දේවානීට කුමන අභියෝගයක් එල්ල වේවිද?

දේවානී ජයතිලක කියු පමණින් අද රටේ සියලූ දෙනා ඇයව හදුනයි. ඉකුත් 10 දාට ප‍්‍රථම ඇයව රටේ සියලූ දෙනා දැන සිටියේ නැත. නමුත් ඉකුත් 10 දා ඇය සහභාගි වු මීගමුව කලපු සංවර්ධන රැස්වීමෙන් පසු ඇයව මුලූ රටක්ම හදුනනු ලබයි.

ඒ ඇය ඇයගේ රාජකාරිය නීතියටම කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව කඩොලාන පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නැගී සිටිම නිසාය. වෙනදා පරිසරය ගැන උනන්දුවක් නැති පුද්ගලයින් පවා අද පරිසරය ගැන, ඔක්සිජන් ගැන සොයන්නට පටන් ගෙන ඇත.

දේවානී ජයතිලක

දේවානී ජයතිලක යනු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ දිසා වන නිලධාරිනිය වේ. ඇය මෙහි පැමිණ වසර තුනක් පමණ වේ. ඒ වසර තුන කාලය පුරා ඇයට නිරික්ෂණය වු එක් දෙයක් ඇත. එනම් අඩුම වන ගහනය ඇත්තේ ගම්පහට බවය. එය සියයට එකයි දශම හයකි. ඉන් වනජිවියට ඇත්තේ අක්කර 18 කි. වන සංරක්ෂණයට ඇත්තේ හෙක්ටයාර් 81 කි

ගම්පහ දිස්ත‍්‍රික්කයේ බොයිලේරු 52 ක් ඇති බවත් ඒවාට ටොන් 40 ක ගස් කපන බවත් දේවානි ජයතිලක අනාවරණය කර ගෙන තිබේ. මෙලෙස පරිසරයට හානි වීම තුලින් කාබන්ඩයොක්සයිඞ් උරා ගැනීමට ගස් නොමැති වන බවත් එවිට හුස්ම ගැනීමට ඔක්සිජන් නොමැති බවත් ඇය ඉතා සරලව තේරුම් ගත් කරුණකි. මේ නිසාම වන සංරක්ෂණ නිලධාරිනියක් ලෙස ඇය මාසික වැටුපට පමණක් සීමා නොවි පරිසරය සුරැුකීමට පෙරට පැමිණියාය.

ගැටුම

මෙහිදි හෙක්ටයාර් 14 ක වපසරියකින් යුත් මීගමුව – සින්නඩිතෝට්ටම් දුපතට පස් පිරවීම සම්බන්ධයෙන් ගැටලූවක් මතුව තිබුණි. මෙහිදි ගම්පහ වන සංරක්ෂණ නිලධාරින් මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පැවරු අතර එහිදි දුපතෙන් පස් ඉවත් කරන ලෙස නියෝග ලබා දී ඇත. මේ අතර මීගමුව – මුන්නක්කරය ශාන්ත නිකුලා සිංහල මිශ‍්‍ර කනිෂ්ඨ විද්‍යාලයට ක‍්‍රිඩා පිටියක් නොමැති වීම නිසා මීගමුවේ එක්තරා දේශපාලන පාර්ශවයක ආශිර්වාදයෙන් එහි කඩොලාන කපා පිට්ටනියක් සකස් කර තිබුණි.

මෙම රජයේ ඉඩමේ පිට්ටනිය තනා ගැනීමට අනුමැතිය ලබා දෙන ලෙස ඉකුත් 10 දා මීගමුව කලපු සංවර්ධන රැස්වීමේදි ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා මහතා දේවානී ජයතිලක මහත්මියගෙන් ඉල්ලා සිටියේය.

එහිදි ඇය එක හඩින් කියා සිටියේ එය රජයට අයත් කඩොලාන පරිසරයක් බවත් කිසිසේත්ම පිට්ටනියක් සකස් කිරිමට ඉඩ දිය නොහැකි බවත්ය. එහිදි රැස්වීමට පැමිණ සිටි යම් යම් පුද්ගලයින් පිරිසක්ද ඇයට එරෙහිව හඩ නැගු නමුත් දේවානී ජයතිලක නම් ඇය කියා සිටියේ නීතියට පිටින් කිසිදු දෙයක් සිදු නොකරන බවය.

