වැලිකන්දේ කීර්තිය දසත විහිදෙයි

හිමිදිරි උදෑසන ගිණි බටය තුරුලු කර පා මුර සංචාරයේ යෙදෙන  භට පිරිස් පසුකර එක පෙලට පාසල් එන දරුවෝ ය.බසයෙන් බැසගෙන නගරය මැදින් ඇති මාවත් දිගේ ඇවිද පාසල වෙත සේන්දුවන දරුවන් ට හිටි හැටියේ අහස ගුගුරුවමින් ඇසෙන්නට පටන් ගන්නේ යාබද නැගෙන හිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සිට ඉලක්ක වෙත විදින මල්ටි බැරල් රොකට් ලෝංචර් හඬය.තවත් විටෙක පාසලේ වහල උඩින් ගිගුම් දෙමින් ඇදී යන කාලතුවක්කු උණ්ඩය.

වෙඩි හඬ මැදින් අකුරු ඇහිදින්නට පාසලට පියමැන්න දූදරුවන්ට සිදු වූයේ කාලතුවක්කු උණ්ඩයක් කොයි වේලේ පාත් වේදැයි බියෙන් සැකෙන් චකිතයෙන් කාලය ගෙවන්නට ය.උගැන්වීම්වල නිරත ගුරුවර ගුරුවරියන්ට සිදු වූයේ කාලතුවක්කු රොකට් ලෝන්චර් හඬ පරයා යන හඬකින් සිසුන් ඇමතීමට ය.

ගුරුවරුනට බොහෝ කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක තලයකට ගෙන ඒමට වෙර වීරිය දැරීමට සිදු විය.මීට වසර 12කට පමණ ඉහත දී  බිහිසුණු යුධ ගැ‍ටුම් පැවති ප්‍රදේශයක මායිමේ පිහිටි නගරයක් ලෙස සැලකූ පොලොන්නරුව ,වැලිකන්ද නගරයේ පිහිටි ප්‍රධාන පාසලේ  දූදරුවන් ගුරුවරුන් ගත කළේ එවැනි ජීවිතයකි.කිසිවෙකුගේ අවධානය දිනා නොගත් එහෙත් අති දක්ෂයන් රටට දායාද කළ හැකි පාසලක් ලෙස පො/දිඹු/වැලිකන්ද මහා විද්‍යාලය එවකට දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන් පාසලකි.එහෙත් වර්තමානය වන විට එහි නව පිබිදීමක් ඇතිව තිබේ.විශේෂයෙන් ම තාක්ෂණ පීඨය ආරම්භ කිරීමත් සමග වැලිකන්දේ කීර්තිය යලි දසත විහිදෙන්නට පටන් ගෙන තිබේ.

එය නැවත කරලියට එන්නේ ඉකුත් දා වැලිකන්ද මධ්‍ය මහ විද්‍යාලයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල සඳහා තාක්ෂණ විෂය ධාරාව හදාරන සිසුන් එක්ව සංවිධානය කළ නියමුවන් රහිත ගුවන් යානා ප්‍රදර්ශනයත් සමගය.නියමුවන් රහිත ගුවන් යානා 7ක් ද ඩ්‍රෝන යානාවක් ද මෙම ප්‍රදර්ශනයට තබා තිබින.

” මේ ප්‍රදර්ශනය කරමු කියලා කිව්වෙ මගේ යාලුවෝ ටික මුලින් ම.මොකද අපට මේ විෂය ධාරාව යටතේ ව්‍යාපෘතින් කරන්න තියෙනවා.ඒ ව්‍යාපෘතියක් විදිහට තමයි අපි මේක සංවිධානය කළේ.මගේ පංතියේ යාලුවෝ මට කීවේ.නිර්මාල් ඔයා ඔයාගෙ හැකියාවන් ලෝකෙට ගෙනියන්න ඕන.එක විතරක් නෙමෙයි වැලිකන්දේ පාසල්  ඉතිහාසයේ නොමැකෙන සටහනක් තියන්න ඕන.අපි ප්‍රදර්ශනයක් කරමු කියලා.”

එසේ කියන්නේ නියමුවන් රහිත ගුවන්යානා සහ අති විශේෂ ධ්‍රෝන යානාවක් නිර්මාණය කළ වැලිකන්ද මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ තාක්ෂණ විෂය ධාරාව යටතේ අධ්‍යාපනය ලබන ඩබ්.කේ.අංජන නිර්මාල්(18) සිසුවා ය.

වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයේ ප්‍රධාන පාසල වන වැලිකන්ද එකල 1-C වර්ගයේ පාසලකි.යුද්ධයේ බිහිසුණු බව නිතරම සියැසින් දු‍ටුවෝ මෙහි සිටිය හ.ගුරුවරුනුත් සිසුනුත් එක ය.

” මට මතකයි අපි ඉස්කෝලෙ එනකොට ඉස්කොලේ පංතියේ ඉගෙන ගන්න කොට ආටි ගහනවා.මල්ටි බැරල් ගහනවා .යුධ හමුදා කදවුර තියෙන්නේ ඉස්කෝලෙට ආසන්නයේ නෙ.ඒ කාලෙ කොටි කාල තුවක්කුවලින් ගෙහුවා.ආමි එහෙනුත් මෙහෙ ඉදන් කාලතුවක්කු විතරක් නෙමෙයි මල්ටි බැරල් ගැහුවා.මන් ඉපදුනෙ ගම්පහ මිනුවන්ගොඩ.අපේ ගෙදරට ගුවන්තො‍ටුපල ළඟයි.අපේ ආච්චියි අම්මයි දෙන්නම ගුවන්තො‍ටුපලේ සුළු ‍රැකියා කරලා තියෙනවා.

අපේ ගෙදර වහලෙට නැග්ගාම උඩින් යන චොපර් ප්ලේන් අල්ලන්න පුළුවන් වගේ පොඩි කාලෙම මන් හරි ආසයි.එහෙම ගොඩක් පාතින් යන ඒවා බලන්න.මට මතකයි ගුවන්තො‍ටුපලට කොටි ගෙහුවා.එදා අපි ගමේ කන්ද වගේ තියෙන තැන ට ගිහින් බැලුවා.හරිම කලබලයි.අපේ තාත්ත ඒ කාලෙ යුධ හමුදාවේ සඬද්ධ බුද්ධි බලකායෙ වැඩ කලේ.එයාට සිද්ධ වුණා වැලිකන්දට එන්න .ඊට පස්සේ අපි ඔක්කොම වැලිකන්දට ආවා.2007 දී තමයි අපි වැලිකන්දට එන්නේ.මම 2 ශ්‍රණියට වැලිකන්ද මහා විද්‍යාලයට භාර දෙනවා.එදා ඉඳන් අද දක්වාම මේ පාසලට තමයි ඉස්කෝලෙ ආවේ.දරුණු යුද්ධේ කාලේ ඒ කාලෙ.”

නියමුවන් රහිත ගුවන් යානා 7ක් හා ඩ්‍රෝන යානාවක් නිපදවා පාසලේ ප්‍රදර්ශනයක් පැවැත්වු අංජන නිර්මාල් යට ගියාව සිහිපත් කළේ ය.

” මම ඉපදුන දා ඉදලාම ඇහුවෙ දැක්කේ ගුවන් යානා.වැලිකන්දට ආවාට පස්සේත් ගුවන් යානා කෆීර් යානා ,මිග් යානා,තුවාල වෙච්ච සෙබලු ගේන ගුවන් යානා.දැකලා තියෙනවා.කොටින්ටත් තිබුණ නෙ කුරුම්බැට්ටි කියලා ඒවට කීවෙ.එතකොට ආමි එකෙන් රහස් තොරතුරු හොයන්න “කේලමා” කියලා නියමුවන් රහිත ගුවන් යානා යැව්වා නෙ.

ඉතින් මං මේවාට ගොඩක් ආසයි.ඒ ගැන හොයන්න පටන් ගත්තා.තාක්ෂණය මගේ පාසලට ලැබෙන්නත් කලින් මම 7 ශ්‍රේණියේ දී කතාකරන රෝබෝ බෝනික්කෙක් හැදුවා.ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂයයට.ඒක උතුරු මැද පළාත් තරගයෙනුත් ජයග්‍රහණය කළා.නමුත් ජාතික තරගයට ඉදිරිපත් කරන්න බැරි වුණා.උසස් පෙළට තාක්ෂණය විෂය ධාරාව හදාරන්න පටන් ගත්තාට පස්සේ මං ගෙදර දී ටික ටික කරමින් හිටපු දේවල් ටිකක් හොදින් කළා.”අංජන නිර්මාල් සිය තාක්ෂණික ඥානය විකසිත වූ ආකාරය හෙළි කළේ ය.

