මේ අවසානය, මිත්‍යාවේ අවසානයක ආරම්භය වේවා !

mithyawa

අද අප ජීවත් වන්නේ මිත්‍යාවෙන් වෙලී ගත් රටකය. අවිද්‍යාව රජයන රටකය. දැනුමට ගරහන රටකය. අප රටේ බහුතරය බෞද්ධයෝය. බුදුදහම මිත්‍යාවන් හා අවිද්‍යාවන් එකහෙළා ප්‍රතික්ෂේප කල දහමකි. එනමුත් අප රටේ බහුතරයක් මිත්‍යාවෙන් සත්‍යයයත්, අවිද්‍යාවෙන් විද්‍යාවත් වෙන්කොට හඳුනාගත නොහැකිව අඳුරේ ජීවත් වෙති. මෙම අඳුර වැඩිවන බවක් මිස ආලෝකයක සලකුණක් හෝ පෙනෙන්නට නැත. ඉන්දියාව, චීනය වැනි අප හා සමාන ඉපැරණි ඉතිහාසයන් ඇති පෙරදිග රටවල් පසුගිය දශක කිහිපය තුල අත්කරගෙන ඇති ප්‍රගමනය අති විශාලය. අද එම රටවල් බටහිර රටවල්ද අභිබවා ඉදිරියට ඇදෙයි. ඔවුන් එසේ ඉදිරියට ඇදෙන අතර, අප පමණක් හිටි තැනමය. මීට දශක කිහිපයකට පෙර ලොව අන් රටවලට සාපේක්ෂව අප සිටි තැනට වඩා අද අප සිටින්නේ පසුපසිනි. මෙම තත්ත්වයට හේතු රාශියක් තිබේ. මෙයින් බොහෝ දෙනා කථා කරන හේතුව දුෂිත දේශපාලන සංස්කෘතියයි.

ඒ හැරුණු කොට අපගේ අවධානය යොමු නොවුණු කරුණක්ද මෙයට හේතුවී තිබේ. එනම් නවීන විද්‍යාවන් හා නවීනත්වය ගැන අප රටෙහි බොහෝ පිරිසක් තුල ඇති අවිශ්වාසයයි. රට පුරා මිත්‍යාවන් පැතිරී, බොහෝ දෙනා මිත්‍යාවන්ට යොමුවී, ඒ මිත්‍යාවන් පසුපස හඹා යමින්, කාලය ගත කිරීමයි. මෙම දෙවැනි සාධකය උද්දීපනය වී පෙනුණේ ලොවපුරා පැතිරුණු කෝවිඩ් වසංගතය අවස්ථාවේදීයි. කොවිඩ් රෝගය මැඩලීමට, ඇතැම් නායකයන් හා ජනයා විවිධ අවිද්‍යාත්මක මිත්‍යා ක්‍රියාවන්, කිසිඳු හිරිකිතයකින් තොරව ප්‍රසිද්ධයේ සිදුකරන ලදී. මෙම ක්‍රියාවන්ට මාධ්‍ය තුලින් විශාල ප්‍රසිද්ධයක් ලැබුණි.

කෝවිඩ් වෛරසයට බෙහෙතක් සොයාගත්තේ යැයි පවසමින්, ධම්මික බණ්ඩාර නම් වඩු වෘත්තියෙහි නියැලී සිට, කාලි දේවතාවියගේ වරමක් ලදුයේ යැයි කියන පුද්ගලයෙක් කරලියට පැමිණියේය. ඔහුට කාලි දේව මෑණියන් පැවසුවේ යැයි පවසන රහස් වට්ටෝරුවක් පිළිබඳව බටහිර වෛද්‍යවරුන් පිරිසක් සහ බටහිර වෛද්‍ය “මහාචාර්ය” වරයෙක්, රජයේ බටහිර රෝහලක කල “පර්යේෂණයක්” සාර්ථක වූ බව ඇතැම් ජනමාධ්‍ය පලකළේය. දහස් ගණන් ජනයා මේ ධම්මික බණ්ඩාර මහතා සැකසු “ධම්මික පැණිය” ලබා ගැනීමට පොරකකා ඇදිනි. මෙය “හෙළ වෙද ඔසුවක් ” යැයි නම්කල ඇතැම් බලධාරීන් “දේශීය වෙදකම” නගාසිටුවීමට මෙයට රාජ්‍ය අනුග්‍රහය දැක්වීය. ඉන් අනතුරුව සිදුවූ ක්‍රියාදාමය නොරහසකි. ඒ සිද්ධි සමුදාය මෙරට ජනතාවත්, නායක කාරකාදීන්නුත් කෙතරම් මිත්‍යාවෙහි වෙලී ඇත්දැයි, මිත්‍යාව ප්‍රචලිත කරන්නේදැයි පිළිපිඹු කළේය.

