දාහේ නෝට්ටු තෑගි දෙන සල්ලිකාර භූතයා!

1000

රාත්‍රී කාලයේ රහසින් නිවසකට ඇතූළු වී එම නිවසේ යම් යම් ස්ථානවල රුපියල් දහසේ නෝට්ටු තබා යන ‘ත්‍යාගශීලී භූතයෙකු’ පිළිබඳව මට අසන්නට ලැබුණේ 2017 වසරේදී ය. ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඬුල්ල ප්‍රදේශයේ නිවසකිනි. මාසයකට වරක් හෝ දෙකක් නිවැසියන්ට භූතයාගෙන් මෙලෙස රුපියල් දහසේ නෝට්ටු ලැබුණත් එය භූත ක්‍රියාවක් නිසා පවුලේ සැවොම ඒ සම්බන්ධයෙන් යම්කිසි බියකින් සහ තැතිගැන්මකින් පසුවන බව දුරකතනයෙන් මා ඇමතූ එම නිවසේ ගෘහනිය කියා සිටියාය.

ඒ අනුව රුපියල් දහසේ නෝට්ටු මවන එම භූත ක්‍රියාවේ ඇත්ත ඇති සැටියෙන් විමසා බලනු පිණිස මම 2017 වසරේ දෙසැම්බර් 10 වන දින පැල්මඬුල්ලේ පිහිටි එම නිවසට ගියෙමි.

රත්නපුරය හරහා වැටීගත් කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඬුල්ල නගරයට මඳක් ඔබ්බෙන් කිලෝමීටරයක පමණ දුරින් පිහිටි එම නිවස වගුරු බිම්කඩකට මැදිවූවකි. අතහැර දමන ලද මැණික් පතල් කිහිපයක් හාත්පස දැකිය හැකි වූ අතර පරිසරයේ ජලාශ්‍රිත බව කොතෙක්ද කිවහොත් එම ගෙමිදුලේ පවා මීවන ශාක සරුවට වැඩී තිබිණි. පනස් පස් වියැති සුළු ව්‍යාපාරිකයෙකු එම නිවසේ ගෘහමූලිකයා වූ අතර පනස් වියැති ඔහුගේ බිරිඳ සහ වයස අවුරුදු විස්ස, දහසය සහ දහතුන යන වයස්වල දියණියෝම තිදෙනෙක් ඒ පවුලේ සෙසු සාමාජිකයෝ වූහ. ඊට අමතරව එම කාන්තාවගේ හැත්තෑ අට හැවිරිදි මව ද ඔවුන් සමීපයේම නතර වී සිටියා ය.

කුඩා ප්‍රමාණයේ කාමර තුනකින් යුතු එම නිවසේ එක් කාමරයක් මාපිය යුවළ සඳහා වෙන්ව තිබූ අතර, ඊළඟ කාමරයේ සිටියේ දියණියන් තිදෙනා ය. ඉතිරිව තිබූ සෙසු කාමරයේ පදිංචිව සිටියේ එම කාන්තාවගේ වියපත් මව ය. ගෙහිමියන්ගේ අවසරය මත ඊට ද පිවිසි මට එක්වරම හැඟී ගියේ එය සාමාන්‍ය නිදන කාමරයකට වඩා ආගමික ස්ථානයකට, විශේෂයෙන් ආරූඪයෙන් ශාස්ත්‍ර කියන දේවාලයකට සමාන බවකි.