අංජන නිර්මාල්ගේ පියා විශ්‍රාමික යුධ හමුදා කෝප්‍රල් වරයෙකි.සන්නද්ධ බුද්ධි බලකායට අනුයුක්තව සේවය කළ ඔහු ඩබ්.කේ.බුජසිංහ(45) ය.මව එස්.ඒ.දිලුම් සමන්තිකා(39) ය.පාසල් යන නංගීත් මල්ලිත් ආච්චි අම්මාත් බලා ගන්නේ ද අංජන නිර්මාල් ය.පියා 2013 වසරේ දී විශ්‍රාම ගිය පසු නිවසේ ආර්ථික අගහිගකම් බොහොමයක් ඇති විය.

ආච්චි අම්මා නිතර නිතර අසනීප වෙයි.එබැවින් පවුලේ ජීවන බර සැහැල්ලු කිරීමට පාසල් යන ගමන් අමතර ආදායමක් ඉපයීම සඳහා අංජන නිර්මාල්ට එම ප්‍රදේශයේ ගැරෙජ් එකක ‍රැකියාවක් කිරීමට ද සිදුව තිබේ.ඔහු විසින් නිෂ්පාදනය කරන ලද නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා(මිනි ඇරෝ) 7ක් සහ ඩ්‍රෝන යානාව ට විය පැහැදම් හොයා ගත්තේ ද මෙසේ ය.අඩි 4ක් හෝ අඩි 3ක් පමණ දිග මෙම ගුවන් යානා නිෂ්පාදනයට අමුද්‍රව්‍ය සපයා ගැනීම ද දුෂ්කර කාර්යයක් විය.සැහැල්ලු ගුවන් යානා යුධ හමුදාවේ කේලමාට සමානකම් දක්වන ගුවන්යානාය.

” මන් නිපදවූ ඩ්‍රෝන් එක වෝල්ටීයතාව 11.1ක් සහිත බැටරියකින් 1200 ක කිලෝ වෝල්ටීයතාවක් සහිත මෝටර් එකක් කරකවනවා.එය මිනිත්තුවකට වාර 2440ක් කැරකෙනවා.තත්ත්පරයට 2200ක් වට කැරකෙනවා.මේක පාලනය කරන්නේ ට්‍රාන්ස් මීටරයකින්.දුරස්තපාලකයක් කීවොත් වැරදියි.2.4 ගිගා හර්ට්ස් රේඩියෝ තරංග නිකුත් වෙනවා.මේක කිලෝමීටර් එක හමාරක් විතර යවන්න පුළුවන්.

නමුත් මං එය මීටර් 200 සීමාවටයි හදලා තියෙන්නෙ.මෙකෙන් පුළුවන් වන අපරාද නිරීක්ෂණය කරන්න.නීති විරෝදී කන්සා වගාවන් නිරීක්ෂණය කරන්න.ඒ විතරක් නෙමෙයි තව ගොඩක් වැඩ කරන්න පුළුවන්.මගේ බලාපොරොත්තුව මේක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝගී සත්කාරක සේවා සඳහා යොදා ගත හැකි ආකාරයෙන් දියුණු කරන්න.”

වෙනත් දියුණු රටවල නම් හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සිටින ස්ථාන වෙත වෛද්‍යවරයා නොගොස් තාක්ෂණය ඔස්සේ ප්‍රතිකාර කරන අයුරු ඕන තරම් ඔබ අප දැක ඇත්තෙමු.අසල්වැසි ඉන්දියාවේ ද එම තාක්ෂණය යොදා ගනියි.අංජන නිර්මාල් කියන්නේ ඉතා දුෂ්කර ප්‍රදේශවල ගමන් පහසුකම් නැති රෝහලකට එන්න සැහැන වේලාවක් ගතවන ප්‍රදේශවල හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් හදුනාගෙන එම නිවෙස්වලට මෙම ඩ්‍රෝන යානා යවා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමේ පහසුකම් සැලසිය හැකි බවයි.