ඒ හැරුණු කොට බහුතරයකගේ අවධානයට යොමු නොවුණු තවත් වැදගත් දෙයක් සිදුවිය. එනම් මෙවැනි මිත්‍යාවන්ට අවශ්‍ය දාර්ශනික මතවාදය මෙරට ප්‍රචලිත කල “මිත්‍යාවේ පියා”, බටහිර වෙදකමට හා බටහිර වෛද්‍යවරුන්ට කර්කෂ ලෙස බනිමින්, ධම්මික පැණිය ආරක්ෂා කිරිමට ඉදිරිපත් වීමයි. ඔහු බුරුම තානාපති ධූරය දරමින් සිට, ඉවත්වූයේ යැයි පවසන මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමායි. මේ මිත්‍යාවේ උල්පත වසා දැමීමට අප තීරණය කලේ, මිත්‍යාව මෙරටින් තුරන් කිරීමට ප්‍රථම, එයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන නලින්වාදී කල්ලිය නිහඬ කිරිම අවශ්‍ය නිසාය.

බුදුදහමහි කරුණු විකෘති කරමින්, එයට කොන්ටම් භෞතික විද්‍යාවේ මතවාද ඇඳා ගනිමින්, අපේ සැබෑ සංස්කෘතිය වසන් කරමින්, අපගේ ජාතික වීරයන්ගේ නම් අවභාවිතා කරමින්, මෙම කල්ලිය කල ප්‍රෝඩාව, අපි අපගේ මින් පෙර පලවූ ලිපි නවයෙන් පැහැදිලි කළෙමු. චතුස්කෝටික ලෙස ක්ෂුද්‍ර අංශු චලනය වන බවත්, මෙම චතුස්කෝටික ක්‍රමය බුදුරජාණන් වහන්සේ වදාළ බවත් පවසා නලින් ද සිල්වා මැතිතුමා බුද්ධ වචනයද විකෘති කල බව අපි ත්‍රිපිටකය ඇසුරෙන් විග්‍රහ කළෙමු. ක්ෂුද්‍ර අංශුවල චලන රටාවෙන් සියලු මානුෂීය, විද්‍යාත්මක, වෛද්‍ය විද්‍යාත්මක, සමාජීය හා සංස්කෘතික සංසිද්ධීන් විග්‍රහ කිරීමට තැත් කිරීම ළදරු ක්‍රියාවක් බව අපි පැවසුවෙමු .

මෙම චතුස්කෝටික තර්ක ක්‍රමය සත්‍යයෙන් අසත්‍ය වෙන්කර හඳුනා ගන්නා ක්‍රමවේදයන් සහ මිනුම් දඬු ගැන කුකුසක් අප තුල ඇති කරන සැටිද අපි පහදා දුනිමු. එම මතවාදයෙහි සිටින සමාජයක, ඇත්ත ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි හා මිනුම් දඬු දෙස බැලීමට මිනිසුන් නොපෙලඹෙයි. ඒ එවන් එම සාක්ෂි හා මිනුම් දඬු ද විශ්වාස කල නොහැකි යැයිද, එනිසා යමක් පිළිගැනීමට සාක්ෂි හා මිනුම් දඬු අවශ්‍ය නොවේ යැයිද, යන මතවාදයක් ඔවුන් තුල මුල්බැස ගෙන ඇති බැවිණි. මෙවන් මනසක් ඇතිවිට සත්‍යයෙන් හා අසත්‍යය වෙන්කර ගත නොහැකිව මිනිසුන් මංමුලා වන බව පැහැදිලිය.

යමක සත්‍ය අසත්‍ය බව හඳුනාගත නොහැකි බව පිළිගත් සමාජයක බොරුව ජනගත කිරීම පහසුය. ප්‍රබන්ධයන් හා සත්‍යයයන් අතර වෙනස හඳුනාගත නොහැකි නිසා ප්‍රබන්ධයන් සත්‍යය ලෙස පිළිගැනීමට සමාජය පෙළඹෙන්නේ ප්‍රබන්ධයන් සත්‍යයට වඩා ආකර්ශනීය නිසාය. තම මතවාදයට “ජාතික චින්තනය” යැයි ආකර්ශනීය, වෙළඳාම් කල හැකි නමක් යොදාගත් මෙම කල්ලිය ඉතා කුඩා වුවද, ඔවුන් ජනගත ලද්දේ හලාහල විෂකි. අද අප රටේ පවතින මතවාදී ව්‍යාකුලභාවයට අවශ්‍ය දාර්ශනික පසුතලය සැකසුවේ නලින්වාදීන්ය.

