කේන්ද්‍ර බැලීමත් ජ්‍යොතිෂයට පටහැනි බව කී මහාචාර්ය වරයා

රටක නරකම කාලය අනාවැකි කරුවන්ගේ හොඳමකාලය යැයි කියුමක් තිබේ.එහෙත්, වර්තමානයේ අප මුහුණ දී ඇති ගෝලීය වසංගතය මත ඒ කියුම ද බොරුවක් වී තිබේ.ඊට හේතුව පසුගිය කාලයේ ජන මාධ්‍ය මඟින් පට්ටපල් බොරු අල්ලේ පැල කර කී ජ්‍යෝතීර්වේදීන් මේ වන විට බුරුතු පිටින් අතුරුදන් ව සිටීම ය. නමුදු මේ සියළු උවදුරු නිමවූ පසු “මම මේ සේරම දැනගෙන හිටියා ඒත් ජනතාව බියට පත් වෙන හින්දා කිව්වේ නැහැ”: යන තුට්ටු දෙකේ බොරුව ද සමඟ ඔවුන් යළි සමාජ කරළියට පිවිසීමට ද බැරි කමක් නැත.

අතීතයේ හත් කෝරලයේ යමකුට පරම නිග්‍රහයක් කිරීම සඳහා යොදා ගත් අවම කායික හිංසන ක්‍රියාවක් ගැන ගැන මා අසා තිබේ.එනම් කාන්තා මුත්‍රා තැවරුණු බූවල්ලකින් පහර දීම ය.වර්තමානයේ එම පහර දීමේ කලාව නොමැති වීම මෙම ජ්‍යෝතීර්වේදීන්ගේ වාසනාවක් විය නොහැකිදැයි සිතමින් මම මෙම ලිපියේ ප්‍රස්තූතයට පිවිසෙමි.

දෙදහස් දෙක වසරේ එක්තරා දිනයක මට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය බමුණුගම ශාන්තවිමල හිමිපාණන්ගෙන් ඇරයුමක් ලැබිණ. ඒ විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරයේ පැවැති දහම් හමුවක දීි “බුදුදහම සහ ජ්‍යොතිෂ්‍යය” යන මැයෙන් දෙසුමක් පැවැත්වීමට ය. ඒ වනවිට එම විෂය ගැන තරමක හැදෑරීමක් කොට තිබූ නිසා මම ශාන්තවිමල හිමියන්ගේ ඇරයුම පිළිගත්තෙමි.

මා යනවිට විශ්වවිද්‍යාල බෞද්ධ විහාරයේ ඉදිරිපස ශාලාවේ සියයක පමණ පිරිසක් රැඳී සිටියහ. ඔවුන් අතර විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්, අනධ්‍යන කාර්යය මණ්ඩලයේ පිරිස්, සිසු සිසුවියන් සේම විශේෂ ඇරයුම්ලත් වෛද්‍ය ආදී තවත් වෘත්තිකයන් පිරිස් ද වූහ.

එම දේශනයේ දී මට කියන්නට අවශ්‍ය වූයේ බුද්ධකාලීන භාරතයේත් ජ්‍යොතිෂ්‍යයට ඉහළ වැදගත්කමක් හිමිව තිබුණත්, එය භාවිත කරන ලද්දේ නැකැත් බැලීම සඳහා වූ ගණිතමය ශාස්ත්‍රයක් පමණක් ලෙසින් පමණක් බව ය. එසේම එවකට ජ්‍යොතිෂ්‍යය කිසිඳු ආකාරයකින් අනාවැකි කීම සඳහා යොදාගනු ලැබූ ශාස්ත්‍රයක් නොවූ බවය.

භාරතීයන් අනාවැකි හෙවත් දෛවය කීම පිණිස ජ්‍යොතිෂ්‍යය යොදාගෙන ඇත්තේ බුදු සමයට වසර දහසකටත් මෙපිට පස්වන සියවසේදී පමණ පර්සියානු බලපෑමෙනි. මගේ කතාවේ එම කොටස පැහැදිලි කරන්නට මා පටන් ගත් වනම කතාවට බාධා කරමින් මැදිවියේ පුද්ගලයෙකු සභාවෙන් නැගී සිටියේ ය.ඔහු විශ්ව විද්‍යාල උප ශාලාධිපති වරයකු බව මට පසුව දැනගත හැකි විය.

