පළිගැනීමේ කමිටුවේ නිර්දේශ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පළි ගැනීමක්ද?

politics

ආණ්ඩුවක් මාරුවී අලුත් ආණ්ඩුවක් පත් වන විට රජයේ කාර්යාලවල සේවය කරන අයට විවිධ ආකාරයේ දුක් ගැහැට විදින්නට සිදු වූ කාලයක් තිබුණේය. පරාජයට පත් වන දේශපාලන පක්ෂයට සහාය ලබාදුන් රාජ්‍ය නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලැබීම ලංකා දේශපාලන සංස්කෘතියේ අංගයක් බවට පත් වූ කාලයක් විය.

එහෙත් ඒ සංස්කෘතිය කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් තිබුණේය. එහෙත් අළු යට ගිනි පුපුරු සේ දේශපාලන පළිගැනීම් ගැන කතා පසුගිය කාලයේදී යළිත් හිස එසවූවේය. ඒ දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසමත්, එම කොමිසමේ නිර්දේශ මත පත්කරනු ලැබූ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවත් නිසාය.

උපාලි අබේරත්න කොමිසම

යහ පාලන ආණ්ඩු සමයේදී සිදු වු බව කියන දේශපාන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වන විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ පසුගිය වසරේ ජනවාරි 9 වැනිදාය. මාස හයක කාලයක් සදහා පත් කර තිබූ එම කොමිෂන් සාභාවේ ධුර කාලය අවස්ථා දෙකකදී දීර්ඝ කරනු ලැබූ අතර නිල කාලය අවසන් වූයේ පසුගිය  වසරේ නොවැම්බර් 25 වැනිදාය.

ජනාධිපතිවරයා වෙත වෙළුම් තුනකින් සමන්විත කොමිෂන් සාභාවේ වාර්තාව භාරදීමෙන් පසුව එය මත පදනම්ව තවත් කොමිෂන් සභාවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ අතරම දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත්තේය.

වාර්තාවේ වැරදි නිවැරදි කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට, වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට හා විශේෂිත වූ නිර්දේශයක් ක‍්‍රියාත්මක කිරීම සදහා තවත් ජනාධිපති කොමිසමක් පත් කිරීමටය.

කාගේත් අවධානයට ලක්වූයේ කැබිනට් මණ්ඩලය විසින් සම්මත කළ මෙම තුන්වැනි යෝජනාවයි. එම යෝජනාව ඉදිරිපත් කළේ කොමිෂන් වාර්තාවේ පළමු තීරණය හා පළමු නිර්දේශය ක‍්‍රියාත්මක කිරීමටය. පළමු තීරණයේ සඳහන් වූයේ දූෂණ විරෝධී කමිටුවක් පිහිටුවීම හා ඒ ක‍්‍රියාමාර්ග මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවය. පළමු නිර්දේශයේ සඳහන් වූයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කිරීමටත් වරදකරුවන්ට දඩුවම් ලබාදීමටත් විශේෂ ජනාධිපති කොමිෂමක් පත් කළ යුතු බවයි.

මේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ප‍්‍රියන්ත ජයවර්ධන කමිටුව පත් කළේය. ඒ පළමු කොමිසමෙන් දේශපාලන පළිගැනීම් සිදු කළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයින්ට විරුද්ධව කටයුතු කිරීමටය.

රනිල් වික‍්‍රමසිංහ, මංගල සමරවිර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක ඇතුළු විසි දෙදෙනෙක් සම්බන්ධයෙන් එහිදී විමර්ශනය කිරීමට නියමිතව තිබෙන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප‍්‍රියන්ත ජයවර්ධන, ඛේමා කුමුදුනී වික‍්‍රමසිංහ, සහ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණාගේ සාමාජිකත්වයෙන් යුත් මෙම කොමිසම පත් කළේ ජනවාරි 29 වැනිදාය. මාස තුනක කාලයක් සදහා පත් කළ කොමිසමේ ධුර කාලය අපේ‍්‍රල් 29 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණි.

