සුවඳ මලින් හා සත්ව ලෙයින් සිදු කරන නුග රුක් වන්දනාව

ශ්‍රී ලාංකේය බෞද්ධයන්ට බෝ වෘක්ෂය හැරුණු කොට ආගමික වශයෙන් වැදගත් වන ඊළඟ වෘක්ෂය වනුයේ ‘නුග’ ය. අප රටේ බෞද්ධ විහාරස්ථානවලින් බොහොමයක් ‘නිරෝධාරාමය’ යනුවෙන් හඳුන්වා ඇත්තේ ඒවා නුග ගස් මුල්කොට ඉදි කොට තිබීම නිසාය. නිග්‍රෝධ යනු නුග යන්න හැඳින්වෙන සංස්කෘත නාමයයි.

ඉන්දියාවේ ජාතික වෘක්ෂය වශයෙන් ද හැඳින්වෙන නුග වෘක්ෂය බුද්ධ කාලයටත් බොහෝ පෙර සිට පූජනීය වෘක්ෂයක් වශයෙන් සැලකුණු බවට සාධක කොතෙකුත් තිබේ.

බුද්ධ කාලීන උරුවෙල් දනව්වේ සේනානි සිටුතුමන්ගේ දියණිය වන සුජාතාව වෙසක් පුන් පෝ දින අරුණෝදයේ මහ බෝ සතුන් උදෙසා පිරිනමන ලද කිරිපිඬු දානය ද අජපාල නම් නුග රුකක් මුල දී ප්‍රදානය කරන ලද්දක් බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙයි. ඒ තමන් බාල වියේ සිට අදහනු ලැබූ ඉටු දෙවියකු එම නුග රුකෙහි වැඩවාසය කරන්නේය යන විශ්වාසය පෙරදැරි කරගෙන දුන් දානයකි.

විවාහයෙන් පසු තමන්ට මුල් වරට පුත්‍ර රත්නයක් ලැබීම මුල් කොට එම රුක් දෙවියාට සිදු වූ බාරය අනුව තමන්ට ‘යස’ නමින් හඳුන්වන ලද පුත් කුමරු ලත් බව විශ්වාස කළ සුජාතා සිටු දුව බාරය ඔප්පු කරනු පිණිස ඒ රුක් දෙවියාට පූජා කිරීමට ගෙනා කිරිපිඬු එම අජපාල නුග රුක මුල වැඩ සිටි බෝසතුන් හට පූජා කළ පුවත කුඩා දරුවෝ පවා දනිති. ඊට අමතරව බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු පස්වන සතිය වැඩ හිඳින ලද්දේත් මෙම අජපාල නම් නුග රුක මුල බව ‘පංචමං අජපාලංච’ යන ගාථා පාඨයෙන් පැහැදිලි වෙයි.බුද්ධ ගයාවේ නේරන්ජනා නදී තීරයේ අද පවා දක්නට ලැබෙන නුග රුක මෙය බව බොදු බැතිමත්හු විශ්වාස කරති.

එමෙන්ම සිද්ධාර්ථ ගෞතම බුදුන්ට පෙර බුද්ධත්වයට පත් කාශ්‍යප බුදුන් පිට දුන් බෝධිය වශයෙන් බෞද්ධ පොතපතේ සඳහන් වීම මත ද අටවිසි බෝධීන් අතරට ඇතුළත් වීම නිසා ද නුග වෘක්ෂය බෞද්ධයන්ගේ ගෞරවාදරයට පත්ව තිබේ.

ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ කතාව පසෙකින් තැබුව ද පුරාණයේ සිට වෛදික සමාජයේ නුග ගස පූජනීයත්වයට පත් වීම පිළිබඳ ඉන්දීය මානව විද්‍යාඥයන්ගේත් ඉන්දීයවේදය(Indology) නම් විෂය හා සම්බන්ධ විද්වතුන්ගේත් විශේෂ අවධානය යොමුව තිබේ. ඔවුන් පවසනුයේ නුග ගස හා ඉන්දියානුවා අතර පවත්නා මෙම සබැඳියාව ලෝකයේ ආගම් නිර්මාණය වීමට පෙර පැවැති ජීවාත්මවාදී(Animism)යුගයේ ආරම්භ වූවක් බවය. නුග වෘක්ෂයෙහි මුල පද්ධතියේ ඇති අසාමාන්‍යතාව එමගින් මිහිකතට ලබා දෙන සෙවණ සහ සිසිලස මුල්කොට ඒ සඳහා පුරාතන මානවයා ඊට දේවත්වයක් ආරෝපණය කළ බව එම විද්වතුන්ගේ පොදු මතයයි.

