මනෝ වෛද්‍ය රූමි රූබන් ගෙන් අධ්‍යාපන බලධාරීන්ට යෝජනාවක්

rubi-ruban

වසංගත සමයේදී සම්පූර්ණ විෂය නිර්දේශයම මාර්ග ගත (online) ක්‍රමය ඔස්සේ ලබාදීම නිසා පාසල් දරුවන් විශාල වශයෙන් විවිධ මානසික පීඩාවන්ට හා පීඩනයන්ට ගොදුරුව ඇති හෙයින් විෂය නිර්දේශ කෙටි කර ලබා දීමට වැඩපිළිවෙළක් යොදන්නැයි තමා අධ්‍යාපන බලධාරීන්ට යෝජනා කරන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ලංකාදීපයට පැවැසීය.

තමා ළඟට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන දරුවන්ගේ මානසික තත්වය අධ්‍යනයේදී මෙම පීඩාකාරී ස්වභාවය හොඳින් නිරීක්ෂණය වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

එසේම සමහර දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමට පහසුකම් නොතිබීම සහ තවත් සමහර දරුවන්ට ජංගම දුරකථන පහසුකම් තිබුණද ප්‍රමාණවත් පරිදි දුරකථන සංඥා (සිග්නල්) නොලැබීම නිසාද විවිධ මානසික පීඩා ඇති වී තිබෙන බව පෙනී යන්නේ යැයි රූබන් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර කොරෝනා වසංගත තත්වය සමග ලෙඩ රෝග ගැන වැඩි වැඩියෙන් සිතීම නිසා බොහෝ වැඩිහිටි පිරිසක් “කාංසාව”වැනි මානසික තත්වයන්ට ගොදුරුව සිටින බව කී විශේෂඥ මනෝ වෛද්‍යවරයා වසංගතය පවතිද්දී රැකියාවන්හි නිරත වීමට සිදුවීම නිසාද සමහරුන් මානසික ව්‍යාධීන්ට ගොදුරුව සිටින්නේ යැයි පැවැසුවේය.

සෞඛ්‍ය සේවයේ විශාල පිරිසක් අධික වැඩ සහිත බව නිසාද සංචාරක ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පිරිසක් කොරෝනා වසංගතයත් සමග මතුවී ඇති ආර්ථික ප්‍රශ්න හේතුවෙන්ද විවිධ මානසික ගැටලුවලට මුහුණ දී සිටින බව රූබි රූබන් මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා වසංගතයත් සමගම මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විවිධ මානසික ගැටලුවලට හා ව්‍යාධීන්ට ගොදුරුව ඇති බව අනුමාන කළ හැකි යැයිද ඔහු කීවේය.

Related posts