” දැන් හදිසියේ දරුවෙක් ප්‍රසූත කරන්න ලේස්තිවෙන අම්මෙක් හෝ හදිසියේ හෘදයාබාධයක් හැදිච්ච කෙනෙක්ට හෝ ක්ෂණිකව ප්‍රතිකාර ලබා දෙන්න වෛද්‍යවරයාට ඒ ස්ථානයට නොයා තාක්ෂණය ඔස්සේ කරන්න පුළුවන්.ඒ තත්ත්වයට මෙය දියුණු කළ හැකියි.ගී පී එස් තාක්ෂණය සම්බන්ධ කරගෙන ඒක කරන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි මාර්ග තදබදය තියෙන තැන් හඳුනාගෙන ක්ෂණිකව ඒවා විසඳා ගන්න මැදිහත් වෙන්න අපරාධ අඩු කරන්න මේ ඩ්‍රෝන එකෙන් පුලුවන්.

අපි මේවා යොදා ගන්න ඕන ඒවට.නමුත් අපේ රටේ ඒ සඳහා නීතිය දැඩියි.එත්තටම 2017 දී විතර මේ නීතිය තරමක් ලිහිල් වුණා.නමුත් සහරාන් ගේ බෝම්බ සිද්ධියෙන් පස්සේ ආයෙ මේ සඳහා නීතිය දැඩි වුණා.නීතිය තියෙන්න ඕන.නියාමනයක් වෙනවා නම් ඒවා පාළනය කරන්න පුළුවන්.අපේ රටේ ගොඩක් වැඩ්ඩො ඉන්නවා ඒ අයට අවස්ථා ලෙබෙන්නෙ නෙති එකත් නීතිය ඩැඩි වීමත් අමුද්‍රව්‍ය සොයා ගන්න බැරි කමත් නිසා තාක්ෂණික දැනුමෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙලා තියෙනවා.” අංජන නිර්මාල් කියන්නේ ය.

” මගේ තව බලාපොරොත්තුවක් තියෙනවා.හෙලිකොප්ටරයකට වඩා වෙනස් තනි කෙනෙකුට ඉගිල්ලෙන්න පුළුවන් යානයක් හදන්න.ඒක කරන්න මට පුළුවන්.අමුද්‍රව්‍ය නැති එකත් ඒවා ගන්න මුදල් නැති එකත් නිසා මේවා පස්සට යන්නේ.මේ ඩ්‍රෝන් එකට  විතරක් රුපියල් 28000ක් වියදම් කළා.ඒකේ රිමෝඩ් එකට රුපියල් 14000ක් වියදම් වුණා.ගුවන් යානාත් එහෙමයි.කාබන්  කේ ටී බෝඩ් ගන්න තැනකුත් නෑ.ඒවා ගණන් වැඩියි.ලංකාවෙම කේ.ටී.බෝඩ් එහෙම ගන්න තියෙන්නෙ කඩවල් දෙකක් තුනක්.මේ වැඩ කරන අයට අත දෙන්න කවුරුවත් නෑ.

අපි ඕනතරම් දකිනවා ගායන තරු නර්තන තරු,හැබැයි මේ වගේ නව නිර්මාණ කරන අයට එහෙම ‍තෝතැන්නක් හදා දෙන්න මාධ්‍යය ඉදිරිපත් වෙන්නෙත් නේ.කොම්පැණි ඉදිරිපත් වෙන්නෙත් නෑ.දැන් තාක්ෂණ පීඨ තියෙන පාසල්වල විතරක් නෙමෙයි අනිත් පාසල්වලත් විවිධ දක්ෂතා තියෙන තාක්ෂණයෙන් ඉහළට යන්න හැකියාව තියෙන වැඩ්ඩො ඉන්නවා.ඒ අය කරලියට ගේන ක්‍රමයක් හැදෙනවා නම් මේ දැනුම බෙදා හදා ගන්න නව නිර්මාණ කරන්න තව තව පෙළභෙනවා.” නිර්මාල් පරිණත පුද්ගලයෙකු මෙන් කියාගෙන කියාගෙන ගියේ ය.ගම්පහ පාසලක සිසුවෙකු රොකට් එකක් හැදුවා අපගේ මතකයේ තිබේ.තඹුත්තේගම පාසල් සිසුවෙකු නමින් තාරකා පවා නම් කර තිබේ.ඒ 2011 වසරේ යොවුන් පරිගණක විද්‍යාඥයා බිහි වුණා අපගේ මතකයට නැගේ.