එහි බිත්ති මුල්ලකට වන්නට සවිකොට තිබූ රාක්කයක බුද්ධ ප්‍රතිමාවක් සේම විෂ්ණු, කතරගම, සමන්, පත්තිනි යන දේව රූප දක්නට ලැබුණු අතර එම රාක්කය නිල් සහ රතු තිරවලින් වසා තිබිණි. එම කාමරයට පිවිසෙත්ම තියුණු ලෙස ආඝ්‍රාණය වූ හඳුන්කූරු සහ සාම්බ්‍රානි සුවඳ මගින් මට වැටහී ගියේ එම වියපත් කාන්තාව දැඩි ආගමික ජීවිතයකට ඇබ්බැහි වී සිටින බවකි. සාමාන්‍යයෙන් මෙබඳු භූත සිද්ධීන් සමඟ ආගමික විශ්වාසයන් ඍජුව බද්ධ වූ අවස්ථා මීට පෙරද මා හට නිරීක්ෂණය වී තිබේ. ඊට හේතුව ලොව බොහෝ ආගමික සංකල්පවලින් ඉගැන්වෙන අමනුෂ්‍ය සංකල්ප එදිනෙදා ජීවිතයේදී අපට මුහුණදීමට සිදුවන සාමාන්‍ය සංසිද්ධීන් ලෙස අප සමාජයේ වැඩිදෙනෙකු සිතා සිටීම ය.

කලින් මැණික් ගැරීම ඇතුළු විවිධ රැකියාවන්හි නියැළුණු එම ගෙහිමියා පසුව කරන ලද සුළු ව්‍යාපාරවලින් සැලකිය යුතු ආදායමක් නොලැබිණි. එනිසා එම දියණිවරුන්ගේ පන්ති ගාස්තු ඇතුළු ඇතැම් එදිනෙදා වියහියදම් පිරිමැසෙන ලද්දේ එම වැඩිහිටි කාන්තාවගෙන් ලැබුණු මුදලිනි. පැල්මඬුල්ල ආසන්නයේ තිබූ තම මහගෙදර සහ ඉඩම මීට කලකට පෙර විකිණූ වැඩිහිටි කාන්තාව එම මුදල් වැඩි පොලියක් සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවක් ලෙස ආයෝජනය කොට තිබූ අතර, එයින් ලැබුණු මාසික පොලිය ඇගේ ආදායම් මාර්ගය වී තිබුණි. එම පොලී මුදල් ලබාගැනීම පිණිස එම පවුලේ දියණියක සමඟ මාස්පතා බැංකුට යාමේ පුරුද්දක් ද ඇය තුළ තිබිණි.

‘‘අම්මා ඉන්න කාමරේටම තමයි ඔය භූතයා රුපියල් දාහේ නෝට්ටු ගෙනත් දාන්නේ. සමහරදාට අම්මගේ කොට්ටෙ යට නැත්නම් මෙන්න මේ ටීපෝ එක යට, එහෙමත් නැත්නම් අම්මගේ ඇඳ ළඟ බිම තියෙන පාපිස්ස යට තිබිලා හම්බවුණු රුපියල් දාහේ නෝට්ටු අම්මා අපිට පෙන්නනවා. ඒත් ඒවායින් ගෙදරදොරේ වියහියදම් පිරිමහා ගන්න අපි බයයි. මොකද ඒවා භූතයෙක් ගෙනත් දාන සල්ලි හින්දා. ඒ හින්දා අම්මා ඒවා යොදාවන්නේ පින් දහම් වැඩවලටම තමයි.’’ සිය මවගේ ‘දේවාල කුටිය’ වෙත මා කැඳවාගෙන ගිය එම ගෘහණිය කීවාය.

‘‘මම හැමදාම උදේට පැයක් බුදුන් වඳිනවා. හවසටත් පැයක් බුදුන් වැඳලා පිරිතුත් කියලා එක එක දෙවිවරුන්ට පින් දෙන ගාථාවලින්ම පින් දෙනවා. මීට අවුරුද්දකට විතර කලින් දවසක මම උදේ නැගිටිනකොට මගේ කොට්ට උරේ යට මොක්කහරි කොළයක් අහුවෙනවා දැනිලා නිකමට අත දාලා බැලුවා. බලනකොට රුපියල් දාහේ කොළයක්.