මුදල් වියදම් කිරීම්

ප‍්‍රියන්ත ජයවර්ධන කොමිසමට ගත වූ මාස තුන තුළදී විමර්ශනයක් කිරීමට නොහැකි වී තිබෙන බවත්, වාර්තාව සකස් කිරීමට කිසිදු හැකියාවක් ලැබී නැති බවත් විමසුම්වලදී අනාවරණය විය. ඒ බව කොමිසමේ ලේකම් බුවනෙක හේරත් පිළිගන්නා අතර ඔහු පවසන්නේ රටේ පැවති තත්වය නිසා මෙහි කටයුතු කරගෙන යෑමට නොහැකිවූ බවය.

‘‘කොමිසමේ කටයුතුවල යම් ප‍්‍රමාදයක් තිබෙනවා තමයි. කොරෝනා තත්වය හා රටේ පැවති දේශපාලන තත්වය නිසා මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම ප‍්‍රමාද වී තිබෙනවා’’ බුවනෙක හේරත් පැවසුවේය.

නියමිත කාලයේදී අවසන් කර ගැනීමට නොහැකි වූ කොමිසම දැන් තවත් මාස හයක කාලය දීර්ඝ කිරීමක් ඉල්ලා තිබෙන්නේය. ජනාධිපතිවරයාගෙන් ඒ සඳහා යහපත් ප‍්‍රතිචාරයක්ද ලැබී තිබේ. ඒ ධුර කාලය දීර්ඝ කරමිනි.

මේ අතර උපාලි අබේරත්න කොමිසම මගින් තමන්ට පැවරී නැති විෂය පථයක විමර්ශන සිදු කර රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති බවට චෝදනා කරමින් නීතීඥයින් කණ්ඩායමක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය. පසුගිය මාර්තු මාසය වන විට එයට යහපත් ප‍්‍රතිචාරයක් දැක්වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ලිඛිතව පැමිණිලිකරුවන්ට දැනුම්දී තිබුණේ මේ ගැන විමර්ශනයක් කිරීමට තීරණය කර තිබෙන බවය.

අධිකරණ ක‍්‍රියාමාර්ග

උපාලි අබේරත්න කොමිසමේ වාර්තාව අභියෝගයට ලක් කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් කිහිපයක් ගොනු කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජන බලවේගය වැනි දේශපාලන පක්ෂ විසින් මේවා ගොනු කර තිබෙන්නේය.

තවමත් කිසිදු සිවිල් සංවිධානයක් මෙයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගෙන නොමැති නමුත් පාඨලී චම්පික රණවක මන්ත‍්‍රීවරයාගේ නායකත්වයෙන් ක‍්‍රියාතම්ක හතළිස් තුන්වැනි සේනාංකය විසින් ඉදිරියේදී පෙත්සමක් ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතීඥ ශිරාල් ලක්තිලක පැවසුවේය.

මීට අමතරව පෙත්සම්කාර පාර්ශ්වයන් බවට පත්ව තිබෙන්නේ කොමිසමේ නිර්දේශ මගින් අගතියට පත් පාර්ශ්වයන්ය.

අභියාචනාධිකරණයේ ගොනු කර තිබෙන පෙත්සම් මේ වන විටත් විභාග කෙරෙමින් තිබෙන අතර නීතිපතිවරයාද අධිකරණයේදී සිටින්නේ උපාලි අබේරත්න කොමිසමට විරුද්ධ පාර්ශ්වයකය. මෙම කොමිසම තමන්ගේ බලසීමාවන් ඉක්මාව ගොස් කටයුතු කර තිබෙන්නේ යැයි අවසන් වරට අධිකරණය හමුවේ නඩුව සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා දැනුම් දුන්නේය.

දේශපාලන පක්ෂවල ප‍්‍රතිචාර

දේශපාලන පක්ෂද උපාලි අබේරත්න කොමිසමට පමණක් නොව ඉන් පසුව පත් කළ කොමිසමට සිය විරෝධය දක්වන්නේය. ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක කොමිසමට විරුද්ධව දැඩි ස්ථාවරයක සිටින අතර ඔහු පවසන්නේ තමන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළද එය තමන්ගේ දේශපාලන ගමනට බාධාවක් නොවන බවය.

