පෝලීම්වල නොසිට රස්තියාදු නොවී කොරෝනා එන්නත ගන්න විදිය

corona-vaccline

පහත දැක්වෙන්නේ මාධ්‍යවේදී මහින්ද රූබසිංහ සිය ෆේස්බුකියේ තැබූ සටහනකි. එමඟින් ශ්‍රී ලංකාවේ එන්නත්කරණය ගැන තුන්වැනි ඇසකින් විවරණය කර තිබේ.

ඇති හැකි දේශපාලන හා නිලධාරි සබඳතා ඇති මිනිස්සු බලපුළුවන්කාරකමින් වැක්සින් එක ලබා ගන්න බව කියවෙන සටහන් රැසක් දුටුවා. ඒ අතර ලොකු වගේම පොඩි විනයගරුක මිනිස්සු පිරිසක් පැය 6-7 ක පෝලිමේ ඉඳලා වැක්සීන් එක ගහගෙන තිබෙනවා. බලපුළුවන්කාරකමට මෙන්ම පෝලීම්වල සිට රස්තියාදු වී එන්නත ගන්න වෙලා තියෙන එකත් කනගාටුවට කරුණක්. ඒක වත්මන් ලංකාව ගැන යම් කියවීමක් සඳහා කදිම උදාහරණයක්.

ලොකුම ප්‍රශ්නය තිබෙන්නේ System හදන බවට පාරම්බාපු ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගැන. උගත්, බුද්ධිමත්, වියත් උන්දලා”වියත්මග”, “එළිය” වගේ අහසින් බට සංවිධාන හදාගෙන ටයිකෝට් දමා, පුයර උලාගෙන රට ගොඩනංවන හැටි, රටේ System හදන හැටි, සාධාරණ සමාජයක් ගොඩනංවන හැටි කියූ වගත් මතකයි. ඔවුන් වියත්මගින් තම මග හදාගෙන ඇති නිසාත් එළියෙන් තම ජීවිත එළිය කරගෙන ඇති නිසාත් ඒ කතා අමතක ඇති. නැත්නම් එදා කියූ අති සංවේදී කතා ඔක්කොම බොරු වෙන්න ඕන.

කොරෝනා රෝගීන් ලංකාවෙන් වාර්තාවෙන්න පටන් ගෙන දැන් වසරකටත් වඩා වැඩියි. පෑණි වගේ දේවල් පස්සේ ගියත් මේකට ගොඩ යන්න තියෙන එකම විසඳුම වැක්සීන් එක කියලා රටේ නායකයගේ ඉඳලා සියල්ල දන්නවා. එහෙම තියෙද්දි ඒක හදන්න බැරි අපට තියෙන්නේ කාගෙන් හරි ගන්න එක සර්වසාධාරණ විදියට මිනිස්සුන්ට හරියට වෙලාවට දෙන එක. අපි ලොකු රටක් නොවෙයි. වැක්සීන් අරගන්න හැකිවී තිබෙන්නෙත් ඉතා සීමිත ප්‍රමාණයක්. වසරක කාලයක් පොල් නොගා සිට සිස්ටම් චේන්ජ් කරනවා යැයි කියූ අයට ඒ ටික මිනිස්සුන්ට දෙන්න වැඩපිළිවෙලක් හදාගන්න බැරි වී තිබෙනවා.

මිනිස්සු උකටලීව පෝලිම්වල. එන්නත් පොකුරු බිහිවෙන්නත් බැරි නෑ. දකින අසාධාරණකම් හමුවේ ඌරුජුවල් එනකොට තව තවත් ඌරුජුවාලා කොස්ගොඩ තාරකලා බිහිවෙන එකත් අහන්න දෙයක්ද?

මම දැනට ජීවත්වන මහා බ්‍රිතාන්‍යයේ නායකයන් වැක්සීන් එකක් වෙනුවෙන් තත්පරයක් ගානේ සිතුවා. ඒක හදන එක ගැන විතරක් නොව දෙන එක ගැනත් සැලසුම් කළා. එන්නත එළියට එන විට එය ලබාදීම සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් වගේම ප්‍රමුඛතාව මත එන්නත්කරණය සිදුකිරීමට අවශ්‍ය සැලසුම් හදා තිබුණා.

කෝටි හයකට වැඩි ජනගහණයක් ඉන්න රටේ සියල්ලන් තම වාසය කරන ප්‍රදේශයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ලියාපදිංචි කර ඇති බැවින් සහ ඔවුන්ගේ සියලු තොරතුරු පද්ධතියේ ඇතුලත් බැවින් කඩින්මින් ක්‍රියාත්මක වීම ගැටළුවක් නොවෙයි. මේ නිසාම පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා කෝටි තුන හමාරකට වඩා එන්නත ලබාදී අවසන්.

