832 අමරසිංහ, 94956 සඳරුවන්, 96878 වීරසිංහ, කාන්තා පොලිස් කොස්තාපල් 11753 කරුණාරත්න යන නිලධාරින් විසින් පවත්වනු ලබයි.
සමීර  අබේසිංහ – බොරලැස්ගමුව

Related posts