ඒත් මට හිතාගන්න බැරි වුණා මගේ කොට්ටෙ යටට කොහොමද දාහේ කොළයක් අවේ කියලා. ඊටපස්සේ මම මේ ළමයින්ටත් කතා කරලා ඇහුවා ළමයිනේ උඹලාවත් මගේ කොට්ට උරේ යට රුපියල් දාහේ කොළයක් හැංගුවද කියලා. ඒත් මෙහේ කවුරුවත් ලොකුම උවමනාවකට මිසක් මගේ කාමරේ උළුවස්ස ළඟින් ඇතුළට එන්නේ නැහැ. ඉස්සර මම මේ අම්මලා දුවලට දහස් වාරයක් කියන්න ඇති මාත් එක්ක බුදුන් වැඳලා පිරිත් කියන්න වරෙල්ලා කියලා. ඒත් මේ අය නිදහසට කාරණා කියනවා මිසක් බැරිවෙලා එක දවසක්වත් ඒ වැඩේට ඇවිත් නෑ.’’ ඒ සමඟම එම වැඩිහිටි කාන්තාව කීයේ අවලාදාත්මක ස්වරූපයෙනි.

‘‘කොහොමහරි ඔන්න ඊටපස්සේ මාසෙකට සැරයක් දෙකක් හිටපු ගමන් මං උදේ නැගිටිනකොට අර ටීපෝ එක උඩ හරි, මේ පාපිස්ස යට හරි රුපියල් දාහේ කොළයක් තියෙනවා. නමුත් ඒවා ගෙනත් දාන භුතයා කවුද කියන්න නම් මම දන්නේ නැහැ. සමහරවිට මගෙන් පින් බලාපොරොත්තු වෙන මැරිච්ච නෑ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හින්දා මම ඒවායින් කරන්නේ පින් අතේ වැඩම තමයි. මම තවමත් අවුරුද්දට තුන් හතර වතාවක් වන්දනාවේ යනවා. එතකොට ඒ පන්සල්වලට සම්මාදම් දෙන්නේ ඒ සල්ලිවලින්.’’ පළමුව එම භූත ක්‍රියාව ගැන විස්තර විමසීමේ දී එම වියපත් කාන්තාව කියා සිටියා ය.

‘‘ඔය කාරණේ ඇත්ත මොකක්ද කියලා හරියට දැනගන්න බොහොම පහසු උපක්‍රමයක් තියෙනවා. මීට පස්සේ මොන ක්‍රමයකින් හරි මේ අම්මගේ අතට පත්වෙන හැම රුපියල් දාහේ නෝට්ටුවකම නොම්බරේ වෙනම තැනක ලියාගන්න.

මේ අම්මා බැංකුවෙන් ගන්න දාහේ කොළවල නොම්බර හැම එකක්මත් ලියාගන්න. ඊටපස්සේ ඔය උදේට හම්බු වෙනවය කියන රුපියල් දාහේ නෝට්ටුවලත් නොම්බර වෙනම ලියාගෙන ඔය නෝට්ටු ජාති දෙකේ නොම්බර සන්සන්දනය කරලා බලන්න. ඔය විදිහට මාස කිහිපයක් කරලා බලලා මට ආයිමත් කෝල් එකක් දෙන්න.’’ එම ගෘහණියට සහ දියණිවරුන්ට එසේ කී මම පැල්මඬුල්ලේ ඔවුන්ගේ නිවසින් නික්මුණෙමි.

මෙම සිදුවීමෙන් මාස හත අටක් ඉක්ම ගිය පසු පැල්මඬුල්ලේ කාන්තාවගේ දුරකතන අංකය ඉතා අහම්බෙන් මෙන් මට හමුවිය. ඒ වනවිට මට ද අමතක වෙමින් තිබූ එම දාහේ නෝට්ටු මවන භූතයාගේ කතාව යළි සිහිගැන්වුණු බැවින් මම ඒ මොහොතේම එම පැල්මඬුල්ලේ කාන්තාවට දුරකතනයෙන් කතා ක‍ළෙමි.