‘‘අපි ප‍්‍රජා අයිතිය බලාගෙන දේශපාලනය කරන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. ප‍්‍රජා අයිතිය කියන්නේ අපිට දේශපාලනය කරන්න තියෙන බලපත‍්‍රයක් නෙමෙයි. ප‍්‍රජා අයිතිය ඔය ආණ්ඩුවේ ඉන්න හෙංචයියලාට වැදගත් ඇති. ඒත් අපිට ඕකෙන් සත පහක වැඩක් නෑ’’අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු පවසන්නේ රාජ්‍ය නිලධාරීන්ට සිදු වූ දේශපාලන පළිගැනීම් සම්න්ධයෙන් සොයා බැලීමට කොමිසම පත් කළත් රාජ්‍ය නිලධාරීන් නොවන පුද්ගලයින් සම්න්ධයෙන් වන පැමිණිලද මෙහි විභාග කර ඇති බවය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක පවසන්නේද තමන්ට විරුද්ධව කටයුතු කරන අය මර්දනය කිරීම සඳහා මෙම කොමිසම පත් කර තිබෙන බවය.

‘‘අද ආණ්ඩුව කොමිෂන් දාලා විපක්ෂය මර්දනය කරන්න හදන්නේ. තමන්ට දේශපාලන වශයෙන් අභියෝගයක් බවට පත්වන පුද්ගලයින් නිෂ්ක‍්‍රීය කිරීමට තමයි ආණ්ඩුව උත්සාහ ගන්නේ. ඒ අතරම තමන්ගේ හිතවතුන් නඩුවලින් නිදහස් කරගැනීමට කටයුතු කරනවා’’ පාඨලී චම්පික රණවක පවසන්නේය.

ඔහු පවසන්නේ ආණ්ඩු මාරුවීම් සමගින් දේශපාලන පළිගැනීම් සදහා වන කොමිෂන් පත් කිරීම නරක පූර්වාදර්ශයක් බවය. මීළග මැතිවරණයකින් බලයට පත්වන කණ්ඩායමක් මේ ආකාරයට කටයුතු කළහොත් එය ද නරක පූර්වාදර්ශයක් විය හැකි බවද ඔහු අනතුරු අඟවන්නේය.

වැරදි දෙකක්, එක හරියක් වෙන්නේ නෑ

දේශපාලන විද්‍යාව පිළිබද ප‍්‍රවීණත්වයක් දරන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ අදහස වන්නේද මේ ආකාරයට ආණ්ඩුවක් මාරුවූ පසුව කලින් ආණ්ඩුවේ ක‍්‍රියාකලාපයන් සම්බන්ධයෙන් වන දේශපාලන පලිගැනීම් කිරීම වැරදි පූර්වාදර්ශයක් බවය.

‘‘යහපාලන ආණ්ඩුව දේශපාලන පළිගැනීම් කිරීමේ අරමුණ ඇතිව නඩු දැම්මානම් ඒක වැරදියි. ඒ වගේම තමන්ට නඩු දාපු අයගෙන් පළිගන්න කියලා කොමිසමක් දාලා ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න යනවා නම් ඒකත් වැරදියි. එක වැරැද්දක් නිවැරදි කරන්න තවත් වරදක් කරන්න බෑ. වැරදි දෙකක් එක හරියක් වෙන්නේ නෑ’’ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ.එන්.ඕ. සොයිසා පැවසුවේය.

මහාචාර්ය සොයිසා පවසන්නේ මෙවැනි ක‍්‍රියා සිවිල් සමාජයේ යහ පැවැත්මට අහිතකර ලෙස බලපාන බවය. දේශපාලන නායකයින්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට යෑම තුළින් සිවිල් සමාජය අදහස් දැක්වීමට පවා බිය වන තත්වයක් ඇතිවන්නේ යැයි ඔහු පවසන්නේය.

