ශානි යනු කවුද?

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය  නියම කළේය.

ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා ඇප නොදී මාස දහයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතකර තිබීම ජාත්‍යන්තර වශයෙන් ද අවධානයට ලක්විණි.

නීතිඥ ගෞරි තවරාසා මාර්ගයෙන් ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කොට තීන්දුව දෙමින් අභියාචනාධිකරණ විනිසුරු වරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළහ.

ඒ අනුව ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියම කෙරිණි.

සැකකරුවන් විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු අතර අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශගත වීම ද තහනම් කෙරිණි.

සැකකරුවන් පදිංචිව සිටින ලිපින වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවට ද ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේය.

ඇප නියෝගය ප්‍රකාශයට පත්කළ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන මාස 10 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියද ඔවුන් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට එල්ල කරන චෝදනා සනාථ කළ හැකි ප්‍රමාණවත් කරුණු මෙම ප්‍රතිශෝධන නඩු විභාගයේ දී ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වූ බව සඳහන් කළේය.

ශානි අබේසේකර හෘද රෝග තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු වන අතර ඔහු කොවිඩ් ආසාදිත වූ බව ද පෙත්සම් විභාගයේදී අනාවරණය විණි.

හෘද රෝග තත්ත්වයෙන් පෙළෙන ඔහුට හෘද සැත්කමක් සිදුකළ යුතු බවට වෛද්‍යවරු විසින් දැනටමත් උපදෙස් දෙනු ලැබ ඇතැයි පෙන්වා දුන් විනිසුරු මඩුල්ල ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගෙන ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට තීන්දු කළ බවද සඳහන් කළේය.

මෙම නඩු තීන්දුවේ පිටපතක් ගම්පහ මහාධිකරණය වෙත යොමු කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියෝග කරනු ලැබිණි.

දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පැවති නඩුවකදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කර එම නඩුවට නීති විරෝධී ලෙස ගිනි අවි හඳුන්වා දුන් බවට චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ශානි අබේසේකර හා සුගත් මෙන්ඩිස් අත් අඩංගුවට ගන්නා ලදුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ, බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වූ පොලිස් පරීක්ෂක ඉරෝෂ් විල්වලආරච්චි විසින් කරන ලද පැමිණිල්ලක් මත පදනම්වය.

ඉන් අනතුරුව මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටියදී කෝවිඩ්-19 ආසාදිත වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ජාතික මානව හිමිකම් කොමිසම විසින් දෙවතාවක්ම බන්ධනාගාර කොමසාරිස්වරයාට කරන ලද සිහි කැඳවීම්වලින් අනතුරුව IDH රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පෙත්සම්කරුවන් ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව ඔවුන් ගම්පහ මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ද එම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් නීතිඥ ගෞරි තවරාසා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණ.
කවුද මේ ශානි අබේසේකර ?

ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීන් ලෙස ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා හැඳින්විය හැකිය. රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණයෙනි.

එම සිදුවීම් වලට අමතරව රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය හා මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අභිරහස් හෙළිකරගත් විමර්ශන කටයුතුවල නියැළුණු නිලධාරියෙක් ලෙස ද ශානි අබේසේකර හැඳින්විය හැකිය.

ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර නව රජය පත්වීමත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත් කළේය.

ස්ථාන මාරුව ක්‍රියාත්මක වන අවස්ථාව වනවිට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් ද ඔහුගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබූ අතර, ඒ පිළිබඳව සොයා බැලූ විශේෂ පාර්ලිමේන්තු කමිටුව හා ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ ද ඔහු සාක්ෂි දුන්නේය.

පසුගිය යහපාලන රජය පත්වීමත් සමග මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ 2005-2015 පාලන කාලය තුළ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්හවූ අතර ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා එම විමර්ශන බොහොමයක් භාරව කටයුතු කළ අය අතර වේ.

ශානි අබේසේකර සමඟ විමර්ශන වල එක්ව කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා නොවැම්බර් 24 දා ඇතැම් විමර්ශන ලිපිගොනුද රැගෙන විදේශ ගතවූ බවට වාර්තා විය. නිශාන්ත සිල්වා අවසරයකින් තොරව රටින් පිටව යාමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් 704 දෙනෙකුට පොලීසියේ අවසරයකින් තොරව රටින් බැහැර විය නොහැකි පරිදි ඔවුන්ගේ නාම ලේඛන ගුවන් තොටුපළ ආගමන විගමන කාර්යාලයට ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබිණ.

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අවසරයකින් තොරව විදේශගතවීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ විය.

රාජපක්ෂවරු සහ ඔවුන්ගේ සමීපතයන් අත්අඩංගුවට ගැනීමට දේශපාලන බලපෑම් මත කටයුතු කළ බවට ඔවුන්ට ඒ අවස්ථාවේදී චෝදනා එල්ලවිණි. එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ ඔවුහු, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ පමණක් තමන් යෙදී ඇති බව අවස්ථා ගණනාවකදී සඳහන් කළහ.

උපුටා ගැනීම –  bbc

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….