ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව

thilak-pream kathawa

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන තිලක් සේනාසිංහ මහතාගේ ‘ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව’ යනු මෑතක ප්‍රකාශයට පත් නවකථාවකි. තිලක් සේනාසිංහ මහතා සිය නවකථාව, රජරට පෙදෙසේ දී ඔහුට හමුවූ පුද්ගලයකු ගේ චරිතාදර්ශයක් මත එක්තරා දුරකට දිග හරියි. මේ වෘත්තාන්තය හුදෙක් ඒ කියූ තැනැත්තාගේ පෞද්ගලික චරිත කථාවම නොවේ.

මූලිකව කර්තෘ වරයා පාඨක සිත් නවකථාවේ ආරම්භයේදීම ආකර්ශනය කර ගන්නේ විශ්‍රාමික රජයේ සේවකයකු වූ ජිනප්‍රිය මහතා සහ ඔහුට කෑම බීම සපයන පොඩ්ඩි යන සුරතල් නාමයෙන් අන්වර්ථ වූ කාන්තාව අතර මෝදු වන ආකස්මික ලෙන්ගතුකම නාට්‍යමය ලෙස කථාවේ නිරූපණය කිරීමෙනි.

කතුවර තිලක් සේනාසිංහ තම ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව මඟින් වැඩිහිටි තලතුනා මිනිසකුත් තවමත් තරුණ වයස් පරාසයක සිටින කාන්තාවකුත් අතර හැඟුම්බර හා රෝමාන්තික ප්‍රේම කථාවක් ගොඩනැඟීමට උත්සුක නොවේ.

ඔහුගේ වෘත්තාන්තය එක් අංශයකින් ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයිගේ ‘god of small things’ නවකථාව කියවීමේදී පාඨකයාට දැනෙන භාවාත්මක හැඟීමට සමාන හැඟීමක් අප තුළ දනවයි. ‘god of small things’ නවකතාව පිළිබඳව හාපර්ස් ඇන්ඩ් ක්වීන් යන විචාරකයෝ මෙසේ කීහ. “මෙය බුද්ධිය ස්පර්ශ කරගෙන හදවතට දැනෙන සේ ලියූ නව කථාවකි” ඒ කියමන තිලක් සේනාසිංහගේ මෙම නවකතාවට ද ගැළපීම උචිත බව මම යෝජනා කරමි.

මෙහි එන ජිනප්‍රිය මහතාගේ බිරිඳ හා දරුවෝ ඔවුන්ගේ උන්නතිකාමී ජීවිත අරමුණු සාධනය කරගනු පිණිස විදෙස් ගත වී සිටිති. ජීවිතයේ බරපතල රාජකාරි සමයකින් පසුව ජිනප්‍රිය තම දිවියේ සැඳෑ භාගය ගත කරනුයේ මිතුරෙකු මාර්ගයෙන් ලබාගත් ගම්බද නවාතැනක ය. ඔහුට කෑම බීම සපයන පොඩ්ඩි ඈට නොසරිලන දෙවැනි විවාහයක පැටලී සිටින්නියකි.

ඇය ජිනප්‍රිය මහතා සමඟ තම පෞද්ගලික ජීවිතය හා හැඟීම් නොපැකිලිව විවෘත කරන්නේ ඔහු නිසා තමාට කිසිදු මානුෂික හානියක් සිදු නොවන බව ඉවෙන් මෙන් දැනගැනීමෙන් පසුව ය. එමතුද නොව ජිනප්‍රිය නිසා පොඩ්ඩි මින් පෙර ඇය නොවිඳි ශාරීරික තෘප්තියක් ද ආධ්‍යාත්මික ශාන්තියක් ද ලබා ගනී. ඒ වෙනුවට ඇය මෙවන් තලතුනා මිනිසෙකු පිළිබඳව පරිත්‍යාගශීලී නිවී සැනහුණු මානසික තත්ත්වයක් ද ඇති කර ගනී.

ගැමි දිවිය ගත කරන ජනයා පමණට වඩා කුලෑටි හා ආචාරවාදී නොවෙති. ආචාර්ය නන්දදේව විජේසේකරයන් තම ‘ලංකා ජනතාව’ කෘතියේ දක්වන ලෙස ගැමි ගැහැනු නාන තොටවල සිත්සේ රිසිසේ සිය ශරීර ප්‍රදර්ශනය කරති.

ඒ නාන තොටේම තරමක් ඈත ස්නානය කරන පිරිමින්ට ද ඔවුන්ගේ අඟ පසඟ පෙනෙයි. එනිසා ශෘංගාරය හා ගැහැනිය යනු ගැමියන්ට කරඬුවක ලූ ධාතුවක් සේ ශුද්ධ වස්තුවක් නොවිණි.

මෙය අප මධ්‍යම පාන්තික සමාජය තුළ ව්‍යාප්ත වූ වික්ටෝරියානු සුචරිතවාදයෙන් තරමක් පරිබාහිර සංසිද්ධියක් බැවින් අප එදෙස බැලිය යුත්තේ නිදහස් කෝණයකිනි. මේ කථාවේ එන පොඩ්ඩි ද තම ශෘංගාර හැඟීම් පවා එළිපිට ජිනප්‍රිය සමඟ කථා කිරීමේ පදනම ඒ අනුව වටහාගත යුතු යැයි මම සිතමි.

කතාව අවසානයේ ජිනප්‍රියගේ බිරිඳ හා දරුවන් නැවත ලංකාවට එන්නේ ජිනප්‍රියගේ අසනීප තත්ත්වය සැලවීමෙනි. පොඩ්ඩි විසින් ජිනප්‍රියගේ බිරිඳ පිළිගනු ලබන්නේ අතිමාත්‍ර ගරුත්වයකින් වීම විශේෂිත ය. අවසානයේ ජිනප්‍රියගේ සුවදුක් බැලීමටත් ඔහුට කෑම බීම සැපයීමටත් දිගටම තමන්ට ලැබෙන අවස්ථාව ඈ සලකන්නේ මුහුකුරා ගියාවූත්, නිවී පහන් වූත් මනුෂ්‍යමය වරප්‍රසාදයක් ලෙසිනි.

මේ වෘත්තාන්තය ජීවිතය හා ආදරය පිළිබඳ ඉතා පරිණත වූත් ආධ්‍යාත්මික වූත් කඩ ඉමකට පාඨකයා කැඳවාගෙන යන බව මගේ හැඟීමයි.

මහාචාර්ය සාලිය කුලරත්න

සිංහල අධ්‍යයන අංශය පේරාදෙණිය විශ්ව විද්‍යාලය

 

Related posts