සිවිල් සමාජයට බලපෑමක්

ප‍්‍රජා අයිතිය අහෝසි කරමින් දේශපාලන වශයෙන් පළිගැනීම් කිරීම ශීලාචාර රටවල සිදුවන දෙයක් නොවේ යැයි ප‍්‍රවීණ විචාරක වික්ටර් අයිවන් පවසන්නේය.  ඔහු පවසන්නේ මීට පෙර ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී සිරිමාවෝ බණ්ඩාරනායක ඇතුළු කණ්ඩායමේ ප‍්‍රජා අයිතිය අහෝසි කරමින් ආරම්භ කළ ගමන අවසන් වූයේ මහා ඛේචවාචකයකින් බවය.

ඒ බව සිහිපත් කරන ශිරාල් ලක්තිලක පවසන්නේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීම හමුවේ එදා විපක්ෂයේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අඩපණවූ බවය.ෙ

‘‘සිරිමාවෝගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන විට විපක්ෂ නායකවරයා විදියට හිටියේ අමිර්තලිංගම්. ඒත් දකුණේ දේශපාලන විපක්ෂය වුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

සිරිමාවෝගේ ප‍්‍රජා අයිතිය අහෝසි වුණාට පස්සේ දකුණේ විපක්ෂයේ දේශපාලනය සම්පූර්ණයෙන්ම අක‍්‍රිය වුණා. දකුණේ සිංහල විපක්ෂය දුර්මුඛ වුණා. ජූලි කලබල, ජූලි වැඩ වර්ජනය සිට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන තැන දක්වා වර්ධනය වුණේ මේ අනුවයි’’ ශිරාල් පවසන්නේ දේශපාලන අක‍්‍රිය කිරීම් හමුවේ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීත්වයද අඩපණ වී යා හැකි බව සිහිපත් කරමින්ය.

වික්ටර් අයිවන් පවසන්නේ අද වන විට තත්ත්වය එදා පැවති තත්වයට වඩා බෙහෙවින්ම කනගාටුදායක බවය. මේ වන විට සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීත්වයද දුර්වල වී ඇති අවස්ථාවක ප‍්‍රජා අයිතීන් අහෝසි කිරීමේ ක‍්‍රියාදාමයන් හරහා මහජනතාවද නිෂ්ක‍්‍රීය වී යනු ඇතැයි ඔහු විශ්වාස කරන්නේය.

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අහිතකර බලපෑම් එල්ල කරන මෙවැනි ක‍්‍රියාදාමයන්ට එරෙහිව කටයුතු කළ හැකි සිවිල් සංවිධාන ජාලයක් නොමැතිවීම බරපතළ ගැටලුවක් යැයි ශිරාල් ලක්තිලක විශ්වාස කරන්නේය.

‘‘දේශපාලඥයින්ට අත තියනවා නම් සිවිල් ක‍්‍රියාකාරීන්ට බොහෝම පහසුවෙන් අත තියන්න පුළුවන්. දේශපාලඥයින් කියන්නේ ජනතා බලයක් තිබෙන අය. කාලයක් තිස්සේ දේශපාලනය කරන අයට බලපෑම් කරනවා නම් අනෙක් අය ගැන කවර කතාවක්ද?’’ මහාචාර්ය නවරත්න බණ්ඩාර ප‍්‍රශ්න කරන්නේය.

මෙවැනි ක‍්‍රියාදාමයන් හරහා නීතියේ ආධිපත්‍යයට බරපතළ අර්බුදයක් මතු වන බවද ඔහු පවසන්නේය. නීතියේ ආධිපත්‍ය අවශ්‍ය වන්නේ සාමාන්‍ය ජනතාවට වන බැවින් නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කර ගැනීම සදහා සියලුම පාර්ශ්වයන් එක් වීම වැදගත් බවද ඔහු අවධාරණය කරයි.

ආණ්ඩුවේ ප‍්‍රතිචාරය

කිසිදු අවස්ථාවකද දේශපාලන පළිගැනීම් කිරීමේ අරමුණින් මෙම කොමිසම කටයුතු නොකරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සදහන් කරයි.