‘‘“මහත්තයාගේ ඔය කතාව සම්පූර්ණයෙන් වැරදියි. එහෙම නම් සිද්ධාර්ථ කුමාරයා ඒකාන්ත වශයෙන්ම බුදු වෙනවා කියලා කුමාරයාගේ කේන්දරේ බලපු කොණ්ඩඤ්ඥ බමුණා හරියටම කිව්වේ කොහොමද?”හෙතෙම අතපය වීසි කරමින් මගෙන් අසන්නට විය.

“‘ඔය කතාව කියන්නේ බුද්ධ වංශ අටුවාවේ. ඒත් කොහෙද ඒකේ කේන්දර බැලීමක් ගැන තියෙන්නේ?”

මා එලෙස පිළිතුරු සැපයීමට සැරසුණද ඔහුගේ ආවේගශීලීත්වය නිසා මට කතා කිරීමටවත් ඉඩක් ලැබුණේ නැත.ඔහු තම මුළු ආත්මයම ජ්‍යොතිෂ්‍යය භාර කළ අයකු බව මට වැටහිණ

“අන්න මුළු ත්‍රිපිටකයම තියනවා අතන අල්මාරියේ. ඔබතුමාට පුළුවන් නම් බුද්ධ කාලේ බමුණෝ කේන්දර බලපු කතාවක් ත්‍රිපිටකයේ කොතැනකින් හරි අරන් මට පෙන්වන්න. එහෙම ත්‍රිපිටකය ධර්මය ඇසුරු කරන්න ඉඩ දෙනවා මිසක් ඔහොම අන්තනෝමතවලට මෙතැන ඉඩ දෙන්න බැහැ.”

ඔහුගේ ආවේගශීලීත්වය පාලනය කිරීමට මට නොහැකි වූ තැන ශාන්තවිමල හිමියෝ මා වෙනුවෙන් ඉදිරිපත් වෙමින් එසේ කීහ.
මීට වසර පහළොවකට පමණ පෙර අකාලයේ අපගෙන් සදහටම සමුගත් විභාවි විජය ශ්‍රී වර්ධන, මගේ කුළුපග මිතුරෙකි. භාෂා සහ මානව ශාස්ත්‍ර විෂයන්හි නිපුනයෙකු වූ ඔහු එවක පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයක් හෙබවීය. දේශනය නිමවූ සැනින් මා විභාවි මුණගැසීමට විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ කාර්යාලයට ගියේ ඒ සම්බන්ධයෙන් ඔහු කලින් දැනුවත්කොට තිබූ බැවිනි.

මා යනවිට ශාස්ත්‍ර පීඨ කාර්යාලයේ වෙනදා නොමැති පිරිසක් රැස්ව සිටියහ. ඒ එහි ශාස්ත්‍ර පීඨ ආචාර්ය මණ්ඩලයේ රැස්වීමක් නිමා වූ මොහොතක් බව මම අනුමාන කළෙමි.ශාස්ත්‍ර පීඨ කාර්යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩල විවේකාගාරය තුළ තිදෙනෙකු යම් කතාබහක යෙදෙමින් සිටිනු මට පෙනිණි. ඒ අතරින් සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස සහ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය පී.ඩී.ප්‍රේමසිරි යන විද්වතුන් මට හඳුනාගත හැකි විය.

මීට මඳ වේලාවකට පෙර විශ්ව විද්‍යාලයීය විහාරයේ දේශනය පවත්වන්නට යාමේදී මට සිදුවූ අලකලංචිය මා විභාවිට කී සැනින් සැබෑම රසවතෙකු වූ ඔහු කොක් හඬලා සිනාසුණේය. ඔහු ඉන් නොමඳ ආශ්වාදයක් විඳිනු මට පෙනිණි. ඒ සමඟම අප වාඩිවී සිටි මේසයේ එහා කෙළවරේ වාඩිවී සිටි තරුණ කථිකාචාර්යවරියක ද අපගේ මෙම කතාවට කන්දී හිඳිනු මට පෙණිනි.

“‘‘මම නම් කින්නේ ඔය පත්තරවල යන ලග්න පලාඵල පට්ටපල් බොරු කියලයි. ලග්නේ බලලා කෙනෙකුගේ කල දවස කියන එක ජ්‍යොතිෂ්‍යයට එකඟ නෑ මං හිතන්නේ.”

අපගේ කතාබහ අතරමගදී ඇය විභාවිට කීවා ය.

