මෙම වසරේ ජනවාරී මාසය තුළ පමණක් රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ 4828 ක් සිදු කොට පරීක්ෂණ 5060 ක් සම්පුර්ණ කර ඇති අතර ,අවම වශයෙන්  මසක් තුළ වාර්තා ලබාදීය හැකි මට්ටමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ගෙන එන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

ඔහු මේ බව පැවසුයේ වාරිමාර්ග අමාත්‍ය හා ස්වදේශ කටයුතු ආපදා කළමණාකරණ හා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ  ආරාධනයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධිකරණවල පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක  නිරතවු අවස්ථාවේදිය.

අධිකරණ අමාත්‍යවරයා මෙහිදි තිස්සමහාරාම හම්බන්තොට හා තංගල්ල අධිකරණ සංකීර්ණවල ඉදිරි සංවර්ධන වැඩ සටහන් පිළිබදව නිරීක්ෂණයක නිරත විය.

එම නිරීක්ෂණ චාරිකාවේදී අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් එහි ධාරීතාව වැඩි කර , සේවක සංඛ්‍යාව වැඩි කිරීම සිදු කර 2021 ජනවාරි මාසයේ තුළ සියයට 104 % ක ප්‍රගතියක් පෙන්වීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සමත් වී ඇති බවයි.

අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් අනුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද විශේෂ වැඩපිළිවෙළ යටතේ එම නිලධාරීන් සිය රාජකාරී වේලාවෙන් පසුව රාත්‍රී 7.00 දක්වා නොමිලේ සේවයේ කිරීමටත්, ඇතැම් දිනවල රාත්‍රී 10.00 දක්වා අතිරේක සේවා මුරයක් රාජකාරී සිදු කිරීමටත් ක්‍රියා කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඉලක්ක වෙත ළගා වීමට හැකිව තිබේ.

හම්බන්තොට හා තිස්සමහාරාම අධිකරණ තුළ විභාග වන විශාල නඩු සංඛ්‍යාවක් පවතින බැවින් එය අවම කිරීමට එම අධිකරණ දෙක තුළ වැඩි ඉඩකඩ පහසුකම් සහිතව නව අධිකරණ ශාලා ස්ථාපිත කිරීම ,කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් පියවර දෙකක් යටතේ කඩිනමින් සිදු කළ යුතු බවත්, හම්බන්තොට අධිකරණ පරිශ්‍රයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සුදුසු භූමියක් තෝරා නව අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීම පිළිබදව සොයා බැලීමටත් මෙහිදී යෝජනා විය.

අධිකරණවල යටිතල  පහසුකම් වැඩි දියුණු කිරීමේදී එය වසර 30 ක් 35 ක් ඉදිරිය දෙස බලා සිදු කළ යුතු බවත්, නඩු ප්‍රමාදය අවම කිරීම සදහා දැනට පවතින අධිකරණ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ දැමිය යුතු බවත් ,ඒ සදහා නව ක්‍රමවේදයක් යටතේ ඉදිරියට යාමේ වැඩ පිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇති බැවින් සියලු දෙනාගේ සහාය ඒ සදහා අවශ්‍ය වන බවත් ,අධිකරණ අමාත්‍යතුමා මෙහිදි සදහන් කළේය.

වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා , ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා මහතා  දේශපාලන නියෝජිතයින්  අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ලක්ෂ්මි කුමාරි මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් නිතීඥ  සම්ගම්වල සාමාජිකයින් , මෙම සාකච්ඡා සදහා එක් විය.

ශානිකා

Similar Posts