ජාතියේ සැබෑ විරුවන්, බටහිරින් හෝ පෙරදිගින් දැනුම ගෙන, රටේ ප්‍රගමනයට යොදා ගැනීම ගැන, කිසිම කුකුසකින් තොරව කටයුතු කල බව අප පෙන්වා දුනිමු. පෙරදිග දියුණු වෙමින් පවතින රටවල් ඉදිරියට ඇදෙන්නේ ඔවුන් සතුව තිබු පෞරාණික දැනුම සොයා යාමෙන් නොව, නවීන දැනුම භාවිතයෙනි. යම් ක්‍රියාවකින් පලක් ඇත්දැයි බැලිය හැක්කේ එයින් ලැබෙන ප්‍රතිපලය මතය. එසේම එම ක්‍රියාවලිය එය ක්‍රියාත්මක කරන්නන්ට හෝ සමාජයට හානි නොකරවන්නක්ද විය යුතුය. අප පවසනදේ සරලය. ජාති, ආගම්, රාෂ්ටීය, භාෂාමය බේදයන් කෙසේ වෙතත් සමස්ථ මනුෂ්‍ය සංහතිය තුල හොඳ හා නරක ලක්ෂණ බොහොමයක් ඇත. ජාති, ආගම්, රාෂ්ඨීය, භාෂාමය බේද නොසලකා ඒ ඒ සමාජයන් තුල ඇති හොඳ ලක්ෂණ හඳුනා ගෙන අප ඒ දේ උගත යුතුය. අප තුල නැති යම් නරක ලක්ෂණයක් ඔවුන්ගෙන් නොගෙන අත්හල යුතුය. දැනට අප තුල ඇති හොඳ දේ, ඒවායේ උප්පැන්න නොබලා, වැඩිදියුණු කල යුතුය. අප තුල යම් නරක ලක්ෂණයක් ඇත්නම් එය දේශීය වුවත්, පිලිකෙවූ කොට අතහැරිය යුතුය. බුදුදහම මෙවන් උත්සාහයන් හඳුන්වාදෙන්නේ යහපත් උත්සාහයන් (සම්මප්පධාන) යනුවෙනි.

නලින්වාදය ප්‍රශ්න වලට විසදුම් ලෙස පවතින, මෙයට පෙර ක්‍රියාත්මක කර, ප්‍රතිපලයන් අත්කර ගෙන ඇති, ක්‍රමවේදයන් විවේචනය කරයි. බරපතල ලෙස අපහාසයට ලක්කරයි. එම ක්‍රමවේදයන් “දේශීය” නොවන්නේ යැයි පවසයි. ඒ ගැන ඇති විශ්වාසයන් බිඳදමයි. ඒ දේ අනුගමණය කිරීම ගැන ලාංකිකයන් තුල ලැජ්ජාවක් ඇතිකරයි. එම ක්‍රමවේදයන් අනුගමනය කරන්නන් බටහිර ගැත්තන් යැයි පවසයි. අනුකාරක උගතුන් යැයි පවසයි. පඬි නැට්ටන් යැයි හංවඩු ගසයි. සත්‍යයෙන් අසත්‍යය වෙන්කර ගත නොහැකි යැයිද, “බටහිර විද්‍යාවන්” යැයි ඔවුන් හදුන්වන විද්‍යාවන් පිළිකුල් සහගත දේ යැයි පවසමින්, ඔවුන් පෙරදිග ඇති සැබෑ විද්‍යාවන්ද විනාශ කරන සැටි, අපි පෙන්වා දුනිමු. මේ සියල්ල තුලින් ජනතාව තුල විසඳුම් ගැන අවිශ්වාසය වපුරයි. මෙසේ අවිශ්වාසය වර්ධනය වූ ජන මනස තුල ඔවුන් මිත්‍යාවන් පැල කරයි. නැතහොත් ජන මනස ව්‍යාකූල කොට අනාථ කරයි. මෙය රටේ ප්‍රගමනය ඇනහිටුවයි. රටක් ඉදිරියට ගෙනයා හැකි විද්‍යාවන් ගැන අවිශ්වාසන් ඇතිවූ සමාජයකට අනාගතයක් නැත. ඔවුන් ජිවත් වන්නේ අතීතයේ පමණි.