“ලග්න පලාඵල විතරක් නෙවෙයි, කේන්දරේ බලලා කෙනෙකුගේ දෛවය කියන එකත් ජ්‍යොතිෂ්‍යයට විරුද්ධයි.”

ඒ වනවිට කේ.එන්.ඕ. ධර්මදාස සහ පී.ඩී.ප්‍රේමසිරි යන මහාචාර්යවරුන් සමග කතා කරමින් සිටි අනිත් වියපත් තැනැත්තා ඔවුන් කාමරයෙන් පිටව ගිය පසු අප සමීපයට එමින් කීය.

“කවුද මේ?”

මා මින් පෙර ඔහු දැක නොමැති බැවින් මම විභාවිගේ කනට මුව මඳක් ළංකොට ඇසීමි.
‘‘
“ඇත්තටම උඹ කොයි ලෝකේ ඉඳලද ගොඩබැස්සේ? යකෝ මේ අපේ ගුණපාල ධර්මසිරි සර්නේ.”

විභාවි පවසන ලද්දේ අවට සිටි සැමට ඇසෙන පරිද්දෙනි. ඔහුගේ එම පිළිතුරින් මගේ සියො`ළඟ සීතල වී යන අයුරක් හැගුණි.
රුවින් නොදැක තිබුණ ද මහාචාර්ය ගුණපාල ධර්මසිරි යනු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ප්‍රමුඛතම මහාචාර්යවරයෙකු බවත්, ථේරවාදී නොවන බෞද්ධ සම්ප්‍රදායන්, ආයුර්වේදය ආදී පෙරදිග දර්ශන පිළිබඳ විශිෂ්ඨ දැනුමක් ඇති මහා ප්‍රාඥයකු බවත් මා මින් පෙර අසා තිබිණ.

ලෝක ප්‍රකට එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්යාලයේ ආචාර්ය උපාධිය සඳහා 1972 වසරේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද ක්‍රිස්තියානි දේව සංකල්පය පිළිබඳ බෞද්ධ විචාරයක් (Buddhist critique of the christian concept of God) නම් නිබන්ධනය අතිශය ආන්දෝලනාත්මක වූවකි. ඒ අනුව ඔහුගේ එම ප්‍රකාශය මා එල්ල කොට යොමු කළ තියුණු උපහාසයකැයි මට සිතිණ.
‘‘
“ඒ කොහොමද සර් කෙනෙකුගේ කේන්දරෙන් දෛවය කියන එක ජ්‍යොතිෂ්‍යයට විරුද්ධ වෙන්නේ?”

මහාචාර්යවරයාගේ එම ප්‍රකාශය අසා සිටි තරුණ කථිකාචාර්යවරිය ඇසුවා ය.

‘‘“ඒක මෙහෙමයි.”

මහාචර්යවරයා තම කතාවට අවතීර්ණ විය.

‘‘“ජ්‍යොතිෂ්‍යය කියන්නේ අනන්ත අපරිමාණ විශ්වයේ තියන ග්‍රහතරු පෘථිවි තලය හා සම්බන්ධ වීම ගැන කියැවෙන දාර්ශනික පදනමක් තියන ශාස්ත්‍රයක්. පෘථිවිය කිව්වම මිනිස්සු වගේම, සතා සීපාවා, ගහකොළ වගේ මිහිතලයේ තියන ජීවී අජීවී හැමදෙයක්ම අයත් වෙනවා, මිනිසා, පුද්ගලයා කියන්නේ ඒ සංයුතියෙන් ප්‍රකෝටි ගණනක අංශු මාත්‍රයක් විතරයි. ඒ අනුව අනන්ත අපරිමාණ විශ්වයෙන් එක් එක් පුද්ගලයා වෙතට යොමුවෙන ග්‍රහ දෘෂ්ඨිවල බලපෑම ඉතාම ක්ෂුද්‍රයි.

ඒ හින්දා කෙනෙකුගේ උපන්දිනය, වෙලාව, ස්ථානය මුල් කරගෙන හදාගන්නා කේන්දරය මුල්කරගෙන ඒ පුද්ගලයා පිළිබඳ නිවැරදි ජීවන විග්‍රහයක් කරන්න බැරි බව තමයි සෛද්ධාන්තික ජ්‍යොතීර්වේදයේ තියෙන්නේ.නමුත් විවිධ මානව අවශ්‍යතා පදනම් කරගෙන පසු කාලීනව කේන්ද්‍ර බැලීම භාවිතයට ගැනුණා”මහාචර්යවරයා කිය.