එමෙන්ම මෙලොව ජීවත් වී මිය යන්නවුන්ගේ ආත්ම අධි මානුෂික ස්වරූපයෙන් මෙම නුග ගස් කේන්ද්‍ර කර ගනිමින් ජීවමානව පවතින බවත් එමගින් එම නුග ගස් මගින් ජීවත් වන්නවුන් සඳහා පිහිටාරක්ෂාව ලද හැකි බවත් භාරතීය හින්දූන් විශ්වාස කරන අතර පිලිපීන වැසියන් තුළ ද නුග ගස සම්බන්ධ මෙවන් විශ්වාසයක් තිබේ. ඉන්දුනීසියාවේ බලය සහ එකමුතුව පිළිබඳ සංකේතය වනුයේ ද මෙම නුග රුකමය.ඊට අමතරව නුග රුක් මුල සිට ප්‍රගුණ කරන විද්‍යා ශාස්ත්‍ර දරුවන් ගේ සිත් තුළ මනාව ධාරණය වන බවට විශ්වාසයක් ද පැරණි හින්දු සමාජයේ තිබූ බව පෙනෙයි.

ඉංග්‍රීසි බසින් Banyan යනුවෙන් හැඳින්වෙන නුග හින්දි බසින් ‘බාර්ගඩ්’ සහ දෙමළ බසින් කඩවම් යනුවෙන් හඳුන්වනු ලැබේ.

බුද්ධ කාලයේ ජීවත් වූ සුජාතා සිටු දුවට පිරිමි දරුවකු ලබා දීමට සමත් වූ බව පැවසෙන නුග රුකේ මුලෙන් බ්‍රහ්ම ද කඳ කොටසෙන් විෂ්ණු ද අතු පතරවලින් ඊශ්වර ද සංකේතනය වන බවත් කියනු ලැබේ.ඊට අමතරව ලෞකිකත්වයට අධිපති ලක්ෂ්මි,ගණපති ආදී දෙවි වරුන් ගේ ඇල්ම බැල්ම ද මීට යොමුවන බවට විශ්වාස කෙරේ. එනිසාම භාරතීය හින්දූන්ගේ ගෘහ ජීවිතය හා සම්බන්ධ සතුට, සෞභාග්‍යය ආදී කරුණු විෂයෙහි මෙම නුග වෘක්ෂය මගින් සාධනීය ප්‍රතිඵල ගෙන දෙන බව විශ්වාස කරන ඉන්දීය හින්දූහු එම පැරණි නුග වෘක්ෂ මුල්කොට විවිධ පුද පූජා පවත්වති.
සෑම වසරකම මැයි ජුනි යන මාසවල හින්දු භක්තික කාන්තාවන් විසින් ඉටු කරනු ලබන සාවිත්‍රි වෘතය නම් පූජා චාරිත්‍ර ද මෙම නුග වෘක්ෂ මුල්කොට සිදු කෙරෙන අතර එම පු පසළොස්වක පොහොය දිනයක පවත්වනු ලබන පූර්ණමා වෘතය නම් පූජා චාරිත්‍ර ද ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල අතිශය ජනප්‍රිය වී තිබේ. එමගින් තම සැමියන්ට නිදුක්, නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබීමෙන් තම පවුලට සතුට, සෞභාග්‍යය ලැබෙන බවට පොදු පිළිගැනීමක් ඔවුන් අතර තිබේ.