මේ නලින්වාදයට කිසිදු සමාජීය, ආර්ථික, විද්‍යාත්මක, සංස්කෘතික හෝ දේශපාලනමය ප්‍රශ්නයකට විසඳුමක් ලෙස අවම වශයෙන් සංකල්පයක් හෝ ලබා දිය නොහැක. පවතින විද්‍යාවන්ට පහරදෙන නලින්වාදීන් ඒ වෙනුවට හඳුන්වා දෙන විද්‍යාවක් හෝ කිසිම දැනුමක් නොමැත. මෙවන් විකල්ප දැනුම් ලබාගැනීමේ ක්‍රමයක් යෝජනා නොකරන නලින්වාදීන්ට, අවසාන වශයෙන් දැනුම ලබාගැනීම දෙවියන්ගෙන් සිදුකල හැකියැයි සිතන, වනචාරී ගෝත්‍රික මතයට අනුගත වීමට සිදුවිය. මෙසේ ගුප්ත ලෙස දැනුම ලැබෙන්නේය යන නලින්වාදී මතය, ඉගැනුමට මුල්තැන දුන් සැබෑ දේශීය සංස්කෘතියට විරුද්ධ බව අපි පැහැදිලි කළෙමු.

අපගේ ලිපි මුලින් “අනිද්දා” පුවත්පතෙහිත්, ඉන් අනතුරුව ප්‍රධාන පෙළේ අන්තර්ජාල වෙබ් සඟරා වලත්, සමාජ මාධ්‍ය හරහාත්, 2021 පෙබරවාරි මස 12වැනි සිකුරාදා සිට අප්‍රේල් මස 23 වැනි දින දක්වා, පුරා දෙමසක් තිස්සේ පළවිය. අප සාකච්ඡා කලේ දර්ශණ තලයේ ගැඹුරු මාතෘකාවන් වේ. මෙම ලිපි ලිවීම ආරම්භ කරන විට අපගේ අදහස වුයේ, මේවා සුළු පිරිසක් පමණක් කියවනු ඇති බවයි. එහෙත් ඇතැමුන් පවසන අන්දමට මෙම ලිපි වලින් බොහොමයකට ලක්ෂ ගණනකට අධික කියැවීම් අන්තර්ජාලය හරහා සිදුවිණි. ඇතැමුන් මෙම ලිපි තමන්ගේ මුහුණු පොත්හි ඇතුළු කරගෙන තිබුණි. මේ සියලු පුවත්පත් වලට හා පුද්ගලයන්ට අපි තුති පිරිනමමු. ලංකාව තුල සත්‍යය දැනගැනීමට ඇති පිපාසයත්, අවිද්‍යාවට එරෙහිව ඇති ප්‍රවණතාවයත් මේ ලිපි වලට ලැබුණු ප්‍රතිචාරය තුලින් පැහැදිලි වේ. මෙය ධනාත්මක ලක්ෂණයකි. එය මෙතෙක් යටපත්ව, අදෘශ්‍යමානව පැවති දේශීය ලක්ෂණයකි. මෙය අපට ලැබෙනෙන්ට ඇත්තේ සත්‍යය සොයායාමටත්, අවිද්‍යාව පිළිකෙවූ කිරීමටත් අවුරුදු දෙදහසකට වඩා වැඩි කලක් අප පෙළඹවූ බුදුදහමෙනි. ලංකාවේ අනාගතය ගැන යම් බලාපොරොත්තුවක් තබාගත හැකි බව නිසැකය.

