bomb

බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේ බෝධි ප්‍රාකාර බැම්ම සහ විහාර මාවත අසබඩ පිහිටා ඇති වලාකුළු බැම්ම අතර විහාරස්ථාන භූමි  ප්‍රදේශයෙහි තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් (13) වන දින උදෑසන බොරලැස්ගමුව පොලීසිය සොයාගෙන ඇත.

විහාරස්ථානයේ පවිත්‍රතා රාජකාරි කටයුතු සඳහා යොදවා සිටින සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් විහාර භූමියේ උදෑසන 10.00 ට පමණ පවිත්‍රතා කටයුතු වල නියැලෙමින් අතුගාමින් සිටියදී ඉටි බෑගයක ඔතා තිබෙන පාර්සලයක් බෝධිප්‍රාකාරය හා වලාකුළු බැම්ම අතර ගසක් අසල බිම  තිබෙන බව දැක ඇති බවත් එම පාර්සලය ඉදලේ මිටෙන් පරීක්ෂාකර බැලීමේදී එම  බෑගය තුළ මෙම ජීව අත්බෝම්බය ඔතා  තිබු බව දැක ඇත.

ඉන්පසු සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් විසින් බොරලැස්ගමුව පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බවත් මෙම ජීව  අත්බෝම්බය විදෙස් රටක නිෂ්පාදිත ඉතා පැරණි තතත්ත්වයේ මල බැඳී තිබූ එකක්  බවත් පොලිසිය පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ කැලණිය කඳවුරේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් එම ස්ථානයට කැඳවා අත්බෝම්බය පරික්ෂා කිරීමෙන් අනතුරුව ජීව අත්බෝම්බයක් බවට හඳුනා ගත් බවත් ඉන්පසුව අත්බෝම්බය බොරලැස්ගමුව, මැටි ශුද්ධාගාර පාර ප්‍රදේශයේ පිහිටි හිස් ඉඩමකට ගෙනගොස් නිෂ්ක්‍රීය කළ බවත් පොලිසිය පැවසීය.

මෙම අත්බෝම්බය කවුරුන් හෝ විසින් මාර්ගයේ සිට විහාර භූමියට විසි කළාද නැතහොත් යම් පුද්ගලයෙක් විසින් විහාරස්ථානයට රැගෙන ආවේදැයි යන්න පිළිබඳව සී.සී.ටී.වී කැමරා දර්ශන උපයෝගී කරගැනිමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ නුගේගොඩ කොට්ඨාස කලාප අංක 01 භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කුමාර රූපසිංහ යන මහත්වරුන් ගේ සෘජු අධීක්ෂණය මත බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී විජේරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජනිත මධුසංඛ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය මහතා ඇතුළු නිලධාරීන් විසින් පවත්වනු ලබයි.

සමීර   අබේසිංහ (බොරලැස්ගමුව)

Similar Posts