වසංගත රෝග ඇති නිවෙස් ඉදිරියට ආ දේව දූතයා

dewaduathaya

දැන් අපි කොවිඩ් වසංගතයේ අවදානම්ම කාල පරිච්චේදයකට පැමිණ සිටිමු. අතීතයේ වෛරස මඟින් පැතිර යන පැපොල, කම්මුල්ගාය සහ සරම්ප ආදී වසංගත රෝග ‘දෙවියන් ගේ ලෙඩ’ යනුවෙන් හඳුන්වන ලදී.

ඊට හේතුව ඒවා දෙවිවරුන් ගේ කෝපය මත සමාජයට පැමිණ ව්‍යාප්ත වන රෝග නිසා මෙන්ම දෙවියන් උදෙසා කරනු ලබන කන්නලව්, යාදිනි සහ පුද පිළිවෙත් මඟින් පමණක් ඒවා සුවපත් වන බවට අපගේ පැරණි ජන සමාජය පුරා ප්‍රබල විශ්වාසයක් තිබූ නිසා ය. එහෙත්, එලෙස මිනිසුන් රෝගී කරවන දෙවිවරුන් කවුරුන් ද යන්න පිළිබඳ ඒකමතික තීරණයක් පැරණි ජන සමාජයේ තුළ නොතිබිණ.

මෙම සියළු වසංගත රෝග සුවපත් කිරීමේ සර්වාධිකාරී බලය පත්තිනි දේවිය සතුව ඇතැයි විශ්වාස කළ පැරණි ගැමියන් එලෙස වසංගත රෝග පතුරුවන දෙවිවරුන් ලෙස තම ප්‍රාදේශීය දෙවිවරුන් හැඳින් වූ අවස්ථා ද විය.

නමුදු විෂ්ණු, නාථ, පත්තිනි, සමන් ආදී ශාන්තිවාදී ගුණෝපේත මතු බුදුවන බෝසත් දෙවිවරුන් කෙසේවත් එලෙස මිනිසුන්ට විපත් නොපමුණුවන බව ඒ සම්බන්ධ පොදු අදහස ය.

ඇතැම් ප්‍රදේශවල දෙවියන් ගේ ලෙඩ නමින් හැඳින්වෙන මෙම වසංගත රෝග ඛාන්ඩය තවත් ප්‍රදේශවල හැඳින්වෙනුයේ ‘අම්මා වරුන් ගේ ලෙඩ’ යනුවෙනි. මෙම රෝග වැළඳීම, පැතිරීම සහ පත්තිනි දේවිය අතර යම් සබැඳියාවක් ඇතැයි සමහරුන් සිතනුයේ මෙම අම්මාවරුන් ගේ යන වදන මුල් කොට ගනිමිනි.

එහෙත්, මෙම හැඳින්වීමේ දී අම්මාවරුන් යන්න බහු වචනයෙන්ම දක්වා තිබීම පිළිබඳව ද අප විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ය.

මෙහි අම්මාවරුන් යනුවෙන් සඳහන් වනුයේ මෙරට වැදි ජනතාවගේ ජන ආගමින් දේශීය ප්‍රධාන සංස්කෘතික ධාරාවට පැමිණි කිරි අම්මා දෙවිවරුන් බව පෙනෙයි. විවිධ මූලාශ්‍ර වලින් මෙම කිරි අම්මලාගේ සංඛ්‍යාව විවිධ අයුරින් ප්‍රකාශ වන බැවින් ඒ සම්බන්ධ නිශ්චයකට පැමිණීම අපහසු ය. නමුදු එම කිරි අම්මලා අතරේ එන කුකුළාපොළ කිරි අම්මා යනු කුවේණිය බව සෙලින්මාන් යුවල විසින් 1911 වසරේ නිකුත් කළ ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සම්බන්ධ පර්යේෂණ ග්‍රන්ථයෙන් ද තහවුරු කොට ඇත.

