පෝට් සිටි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

portcity

පෝට් සිටි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක තුමා වෙත ලැබී ඇති අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇත්තේ එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ඉන් ඇතැම් වගන්ති සදහා පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් සම්මත කල යුතු බවත් තවත් වගන්ති කිහිපයක් සදහා 2/3 විශේෂ බහුතරයක් පමණක් නොව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවයි.

කෙසේ වෙතත් මෙම තීරණයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත කී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන වගන්ති සදහා සංශෝධන යෝජනාවන් ඉදිරිපත් කර තිබෙන අතර එකී සංශෝධනයන් ප්‍රකාරව සම්මත කරන්නේ නම් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවද සදහන් කරයි.

පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය පමණක් අවශ්‍ය වගන්ති

පනත් කෙටුම්පතේ 3(6), 30(3) දෙවැනි අතුරු විධානය, 55(2) සහ 58(1) හි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන බවත් එකී වගන්ති වලංගු ලෙස සම්මත කල හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සලසා ඇති පරිදි පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් එනම් 2/3 බහුතරයකින්  බවට ශ්‍රේෂ්ඨාධීකරණය තිරණය කර තිබේ. ඒ අනුව වර්තමාන ආණ්ඩුවට 2/3 බලයක් ඇති බැවින් මෙම වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කල සංශෝධනයන් නොමැතිව වුවද සම්මත කිරීමේ හැකියාව ආණ්ඩුවට ඇත.

පනත් කෙටුම්පතේ 3(5)අතුරු විධානය 3(7), 6(1)(ආ), 30 (3) පළමුවැනි අතුරු විධානය, 7(1) සහ 74 ද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල බැවින් ඉහත පරිදිම 2/3 බහුතරයකින් එකී වගන්ති සම්මත කල යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. එමෙන්ම පනත් කෙටුම්පතෙත් 30(1), 33(1), 40(2) සහ 71 (2) (ඕ) වගන්තිවල විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඌ) ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එයද පාරිලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් සම්මත කල යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ.

තවද පනත් කෙටුම්පතේ 60(ඈ) සහ 60(ඊ) වගන්ති වල විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාවට අනනුකූල බවත් එය සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් බවටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. තවද පනත් කෙටුම්පතේ 37 වග්තියේ විධිවිධාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන අතර විහේෂ බහුතරයකින් සම්මත කල යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ විශේශ බහුතරයට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය වගන්ති

පනත් කෙටුම්පතේ 3(4), 6(1)(ද), 68(1)(ඊ) සහ 68(3)(අ) වගන්තිවල විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 4 ව්‍යවස්ථා සමග කියවිය යුතු 76 ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය සම්මත කල හැකි වන්නේ පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියේ ප්‍රතිපාදන සකසා ඇති පරිදි ජනමත විචාරණයකින් ජනතාවද අනුමත කිරීමෙන් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

පනත් කෙටුම්පතේ 52(5) සහ 71(2)(ජ) වගන්ති සමග කියවිය යුතු 52(3) වගන්තියේ විධිවිාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 4 ව්‍යවස්ථා සමග කියවිය යුතු 148 ව්‍යවස්ථාවට අනනුකූල බවත් එයද සම්මත කිරීමට වන්නේ විශේෂ බහුතරයක් පමණක් නොව ජනමත විචාරණයකදී ජනතා අනුමැතියද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

පනත් කෙටුම්පතේ 53(3)(ආ) වගන්තිය සමග කියවිය යුතු 53(2)(ආ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාවට අනනුකූල බවත් එය සම්මත කිරීමටද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

පනතේ අනෙකුත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මෙම තීරණය අනුව දැනටමත් පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ආණ්ඩුවට ඇති නිසා මෙම පනත් කෙටුම්පතේ බොහෝ වගන්ති සම්මත කර ගැනීමේ හැකියාවක් ආන්ඩුවට ඇත. ආණ්ඩුවට හැකියාව නොලැබෙන්නේ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කල වගන්ති කිහිපය පමණක් වන අතර ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කල සංශෝධනයන් ආණ්ඩුව විසින් සිදු කරනු ඇත.

විශේෂ බහුතරයක් අවශ්‍ය යැයි තීරණය කල වගන්ති සදහා ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කල සංශෝධනයන් සලකා බැලීමේ අවශ්‍යතාවයක් ආණ්ඩුවට නැත්තේ ආණ්ඩුවට 2/3 බලයකට ඉතා ආසන්න බලයක් ජනතාව විසින් ලබා දුන් නිසා ඒ අවසරයෙන් ආන්ඩුව 2/3 බලයක් ස්ථිරසාරව සකසා ගෙන ඇති නිසාය.

දුලාන් දසනායක

Related posts