කෙසේ වෙතත් වැලිකන්ද මද්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ජයන්ත ද සොයිසා මහතා සිය පාසලට කීර්තියක් ගෙන දුන් අංජන නිර්මාල් ගැන කියන්නේ හරි අපූරු කතාවකි.

” ඇත්තටම අපේ පාසල තිස් අවුරුදු යුද්ධයෙන් දරුණු ලෙස පීඩාවට පත් වෙච්ච පාසලක්.එහි ගුරුවරුත් ළමයිනුත් යුද්ධයේ ගොදුරු වෙලා තිබුණා.පාසල හරිහමන් විදිහට සංවර්ධනය වුනේ නෑ.අපි තාක්ෂණ පීඨය ආරම්භ කළාට පස්සේ සහ අපේ පාසල වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශැය ප්‍රධාන පාසල බවට පත් වුණාට පස්සේ අපි ගොඩක් නිර්මාණශීලි දේවල් කළා.දැන් මේ අංජන නිර්මාල්  තාක්ෂණ විෂය ධාරාව හදාරන සිසුන් අතර එක් සිසුවෙක් පමණයි.

තව අය ඉන්නවා.අපේ පාසල තාක්ෂණික විෂය ධාරාවෙන් ඉහළම කීර්තියක් ලබන පාසලක් බවට පත් කිරීම තමයි මමත් මගේ ගුරුවරුන්ගේත් අරමුණ.නිර්මාල් හැබෑම දක්ෂයෙක්.ඒ වගේ දරුවන් අපි ‍රැක ගන්න ඕන.ඒ අයට අත දෙන්න ඕන.නමුත් වැලිකන්ද කියන්නේ ඉතාම දුෂ්කර ජීවිත ගතකරන අහිංසක අසරණ දෙමවුපියන් ඉන්න ප්‍රදේශයක් ඒ අයට මේවා වෙනුවෙන් වියදම් කරන්න මිල මුදල් නෑ.මේ දරුවා මේ ප්‍රදර්ශනය පැවැත්තුවේ එයාගෙම වියදමෙන් ගුවන් යානා 7ක් හදලා ඩ්‍රෝන යානාවක් හදලා.අපේ පාසලේ ඉන්න දරුවන් ට විතරක් නෙමෙයි නෛත් දරුවන්ටත් තමන් කරන්න ඕන මොනාද කියන එක ගැන හිතන්න මාවතක් විවර කරලා දුන්නා මේ දරුවා.ඒකට අපි පහසුකම් සැලසුවා.ගුරුවරු මග පෙන්නුවා.” විදුහල්පතිවරයා වැඩි දුරටත් කීය.

වැලිකන්ද පාසලේ තාක්ෂණ විෂය ධාරාව යටතේ විද්‍යාව සඳහා තාක්ෂණය උගන්වන ප්‍රමිලා අධිකාරි ගුරු මහත්මිය හා ජෛව පද්ධති තාක්ෂණය විෂයය උගන්වන එම්.එල්.එම්.මැදවල මහතා ද අංජන නිර්මාල්ගේ ගමනට ධෛර්යය දෙන ගුරුවරුන් දෙපලකි.අංජන නිර්මාල් ඔවුන්ගැනත් පළමු ශ්‍රේණියේ සිට මේ දක්වා තමන්ට ශිල්ප ලබා දුන් සියලු ගුරුවරුනුත් සිහි කරන්නේ ය.විදුහල්පති කිත්සිරි ජයන්ත ද සොයිසා මහතා මේ සඳහා දැක්වූ විශේෂ අනුග්‍රහය ගැන ද සිහි කලේ ය.

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී යන කුමර’තුඟු පඬි වදන අදට අපේ රටට ගැළපෙන්නේ තාමත් අප පිට රටට ම ආවඩමින් පිටරටින් හැම දේම එන තුරු කට ඇරගෙන ඉන්න ජාතියක් බව මතක් වෙනකොට ය.අන්ජන නිර්මාල් ලා වැනි දක්ෂ තරුණ දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සැකසෙන්නේ නම් ඔවුන් එක්ව අලුත් අලුත් දෑ තනා ලඕකය අතික්‍රමණය කරනු ඇත.ඒ සඳහා බලධාරනගේ අවධානය යොමු වේවායි අපි පතමු.

ඡායාරූප හා සටහන  ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Related posts