මෙහි දී විජය කුමරු බොරු දිව්රීමක් මුල් කොට තමන්ට සිදු කළ කුරිරු අසාධාරණය මත කුවේණිය ඇති කළ බව පැවසෙන දිවි දෝෂය සහ ඒ මඟින් පැතිර ගිය බව පැවසෙන වසූරිය වසංගතය පිළිබඳ පුවත ද අප සැලකිල්ලට ගත යුතුය. එය මුල් කොට අම්මාවරුන්ගේ රෝග සුව වීමෙන් පසු කිරි අම්මාවරුන් විෂයෙහි දුන් දානයට කෝට්ටේ යුගයේදී පිවිසි පත්තිනි දේවිය මහනුවර යුගයේ සිට චාරිත්‍රය තුළ ප්‍රධානත්වයට පත්ව හිඳින්නී ය.

දෙවියන් ගේ හෙවත් අම්මාවරුන්ගේ ලෙඩ සඳහා වෙදකම් නැතැයි යන්න අතීතයේ සිට මෙරට මුල් බැසගත් මතයකි.එනිසා යමකුගේ රෝග ලක්ෂණ අනුව දෙවියන් ගේ හෙවත් අම්මාවරුන්ගේ ලෙඩ වශයෙන් අනාවරණය වූ සැනින් ගමේ වෙද මහතා එම රෝගියාට ප්‍රතිකාර කිරීමෙන් ඉවත් විය.

දෙවියන් ගේ හෙවත් අම්මාවරුන්ගේ ලෙඩ[වෛරස රෝග] වැළඳීමෙන් පසු ප්‍රතිකාර නොමැති වීම සහ එම රෝගීන් බලන්නට යාමෙන් ගමේ වෙද මහතා ද රෝග වාහකයකු වීම ඊට හේතුව ය. එබැවින්, එම රෝග මුල් කොට නිරෝධායන ක්‍රියාවලියක් සිදු වූ අතර එය හැඳින්වෙනුයේ ‘කාවල් කිරීම’ යනුවෙනි. කාවල් යනු “නිරෝධාන” යන සංස්කෘත වදනේ ද්‍රවිඩ ස්වරූපයයි.

වැලැක්වීම, අවහිර කිරීම, බාධා කිරීම යන අරුත දෙන මෙම කාවල් යන වදන මුරකිරීම හැඟවීම පිණිස පොළොන්නරු යුගයේදී ලියැවුණු ‘බුත්සරණ කෘතියේ ද දක්නට ලැබේ. අද පවා ආරක්ෂා කිරීම, රැකවල් ලෑම හඳුන්වනු පිණිස සිංහලයෙහි මුරකාවල් යන්න තනි වදනක් සේ යෙදෙනු අපි කොතෙකුත් දැක ඇත්තෙමු.

දෙවියන් ගේ හෙවත් අම්මාවරුන්ගේ ලෙඩ වෙනුවෙන්ම කැප වී ක්‍රියා කළ සුවිශේෂ චරිතයක් ද අතීත ජන සමාජයේ විසූ බව පෙනෙයි. දෙවියන් ගේ හෝ අම්මාවරුන්ගේ ලෙඩ සඳහා ගමේ වෙද මහතා ගෙන් පිහිටක් ලබා ගත නොහැකි පසුබිමක ඒ සඳහා ක්‍රියාත්මක වූ මෙම චරිතය විවිධ ප්‍රදේශවල වෙද ගුරුන්නාන්සේ, පත්තිනි රාළ, ගම්බාර රාළ, දෙයියා කිරි අත්තා ආදී විවිධ නම් වලින් හඳුන්වන ලදී. නුවර කලාවියේ දී ඔහු හඳුන්වන ලද්දේ අනුමැති රාළ හෙවත් ඇනමිති රාළ නමිනි.

දෙවියන් ගෙන් අවසර ලබා ගත යුතු යැයි ගැමියන් විශ්වාස කළ කිසියම් සමාජමය, පවුල්මය හෝ පුද්ගල බද්ධ කටයුත්තක දී ඒ සඳහා දිව්‍යමය අවසරය ගෙන දුන් මෙම අනුමැති රාළ අයියනායක දෙවියන් උදෙසා සිදු කළ මුට්ටි මංගල්‍යය නම් යාතු කර්මයේ දී ඉටු කරන ලද භූමිකාව පිළිබඳව දහ අට වන සියවසේ අගභාගයේ දී නුවර කලාවියේ දිසාපති පදවිය හෙබවූ ආර්. ඩබ්ලියු. අයිවර්ස් විසින් වී ගොවිතැන හා සබැඳි චාරිත්‍ර සහ සැමරුම් යනුවෙන් 1880 වසරේ එළි දක්වන ලද ලේඛනයක ද සඳහන් කොට ඇත.

