කැලෑ මාකට් එකට නොයෙන තැඹිලි

පිටකොටුවේ කැලෑ මාකට් එකට මොහොතකට ගොඩවිය. අප යන විට එහි තැඹිලි තොග කිහිපයක් තිබුණත් ඒවායේ මිල ඇසූ විට අප මවිතයට පත් විය.  තැඹිලි ගෙඩිගෙඩියක  මිල වූයේ රු. 120කි. 

කැලෑ මාකට් එකේ කවදත් මන්නයක් අතින් ගෙන තැඹිලි විකුණන පුද්ගලයා එදා සිටියේ නයා මළ අහිකුණ්ඨිකයකු මෙනි.

‘‘මෙහෙට හවස 6 ඉඳන් උදේ 6 වෙනකම් තැඹිලි එනවා. අද කපන්නවත් තැඹිලි නෑ. ගේන ගේන ලොරිය කියන ගානට ගන්න ගැනුම්කරුවෝ ඉන්නවා. අද තරු පහේ හෝටලයක වෙඩින් එකක වෙල්කම් ඩ්‍රින්ක් එක තැඹිලිලු. හෝටලේට තැඹිලි සප්ලයි කරන මාත් පිස්සු හැදිල වගේ තැඹිලි එකතු කරනවා. තැඹිලි ගෙඩි ලොකු වෙන්න හොඳට වැස්ස තියෙන්න ඕන.’’

ඔහු පැවසුවේ මෑතක් වන තුරු කැලෑ මාකට් එකට තැඹිලි ආවේ හංවැල්ල, බොරලුගොඩ, ආදී ප්‍රදේශවලින් බවය. එත් ඒ ප්‍රදේශයේ තැඹිලි වතුර ටින් කර අපනයනය කරන ෆැක්ටරියක් පටන් ගත් පසු දැන් තැඹිලි කැලෑ මාකට් එකට එන්නේ නැත. ඔහු කියන්නේ දැන් තැඹිලි එන්නේ කළුතර, වාද්දුව, හොරණ, මතුගම ප්‍රදේශවලින් බවය. ඔහු පැවසුවේ වතුර තිබෙනවාදැයි සිතාගත නොහැකි කුඩා තැඹිලි ඇට්ටි රු. 65-75 අතර තොග මිල අලෙවි වූ අතර හොඳ තැඹිලි තොග අලෙවි වූයේ රු. 120ට එහා බවය.

Related posts