‘‘අනේ ඒක තමයි, මට පහුගිය ටිකේ කෝල් එකක්වත් ගන්න බැරි වුණා. අනික පුදුම වැඩේ කියන්නේ ඊටපස්සේ එක දවසකවත් ඒ භූතයා අර වගේ සල්ලි තිබ්බෙ නෑනේ.’’ මගේ ඇමතුමට පිළිතුරු දුන් කාන්තාව කීවා ය.

අප සිතන පතන, කියන කරන සියලුම දෑ අප දැනුවත්වම කරන බව එක්තරා අර්ධ සත්‍යයකි. ඉතා කලාතුරකින් එවැනි දෑ අප නොදැනුවත්වමද සිදුවිය හැක. මෙම රුපියල් දහසේ නෝට්ටු මවන භූතයාගේ කතාව එවැන්නකි.

බුදුදහමේ මූලික හරය වන පිළිබඳ නිවැරදි වැටහීමක් නොමැති බොහෝ දෙනෙක් බුදුසමය, බුද්ධාගම පිළිබඳව පසුකාලීනව ගොඩනැගුණු ආගමික විශ්වාසයන් පසුපස හඹායති. පෙර කී වැඩිහිටි කාන්තාවගේ ආගමික ජීවිතයද බුදුදහමින් පරිබාහිර විවිධ පූජා චාරිත්‍ර මත පමණක් පදනම් වූ පසුකාලීන බෞද්ධ සම්ප්‍රදායන් මත ගොඩනැගුණකි.

මෙලෙස මූලික බුදුදහමට එකඟ නොවන පසුකාලීන ආගමික මතිමතාන්තරවල පමණක් එල්බගත් බොහෝදෙනෙක් මුලින්ම අමතක කරන්නේ බුදුදහමේ ඉගැන්වෙන ලෝකෝත්තර අරමුණය.එසේම ඇතැම් පිරිස් වයසින් මුහුකුරා යනවිට තමන්ගේ පවුලේ ඥාතීන් ඇතුළු ඇසුරු කරන්නවුන් වෙතින් විශේෂ ඇගයුමක්, ගෞරවයක් අපේක්ෂා කරති. මේ වැඩිහිටි කාන්තාව ද එවැන්නක් බලාපොරොත්තු වූ මුත් ඇගේ දියණියගෙන් බෑණනුවන්ගෙන් හෝ මිණිපිරියන්ගෙන් එම ඇගයුම, ගෞරවය නොලැබුණු තැන, එය ලබාගැනීම සඳහා ඇගේ යටිසිත විසින් යෙදූ උපක්‍රමය මෙයයි.

මෙවන් තත්ත්වයන් නිරන්තරයෙන් පැවතීම මත හටගන්නා මනෝ විද්‍යාත්මක සාධකය යටතේ තමන්ට අහිමි ගෞරවය ලබාගැනීමට යමෙකු තමන්ටත් නොවැටහෙන උප විඥානගත ක්‍රියාවන්ට පෙළැඹීමේ පැහැදිලි හැකියාවක් තිබේ. ඒ අනුව එම රුපියල් දහසේ නෝට්ටු මවන භූතයා ඇයම මිස අන් කවරෙකුවත් නොවුණු අතර තමන් විසින් තමන්ටද රහසින් භූතයෙකු ලෙස හැසිරෙමින් කළ ඒ ක්‍රියාව අදාළ පුද්ගලයාගේ මතකයට එක් නොවීමද සාමාන්‍ය තත්ත්වයකි.

මෙය විඝටන ආබාධය (Dissociative disorder) නම් වූ මානසික අර්බුදයේ ලක්ෂණයකි.එහෙත්,මෙය අද්භූත ක්‍රියාවක් සේ සළකා ගුප්ත ශාස්ත්‍ර ඔස්සේ මෙහි සුල මුල සෙවීමට මොවුන් පෙළඹිණි නම් එය මොවුන් ගේ කණ, කර ඉන ඉහ සේම ඉහ මොළ පවා කපටින් විසින් සූරා කෑමේ පහසු අවකාශයක් තිබිණ.

තිලක් සේනාසිංහ

Related posts