ප්‍රමුඛතා ලයිස්තු වයස, අවධානම් රෝග සහිත පුද්ගලයින් (Underline Health Condition) සහ අත්‍යවශ්‍ය සේවයේ නියුතුවූවන් (Key Workers) යන පදනම මත සකසා තිබෙනවා. එය බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවයේ (NHS) රාජකාරියක්. ඊට කිසිවෙකුට බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ.

කැඳවීමක් මත තමන්ගේ වාරය ආවිට කලබලයක් නැතුව ගිහින් නිදහසේ එන්නත ලබා ගන්න ඕනෑම කෙනෙකුට අවස්ථාව හිමිව තිබෙනවා. දිනකදි දසදහස් ගණනින් කොවිඩ් රෝගීන් වාර්තා වෙද්දිත් දහස් ගණනක් මිය යද්දිත් තමන්ගේ වාරය එනතෙක් කිසිදු කලබලයක් නැතිව මිනිස්සු ඉන්නේ මෙහි ඇති සාධාරණත්වය සහ විනිවිදභාවය නිසයි. දියුණු රටවල කිසිදු දේශපාලන බලවතෙක් පෝලිම් පැන එන්නත ගන්නේ නැහැ. විශේෂ අවශ්‍යතා ඇති අය තෝරා ගන්නේ සෞඛ්‍ය බලධාරීන්. ඒත් ලංකාවේ ඒක හාත්පසින් වෙනස්.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදි ඊයේ දින කලාකරුවන්ට සහ මාධ්‍යකරුවන්ට වැක්සීන් එක ලබාදී තිබුණා. එහි ගිය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ කතාව නිවේදනයක් ලෙසද නිකුත් කරතිබෙනු දුටුවා. ඒත් ඔවුන්ට එන්නත කලින් ලබාදීමට හේතුව කුමක්ද? ලෝකයේ කොහේවත් නොමැති වැක්සීන් ලබාදීමේ මාදිලියක් ලංකාවේ ක්‍රියාත්මක බවට මෙය හොඳම උදාහරණයක්.

සාහිත්‍යකරුවෙකු වන Buddhi Galappatty මහතාද තමන් පැය 6 ක් පමණ පෝලිමේ සිට එන්නත ලබාගත් බව කියා තිබුණා. ඇත්තටම අපට එහෙම වෙන්නේ ඇයි? “අපේ රටට පහසුකම් නැහැ. අපේ රාජ්‍ය සේවය ඔහොම තමයි. ජනාධිපතිගේ හෝ ආණ්ඩුවේ වරදක් නැහැ” යැයි ලංකාව සම්බන්ධයෙන් නිදහසට කරුණු කියන්න දැන් බැහැ. මේවා දුප්පත්කමේ ප්‍රශ්නයකට වඩා නොහැකියාව පිළිබඳ ප්‍රශ්නයක් බව නොතේරෙන කෙනෙක් නැතුව ඇති.

සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ යුගයේ සහල් පෝලිම් වගේ කොරෝනා එන්නත් පෝලිම් හැදෙන්නේ අපි රිවර්ස් රාජ්‍යක සිටින නිසාමයි. තමන්ටත් වැක්සීන් එක දෙන්නැයි නැති බැරි මිනිසුන්ට යදින්න වීම මානව ගරුත්වයට, ආත්ම අභිමානයට කරන නිග්‍රහයක් ලෙසයි මා නම් දකින්නේ.

බලාපොරොත්තු සුන්වුණු හා අසහනකාරි මානසිකත්වයට වගකිව යුත්තේ අසමත් බලධාරීන්. නිසික්‍රමවේදයකට වැක්සීන් එක ලබා දුන්නේ නම් සංචරණ සීමා පවා අවශ්‍ය නොවන්න තිබුණා. දැනට ඇති හැකි මිනිස්සු දෑනහැඳුනුම්කම් මත කොළඹට පැමිණ එන්නත ලබා ගන්නවා. සාමාන්‍ය මිනිස්සු හූල්ලනවා. ඒත් අපත් ඡන්දයක් එන විට මේ අතීතය අමතක කිරීමයි ගැටළුව.

අනෙක් අතට දේශපාලන පළිගැනීම් කිරීමට කඩිනමින් System සකසා ගැනීමටත් එක රැයෙන් දෙකෙන් හදිසි පනත් සම්මත කර ගැනීමටත් සමත් ආණ්ඩුවක් පොදු මහජනතාව වෙනුවෙන් System Change කිරීමට අසමත් වී තිබෙනවා. ඒවගේම මේවා ප්‍රතිපත්ති සම්පාදනය කරන පාර්ලිමේන්තුව ප්‍රහසන රඟමඩලක් වීමේ ප්‍රතිඵල.

සර්ලා සිංගප්පූරුවට හෝ අමෙරිකාවට ගොස් ප්‍රතිකාර ගනිද්දී මේ වගේ දේවලින් අපේක්ෂාභංගත්වයට පත්ව ඇත්තටම ෆේල් වන්නේ රට සහ ජනතාවයි (මහින්ද රුබසිංහ)

Related posts