රජකාරි බාර ගැනීමේ උත්සවයක් නිසා සිවිල් ආරක්ෂක මූලස්ථානය අවදානමේ

sivil

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක රජකාරි බාර ගැනීමේ උත්සවයක් පැවත්වීම නිසා කැබිතිගොල්ලෑව සිවිල් ආරක්ෂක බලකා මූලස්ථාන කදවුරේ නිලධාරින් 45 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර කදවුර තාවකාලිකව වසාදැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බව කදවුරු ආරංචි මාර්ග සදහන් කළේය.

යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු පසුගිය (30දා) කදවුරේ ප්‍රධානියා වශයෙන් පත්කර එවා ඇති අතර ඔහු නොසැලකිලිමත්ව කටයුතු කිරීම නිසා කදවුර අවධානම් තත්වයකට පත්වි ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළේය.

නිලධාරියා කදවුරේ වැඩ බාර ගැනිමෙන් පසුව මහාසංඝරත්නය කැදවා පිරිත් සජ්ජායනාවක් පවත්වා ඇති අතර අනතුරුව සියළුම නිලයන්වල නිලධාරින්ට අතට අතදි ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබේ.

ඊට පසු දිනයේ උසස් නිලධාරියා විසින් තමන්ට කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව හා උණ ගතිය ඇති බව සෙසු නිලධාරින්ට පවසා තිබෙන අතර පසුව ඔහු කැබිතිගොල්ලෑව මූලික රෝහලෙන් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයක් සිදුකර තිබේ.

එම පරික්ෂාවන්ට අනුව ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාධනයවි ඇති බව තහවුරුවීම නිසා 1990 ගිලන් රථයකින් උසස් නිලධාරියා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබේ.

කදවුරු ප්‍රධානියාට කොවිඩ් වෛරසය වැලදීම නිසා කදවුරේ එදින සේවයේ නිරතවූ සිවිල් ආරක්ෂක නිලධාරින් නියාමකවරුන් උප නියාමකවරුන් කාන්තා නිලධාරිනියන් ඇතුළු 45 දෙනෙකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනට ලක්කර තිබේ.

නිලධාරින් 10 දෙදෙනෙකු සිය වයසක දෙමාපියන් නිවෙස් වල සිටින නිසා නිවෙස් වලටවි ස්වයං නිරෝධායනය වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් කදවුරු තුළම ස්වයං නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

සෙසු නිලධාරින් හා නිලධාරිනියන් නිවෙස් වල ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනා අතර කදවුරේ ආරක්ෂක කටයුතු හැර සෙසු කටයුතු අඩාලවි ඇති බව නිලධාරින් අනාවරණය කළහ.

අනවශ්‍ය මොහොතක සිදුකළ අනවශ්‍ය වැඩ බාරගැනීමේ උත්සවය නිසා සිය සමීපතමයන්ට ඉන්වන්දි ගෙවීමට සිදුවු බව නිරෝධායනය වන නිලධාරින් පිරිසක් අනාවරණය කළහ.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Related posts