‘‘“එතකොට සර් ඇයි කේන්දර බලන එක ජ්‍යොතිෂ්‍යයට පටහැනියි කියලා විද්වත් සමාජ මතයක් ගොඩනැගෙන්නේ නැත්තේ?”

ඒ සමගම එම කථිකාචාර්යවරිය අසන ලද්දේ මහත් උනන්දුවකිනි.
‘‘
“ ඒ ඉතින් ඒක ජනතාවගේ මානසික අවශ්‍යතා මත පදනම් වුණු ශාස්ත්‍රයක් හින්දනේ. අනික යමෙකුගේ උපන් වෙලාව මුල් කරගෙන කේන්දරයක් හැදුවත් ඒ පුද්ගලයා කේන්ද්‍ර කර ගත්තු පවුල, ප්‍රජාව, සමාජය,ආර්ථිකය භූමිය පරිසරය කියන සාධක සම්භාරයක් ගොනු වෙලා තියෙද්දී කොහොමද ඒ පුද්ගලයාව ඒවායින් වියුක්ත කරලා ඒ පුද්ගලයාට විතරක් සීමාවුණු කේවල අනාවැකියක් ලබාගන්නේ? ඒ හින්දා කෙනෙකුගේ කේන්ද්රය මගින් කියැවෙන දෛවය ඒ ආකාරයෙන් සපල වීමට තියෙන හැකියාවේ සම්භාවිතාව කෝටි ගණනකට ගණනකට එකක් වෙන්න පුළුවන්.”

මහාචාර්ය ගුණපාල ධර්මසිරි සූරින් පවසනු ඇසීමෙන් මම අතිශය විස්මයටත් සොම්නසටත් පත්වීමි.

දැනට කැලණිය විශ්ව විද්‍යාලයීය දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයක් හොබවන සංජීවනී රූපසිංහ, එම විද්වතාගේ සිසුන් අතරේ සිටි දක්ෂතම සිසුවියකි. පසු කලෙක මහාචාර්ය ගුණපාල ධර්මසිරිගේ එම ප්‍රකාශය පුවත්පතක් මගින් ප්‍රසිද්ධ කරවීමට මා අපේක්ෂා කළ ද ඔහු ඊට එතරම් උනන්දුවක් නොදැක්වීය. අවසානයේ මම සංජීවනී ලවා පවා එම ඉල්ලීම ඉටු කරගැනීමට උත්සාහ දැරූ මුත් “සර්ට අපි වුණත් වැඩිපුර බලපෑම් කරන්න යන්නේ නැහැ.

සර් ඒකට කැමති නැහැ‘’ යනුවෙන් කීයේ එක්වරක් පමණක් ඔහුගෙන් ඒ ඉල්ලීම කිරීමෙන් පසුව විය යුතු ය. ඒ කෙසේ හෝ 2015 ජනවාරි මාසයේ මහාචාර්ය ගුණපාල ධර්මසිරි ශූරින්ට දුරකතනයෙන් කතා කළ මම නිකමට මෙන් එම ඉල්ලීම ද කළෙමි. එවිට මා විස්මයට පත් කරමින් තමන්ගේ එම ප්‍රකාශය මගින් ප්‍රචාරය කිරීමට ඔහු කැමති විය.

ඒ අනුව 2015 ජනවාරි 12 දින ඔහුගේ එමදාර්ශනික ප්‍රකාශය මුද්‍රිත හා වෙබ් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමට මට අවකාශ ලැබුණත් ඊට ආසන්නතම කාලයක එනම් 2015 මැයි 08 දා මහාචාර්ය ගුණපාල ධර්මසිරි සූරීහු සදහටම අපෙන් වෙන්වූහ,.නමුදු 2016 වසරේ ජයන්ත බෝගොඩ සමඟ සංජීවනී රූපසිංහ සංස්කරණය කළ “මහාචාර්ය ගුණපාල ධර්මසිරි-ජීවිතය සහ දර්ශනය” නම් ශාස්තීය ලිපි සංග්‍රහය තුළ එකී සුවිශිෂ්ඨ විද්වතා පිළිබඳ එම අපූරු සංසිද්ධිය ගොනු කිරීමට ද මට අවකාශ ලැබිණ.

තිලක් සේනාසිංහ

Related posts