‘ගමේ කාට හරි දෙවියන් ගේ ලෙඩක් හැදුණම පිහිටට එන දෙයියා කිරි අත්තා කියලා කෙනෙක් ගැන ඉස්සර අපේ අම්මලා කතා වෙනවා අපි අහලා තියනවා. ගමේ කාට හරි දෙවියන් ගේ ලෙඩක් හැදුණම ඒ දෙයියා කිරි අත්තාව ඒ ගෙදරට ගෙන්වනවා. කිරි අත්තා සළඹත් අරගෙන ඒ ගෙදරට ඇවිත් දෙයියන්ට කන්නලව් කරලා දෙයියෝ මායම් වෙලා කියවන්න පටන් ගන්නවා’.

වත්මන් සමාජයෙන් සැඟව ගත් මෙම අපූරු චරිතය සම්බන්ධයෙන් මීට විසි වසරකට පමණ පෙර එම විස්තරය මා හමුවේ පවසන ලද්දේ ඇහැටුවැව, දිවුල්ගනේ පාරම්පරික ගැමියකු වන එච්. එම්. ගුණතිලක මහතා විසිනි.

අදාල රෝගියා හිඳින නිවසේ ගෙමිදුලට පැමිණ අසල් වැසියන්ගේ අවධානයට ලක් වෙමින් එම දෙයියා කිරි අත්තා නමැති චරිතය විසින් එම නිවසේ වැසියන්ට දෙවියන් ගේ රෝගය වැළඳීමට හේතුව පවා ආරූඪයෙන් ම පවසන අතර බොහෝ විට එය පාපී ක්‍රියාවක් ද වීමට පුළුවන.එසේ එම පාපී ක්‍රියාව ප්‍රසිද්ධ කිරීම දෙවියන්ගෙන් සමාව අයැදීමක් සේම ඉන් රෝග සමනයට සහ රෝගය පැතිර නොයාමට ගුප්ත පිටි වහලක් ලැබුණු බවට විශ්වාසයක් පැරණි ගැමි සමාජයේ විය.

මෙය එම සමාජ වල නීති සහ සදාචාර විරෝධී ක්‍රියා අඩු වීමට සෘජු හේතුවක් වන්නට ඇත. ඉන්පසුව දෙයියා කිරි අත්තා විසින් නිවසේ හතර කොණේ තහංචි ගල් වළලා ගෙවත්තට පිවිසෙන කඩුල්ල හරහා වේළුව නමින් හැඳින්වෙන පිදුරු කඹයක් ඇද කඩුල්ලේ කොහොඹ අත්තක් එල්ලා එම නිවස කාවල් කරන බව ද මට දැනගත හැකි විය.

මෙම වේළුව නුවර කලාවියේ දී ‘වෙනිය’ යනුවෙන් හඳුන්වන බව ද මට පසුව දැනගත හැකි විණි. ඉන් පසුව එම රෝගියා හමුවට ගොස් ඔහු වෙනුවෙන් දේව කන්නලව්වක් කර රෝගය සුවවීමෙන් පසු ප්‍රදේශයේ විහාරස්ථානයට කිරිබත් ජූජාවක් කොට පත්තිනි දේවියට පින් පමුණුවා එම බාරය නිදහස් කිරීමට අණ දීම දෙවියා කිරි අත්තා ගේ රාජකාරියක් වූ බව කියනු ලැබේ.

විවිධ ප්‍රදේශවල විවිධ නම් වලින් හැඳින්වුණ ද එම වසංගත රෝගයේ ස්වභාවය අනුව දින දා හතර, විසි එක ආදී වශයෙන් වෙන් කොට දක්වන එම සුවිශේෂී චරිතය එතැන් සිට එම නිවස හා එම රෝගියා සම්බන්ධ නිල භාරකාරත්වය දරන බව ද ඒ සම්බන්ධයෙන් සෙසු ප්‍රදේශ ඇසුරින් කරනු ලබන විමසුම් මඟින් ද තහවුරු කරගැනීමට මට හැකි විය.