එමෙන්ම අනාචාරයේ යෙදෙන කතුන් මෙම සාවිත්‍රි වෘතයට එක් වී‍මෙන් ඔවුන්ට බිහිසුණු විපත් අත්වන බවට පවත්නා විශ්වාසය මුල්කොට බොහෝ හින්දු භක්තික කතුන්ගේ පතිවෘතා ධර්මය මනාව සුරැකෙන බව ඒ සම්බන්ධයෙන් කරනු ලැබූ සමාජ විද්‍යාත්මක ගවේෂණ මගින් තහවුරු වී තිබේ.ඒ අනුව මෙවන් ගුප්ත විශ්වාස මඟින් සමාජ සදාචාරය ස්ථාපිත වීමට ද යම් පිටිවහලක් ලැබෙන බව පෙනෙයි.

වර්තමානයේ සැලකිය යුතු ආරංචි මාර්ග නැතත් අතීතයේ මෙම නුග රුක් මුල්කොට සතුන් දහස් ගණන් මරණයට පත් කළ බිලි පූජා පැවැත්වුණු බව බෞද්ධ ජාතක කතාවලින් පැහැදිලි වෙයි.

එහි එන ආයාචිත භක්ත ජාතකය මගින් පැවසෙනුයේ කසී රට එක් කෙළෙඹි පුත්‍රයෙක් තම ගම්දොර පිහිටි නුග රුකක වැඩ සිටි රුක් දෙවියකු මුල්කොට ඌරන්, මුවන් වැනි සතුන් මරා එවන් බිලි පූජාවක් කිරීමට සැරසුණු විට එම වෘක්ෂ දේවතාවා ඔහු හමුවේ පෙනී සිට එවන් ප්‍රාණඝාතාදී අකුසල කර්ම සිදුකොට අපායගාමී නොවන ලෙස එම කෙළෙඹි පුත්‍රයාට ධර්මය දේශනා කළ පුවතකි.

පන්සිය පනස් ජාතක පොතෙහි එන දුම්මේධ ජාතකයේ නුග ගස් ආශ්‍රිතව සිදු කෙරුණු බිලි පූජා පිළිබඳ කතා ප්‍රවෘත්තිය ඊට වඩා රසවත් ය..

බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුගේ පුත් කුමරුවා ගමනක් යන අතරේ දී එක්තරා නුග රුකක් මුල්කොට සිදු කරනු ලබන සුවිසල් සත්ත්ව බිලි පූජාවක් දැක අතිශයින් කම්පා වෙයි. එහෙත්, ඊට එක්වරම එරෙහි නොවන ඔහු කරනුයේ එම නුග රුක උදෙසා සුවඳ මල් පැන් ආදී පූජා චාරිත්‍රයක් ඇරඹීම ය. පසුව බරණැස් රජුගේ ඇවෑමෙන් රජකමට පත් වන කුමරු තම ඇමැති මණ්ඩලය කැඳවා මෙසේ කියයි.

‘‘මට මේ රජකම ලැබුණේ අසවල් නුග රුකේ වැඩ වසන දෙවියාට වූ බාරයක් අනුවයි. මා ඒ දෙවියාට බාර වුණේ සතුන් බිලි දීමට නොවෙයි. ප්‍රාණඝාතාදී දස අකුසල් කරන්නවුන් මරා ඔවුන්ගේ හෘදය මාංශ ඒ නුග රුක වටා තැබීමට. ඔවුන්ගේ අතුණබහන් හෙවත් බඩවැල් ඒ නුග රුක වටා ඇදීමට සහ ඔවුන්ගේ රුධිරයෙන් ඒ නුග ගස නැහැවීමටයි. ඒ නිසා බාරය ඔප්පු කිරීම සඳහා එසේ ප්‍රාණඝාතාදී දස අකුසල් කරන්නවුන් වහා මා ඉදිරියට පමුණුවව්.’’

මේ රාජ නියෝගය පරිදි ඒ බව දන්වමින් මුළු බරණැස් නුවර පුරා අණබෙරකරුවන් යවන ලද අතර එමගින් එම බිලි පූජා මුල්කොට ගත් ප්‍රාණඝාත ඇතුළු දස අකුසල් ආදිය සමාජයෙන් දුරින් දුරුව දැහැමින් රාජ්‍යය පාලනය කිරීමට නව බඹදත් රජුට හැකි වූ බව එම දුම්මේධ ජාතක කතාවෙන් දැක්වෙයි.

තිලක් සේනාසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….