‘‘මේ අයගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරනවා කියලා අපි කියන්නේ නෑ. දූෂණ විරෝධී කමිටුවේ හිටපු අයම දන්නවා, ඒ අය තමන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි වන ආකාරයට කටයුතු කරලා තිබෙනවාය කියලා’’ෂෙහාන් සේමසිංහ ප‍්‍රතිචාර දක්වන්නේය.

කෙසේ වෙතත් මෙම කොමිසමේ කටයුතු අපේ‍්‍රල් 31 වැනිදා වන විට අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බව ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා පවසන්නේය. එහෙත් ආණ්ඩුව බලාපොරොත්තු වූ ආකාරයට එදිනට කොමිසමේ කටයුතු අවසන් කිරීමට නොහැකි විය.

ආණ්ඩුව තුළත් මත දෙකක්

කෙසේ වෙතත් තහවුරු කළ ආරංචිමාර්ගයක් සඳහන් කළේ මෙම කොමිසම ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත දෙකක් ඇති වී තිබෙන බවය.  නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමැතිවරුන්ගෙන් සමන්විත කමිටුවක් ආණ්ඩුව තුළ ක‍්‍රියාත්මක වන බව ආණ්ඩුවට සම්බන්ධ දේශපාලඥයෙක් තමන්ගේ නම අනාවරණය නොකරන ලෙසට වන ඉල්ලීමක් සමග තහවුරු කළේය.

ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්, ඇමති ජනාධිපති නීතිඥ අලි ශබ්රි, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත වීරසිංහ ඇතුළු කණ්ඩායමක් එහි සාමාජිකයෝ වෙති. විපක්ෂ දේශපාලඥයින්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීම සදහා වන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් ජී.එල්. පීරිස් ඇමැතිවරයාගේ වැඩි ප‍්‍රසාදයක් තිබුණේ නැත. ඒ නිසා ඔහු මෙම කමිටුව තුළදී කොමිසම ඉදිරියට ගෙන නොයා යුතු බවට අදහසක් ඉදිරිපත් කර තිබුණේය.

පසුගිය මාසයකට වඩා වැඩි කාලයකින් නීතිඥයින්ගෙන් සමන්විත කමිටුව රැස් වූයේද නැත. ප‍්‍රියන්ත ජයවර්ධන කොමිසම රැස් වූයේද නැත. ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට ගන්නා පියවරට විරෝධය දක්වමින් අපේ‍්‍රල් 22 හා 23 යන දින දෙකේදි පමණක් පාර්ලිමේන්තුවේදී විවාද කළේය. ඒ සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලෙසය.

ආණ්ඩුවේ කනිෂ්ඨ මන්ත‍්‍රීවරුන්ට අදහස් දැක්වීමට ඉඩ ලබාදී තිබුණා මිස ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් විවාදයට සක‍්‍රීය දායකත්වයක් ලබාදී තිබුණේද නැත.

කෙසේවෙතත් තෝරාගත් දේශපාලඥයින් කණ්ඩායමක ප‍්‍රජා අයිතිය අහෝසි වීම පිළිබද කතාවට තිත තැබුණේද නැත. එය තවමත් අළු යට ගිනි පුපුරු මෙන් තිබෙන්නේය. කුමන හෝ මොහොතක එය දැල්විය හැක්කේය.

‘‘මේ වෙලාවේවත් රටේ සිවිල් සංවිධාන හා පුරවැසියන් සක‍්‍රීය විය යුතුයි. හුදු ඡන්දදායකයින්ගෙන් පමණක් රටට වැඩක් නැහැ. එසේ නොවන්නේ නම් හෙට දවසේ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන්ගේ පමණක් නොව, ඡන්දදායකයින්ගේද අයිතීන් අහිමි වී යන්න පුළුවන්’’ ශිරාල් ලක්තිලක අනතුරු අඟවන්නේය.

සංජය නල්ලපෙරුම

Related posts