මෙහි දී එම රෝගියා සම්බන්ධයෙන් සහ පිටස්තරයන් සම්බන්ධයෙන් එම නිවැසියන් පිළිපැදිය යුතු වත් පිළිවෙත් සේම එම රෝගියා සහ නිවැසියන් විසින් නොකළ යුතු, ඒ ගෙදරට ගෙන්වා නොගත යුතු ආහාර ආදී සෑම දෙයක් සම්බන්ධයෙන්ම ම අනුමැති රාළ හෝ වෙනයම් නමකින් හඳුන්වනු ලබන එම තනතුර දරන පුද්ගලයා විසින් උපදෙස් දීම ද නොවැරදීම සිදුවන්නකි.

වැලකුම් හෙවත් ‘වාරිත්‍ර’ වශයෙන් හඳුන්වනු ලබන මෙම තහංචි (Taboo) යනු නීති පද්ධතිය සම්මත නොවූ ප්‍රාථමික සමාජයන් හි පවා යහපැවැත්මට බෙහෙවින් ඉවහල් වී ඇති මානව ධර්ම සමූහයකි. ඒ ඇතැම් තහංචි දියුණු සමාජයන් තුළ පවත්නා සම්මත නීති පද්ධතීන්ටත් වඩා ප්‍රබල ලෙස ක්‍රියාත්මක වී ඇති බවත් මෙහි දී අනාවරණය කර ගැනීමට මට හැකි විය.

දෙවියන් ගේ හෝ අම්මාවරුන් ගේ ලෙඩ යනුවෙන් හඳුන්වා ඇති මෙම වසංගත රෝග සම්බන්ධයෙන් මෙම සුවිශේෂ චරිතය විසින් දක්වනු ලබන දායකත්වය පරිසමාප්තියට පත් වනුයේ එම රෝගය වැළඳී දින දා හතරකට පසුව එම රෝගියා නෑවීමෙන් සහ දින විසි එකකට පසුව සිදු කෙරෙන එම තහංචි කැපීමේ හෙවත් තහංචි ගල් ඉවත් කිරීමේ ක්‍රියාවලියෙනි. ඉන් පසු එම රෝගය වෙනුවෙන් වූ බාරය ඔප්පු කිරීමට නිවැසියන්ට අවකාශ හිමි වේ.

නමුදු ඒ කාලය තුළ එසේ පනවන ලද තහංචි සිඳලීම ඒකාන්ත වශයෙන්ම දේව කෝපය තමන් වෙත යොමු වීමට හේතුවන්නක් නිසා එම රෝගියා හෝ එම නිවැසියෝ කිසිවිටෙකත් එසේ නොකරති. එවිට එසේ තහංචි සිඳලන

හෙවත් නිරෝධායන නීති කඩන රෝගීන් හා එම පවුල්වල සෙසු සමාජිකයන් පොදු සමාජයෙන් කොන් වීම ද නිරායාසයෙන් සිදු වන්නකි. ඒ අනුව එවැනි රෝගියකු සිටින පවුලක සාමාජිකයකු එම තහංචි කපන තුරු වැවක නානතොටුපළකින් දිය නෑම පවා අත්හැර ඒ සඳහා විකල්ප ක්‍රම අනුගමනය කළ බව පෙනේ.

එහිදී එම කාවල් කිරීම නම් වන නිරෝධායන ක්‍රියාවලිය භාරව කටයුතු කරන අනුමැති රාළ හෝ දෙයියා කිරි අත්තා තුළින් දෙවියන් මායම් වීම තුළින් ගොඩනඟා ගත් ද්විතීයික පෞරුෂය ගැමියන් තුළ ඔහු සම්බන්ධ භය, පක්ෂපාතීත්වය මුසු වූ යටහත් බවක් ඇති කරන්නට සමත් වූ බව නිසැක ය.

තිලක් සේනාසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….