මෙම අවස්ථාවේ වීඩියෝ අන්තර්ජාලය පුරා සංසරණය වීමත් සමග සමාජ මාධ්‍ය වල දේවානී ජයතිලකට ප‍්‍රශංසා හිමි වු අතර සනත් නිශාන්ත ගැන විවිධ අප‍්‍රසාදයන් පළ වන්නට විය.

මේ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අමාත්‍යවරයා  මාධ්‍ය හමුවකදී කියා සිටියේ දේවානී ජයතිලක එදා රැුස්වීමේදි ධීවරයින්ගෙන් ගුටි නොකා බේරා ගත්තේ තමන් මැදිහත් වී බවය. එමෙන්ම රජයේ සංවර්ධන කටයුත්තකට ඇයට බාධා කිරිමට නොහැකි බවත් ඇය නිසා රුපියල් ලක්ෂ 7000 ක ව්‍යාපෘතියක් නැවැත්විය නොහැකි බවත්ය.

ඔහුගේ මෙම ප‍්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔහු හොදින් හෝ නරකින් මෙහි ක‍්‍රිඩා පිටිය ඉදිකරන බවය.

සනත් නිශාන්ත

කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා යනු 2015 දි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පුත්තලම් දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වු මන්ත‍්‍රීවරයෙකි. හලාවත ශාන්ත මරියා පිරිමි විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති නමුදු ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිලිබද කිසිදු තැනක සදහන්ව නොමැත. මොහුගේ වැඩිමහල් සොහොයුරා වන්නේ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරාය.
1999 වසරේදී ආරච්චිකට්ටුව ඡුන්ද මධ්‍යස්ථානයකදී එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයෙකුට බැන තර්ජනය කිරිමක් හා ජීව උණ්ඩ 05 ක් ළග තබා ගැනීම සම්බන්ධයෙන් සනත් නිශාන්තව අත්අඩංගුවට ගන්නා විට ඔහු ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරයෙකි.

මේ සම්බන්ධ නඩුව දිගින් දිගටම හලාවත අධිකරණයේ පැවතුණි. මේ අතර 2008 නොවැම්බර් 24 වෙනි දින ආරච්චිකට්ටුව, කරුක්කුලිය ජයතිලකාරාම විහාරස්ථානයේදි රාජකාරියේ යෙදී සිටි එවකට ආරච්චිකට්ටුව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප‍්‍රාදේශිය ලේකම් ධනසේන පුරසිංහ මහතාට සනත් නිශාන්ත හා ඔහුගේ සොහොයුරු ජගත් සමන්ත පහර දී තිබුණි.

මේ සම්බන්ධවද ඔවුන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි. පසුව ඇප මත මුදා හැරුණු අතර එහි ඇප කොන්දේසියක් වුයේ සෑම ඉරුදිනකම හලාවත පොලිසියට පැමිණ අත්සන් කළ යුතු බවය. නමුත් මොවුන් 2017 අගෝස්තු මාසයේ සිට ඇප කොන්දේසිය කඩ කර ඇති අතර ඒ සම්බන්ධයෙන්ද අත්අඩංගුවට පත් වු අයෙකි.

එමෙන්ම 2016 ජුනි මාසයේදි සනත් නිශාන්ත දැදුරු ඔය අසල පිහිටි පොලිස් මාර්ග බාධකයේ යෙදී සිටි පොලිස් නිලධාරින්ට බැන තර්ජනය කිරිමේ සිදු වීමක්ද වාර්තා වු අතර ඒ සම්බන්ධයෙන් හලාවත පොලිසිය විමර්ශනද සිදු කලේය.

මේ සනත් නිශාන්තගේ ඉතිහාසයෙන් ඉතා බිදක් වන අතර තව බොහෝ දේවල් ඒ තුල ඇත. එවන් පුද්ගලයෙකුගෙන් දේවානී ජයතිලක වැනි කාන්තාවකට කුමන අභියෝගයක් එල්ල වේදැයි කිව නොහැකිය.

මේ අතර ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජිවි සම්පත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ඊයේ ප‍්‍රකාශ කර තිබුණේ වනජිවි පනත ගැන සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට දැනුමක් නොමැති බවත් තමන් දේවානි ජයතිලක නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින බවත්ය.
තවම මේ සිද්ධිය සමාජ මාධ්‍ය වල උණුසුම් පුවත් මවමින් සිටින අතර එහි අවසානය කොතනකදැයි අවිනිශ්චිතය. නමුත් එහි අවසානය තෙක් මුලූ රටම අවදියෙන් සිටින බව නම් නොරහසකි.

ශානිකා මාධවී

Related posts