මුලදී අපගේ ලිපිවලට තම වෙබ් සඟරව මගින් කුඩා, දුර්වල ප්‍රතිඋත්තරයන් දුන් නලින් ද සිල්වා මැතිතුමාගෙන් දැන් ඇසෙන්නේ සිහින් කෙඳිරියක් පමණි. ඉතා මෑත කාලයේදී “අපි යක්කුන්ට බය නෑ“, “අපි යක්කු තමයි බොලව්” වැනි නිර්භීත වදන් ලියු එතුමා දැන් අප ලියු ලිපි ගැන නොදන්නා ලෙස සිටී. බොරුවට නිදන්නන් අවදි කල නොහැක. එනමුත් එතුමාගේ නිද්‍රාව ගැන, අපි අවංකවම කම්පාවී සිටිමු. මෙය ඇතැම්විට උපක්‍රමශීලී, සංග්‍රාමික පසුබැස්මක් විය හැකි බවද අපි සිතමු. එතුමා හැරුණු කොට එතුමාගේ අනුගාමිකයන් ලෙස පෙනී සිටින්නන්ට, අවම වශයෙන් තම මතය ඔප්පු කිරීමට වචන කිහිපයක් හෝ ගලපා ලිවිය නොහැකි බව අපහට තේරුම් ගොස් තිබේ. ඔවුනට යම් මාතෘකාවක හරය පවා වටහා ගැනීමට නොහැක. ඔවුන් මහදැනමුත්තාගේ ගෝලයන් වැනිය. ඔවුන්ට කලහැක්කේ තමන්ගේ ගුරුතුමා මඩෙහි එරුණු විට, ඔහු මඩ වලෙන් ගොඩ ගන්නා ක්‍රමය තමන් හිස උඩ තබාගෙන යන පොතෙහි, ගුරුතුමන් විසින් ලියා තිබේදැයි බැලීම පමණි. එම ක්‍රමය පොතෙහි ලියැවී නැතිනම් ගුරුතුමාට මඩෙහි එරී සිටම, ගොඩ එන වැකිය පොතෙහි ලිවිය යුතුවේ. මෙය අපගේ ජන කථාවක සඳහන් වන, ගැඹුරු අර්ථයක් ඇති සිදුවීමකි. වත්මන් ගෝල රොත්තට කල හැකි තවත් දෙයක් තිබේ. එනම් මහදැනමුත්තා මඩෙන් ගොඩ ගන්නා ක්‍රමවේදය නාථ දෙවිඳුගෙන් අසා දැන ගැනීමයි.

මෙම ලිපි අප ලිවීම ආරම්භ කලේ නලින්වාදය විසින් වල්මත්කරන ලද, අපගේ උපන්බිම ගැන ඇතිවූ වේදනාව නිසාය. අප මෙසේ පවසන විට තම මතවාදය මුලු රටෙහි පැතිර ඇතැයි නලින්වාදීන්ට සතුටක් ඇතිවිය හැක. එය මධ්‍යකාලීන යුගයේදී දියුණු නගරයක් ගිනිබත් කල ගෝත්‍රික ආක්‍රමණිකයන් පිරිසක් විසින් විඳින සතුටට සමාන සතුටකි. එවැනි සතුටක් අගය කල නොහැක. මොවුන් ගිනිබත් කල අපේ දේශය ලිපි දහයකින් පිළිසකර කල හැකි යැයි අපි කිසිසේත් නොසිතමු. එහෙත් එය ගොඩනැගීම කොතැනින් හෝ ඇරඹිය යුතුය.

මෙරට ඉදිරියට ගෙනයාමට නලින්වාදය පැරදවිය යුත්තේ ඇයිදැයි, අප අපගේ ලිපිපෙලෙහි දිගින් දිගටම පැහැදිලි කලමු. අප මෙම ලිපි ලියුවේ නලින්වාදයට මතවාදීව පහරදී බිඳහෙලීමට මිස, නලින් ද සිල්වා මහතා හෝ එතුමාගේ අනුගාමිකයන්ට එදිරිව ඇති වෛරයක් නිසා නොවේ. අප දන්නා දෙයහි සීමාවන් ගැන අපට මනා වැටහීමක් ඇත. නොදන්නාදේ නලින් ද සිල්වා මැතිතුමාගෙන් හෝ ඉගෙනගැනීමට අපි සුදානම්ව සිටිමු. අපි අපගේ මතයන්ට පක්ෂව තදින් පෙනී සිටින අතරම, ඒවාට නොඇලී සිටිමු. කරුණු සහිතව පැහැදිලි කළහොත්, අපගේ මතයන් අත්හැරීමටද සුදානම්ව සිටිමු. මේ අපගේ ලිපි දහයේ අවසානයයි. එනමුත් අපි තවදුරටත් ලංකාවේ හොඳින් පය ගසා ජීවත් වන “සිංහල බෞද්ධ“ (නලින් ද සිල්වා මැතිතුමාගේ වචන වලින්ම පවසන්නේනම්) “බටහිර වෙද පඬි නැට්ටන්” වෙමු.

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා

විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර

vikalpa

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….